අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

*********************************************

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

(02.05.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක ජනතා විරෝධතාවන්ට සහාය පළ කරමින් ඇමරිකාව ඇතුලු විදෙස් රටවල් කිහිපයක ද විරෝධතා පවත්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ප්‍රාන්තවල උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් ඇතුලු පිරිස් ඊයේ (01) දියත් කළ විරෝධතාවක් අතරතුර ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරත පිරිස් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමටයි පියවර ගැනුනේ.

ලන්ඩන් නුවර සිට ඊයේ (01) විරෝධතාවක් පැවැත්වුණේ මෙරට ක්‍රියාත්මක ජනතා විරෝධතාවලට සහාය පළ කරමින්.

මේ අතර ඊයේ (01) දින ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධාන කළ මැයි දින රැළිය ගාලු මුවදොර විරෝධතා භූමියේ දී පැවති ඊට එම සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද එක්ව සිටියා.

ගාලු මුවදොර – විරෝධතාව 24 වන දිනට අද (04) ක්‍රියාත්මක වන අතර, අදත් (02) උදෑසන සිටම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එම භූමියට රැස්වෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර සංචාරක මග පෙන්වන්නන් පිරිසක් මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයින් පිරිසක් ද සමඟ ගාලු මුවදොර අරගල භූමියට පැමිණෙමින් සිටින බව වාර්තාවනවා.

එසේම අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ ‘මයිනාගෝගම’ විරෝධතාව අද (02) හත්වන දිනටත් ක්‍රියාත්මකයි.

විරෝධතාව ආරම්භයේදී අරලියගහ මන්දිරය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පිරිත් විකාශය කිරීමට ද කටයුතු කළ අතර, එය ඊයේ (01) දිනයේ සිට නවතා දමා තිබෙනවා.

***************************************

ගෝල්ෆේස් වෙත හදිසියේ කඩාවැදුණු කැරළි මර්දන නිලධාරින්

(02.05.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් පැමිණ තිබෙනවා.

නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පොලිසියේ පැමිණීමට එරෙහිව විරෝධයක් පළ කෙරුණා.

මෙම මහජන විරෝධතා සමග පොලිසීය විසින් යළිත් සිය කැරළි මර්දන නිලධාරින් කැඳවීමට ද නියෝග කෙරුණා.

***************************************

තමිල්නාඩුව, ශ්‍රී ලංකාවට ආධාර සැපයිය හැකි බව ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි

(02.05.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහනාධාර සැපයීම සදහා තමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීමට ඉන්දීය මධ්‍යම රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් ප්‍රකාශ කළේ එම සහනාධාර ඉන්දීය මධ්‍යම රජය මගින් ශ්‍රී ලංකාවට සපයන සහනාධාවලට ඇතුළත් කළ හැකි බවයි.

එමෙන්ම තමිල්නාඩුවට විසින් එලෙස ලබාදෙන සහනාධාර ලක් රජය විසින් සුදුසු පරිදි බෙදා හරිනු ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකාවට ආහාර, ඖෂධ ඇතුළු සහනාධාර ලබාදීම සදහා තමිල්නාඩු ප්‍රාන්ත රජය පසුගිය දා යෝජනාවක් සම්මත කර ගත් අතර ඊට පාලක ඩී.එම්.කේ. පක්ෂය මෙන්ම විපක්ෂ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. සහ භාරතීය ජනතා පක්ෂය ද එක්වීම විශේෂත්වයක්.

යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ෴

***************************************

සහල් සඳහා පාලන මිලක්

(02.05.2022 – 21:47 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සුදු / රතු නාඩු – තැම්බූ / තම්බා – දේශීය රු. 220 කි. සුදු / රතු සම්බා – තැම්බූ / තම්බා – දේශීය රු. 230 කි. (සූදුරු සම්බා හැර) කීරි සම්බා (දේශීය) රු. 260 ක්.

***************************************

මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා තවදුරටත්

(02.05.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිත යි.

මුදල් අමාත්‍ය අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී සදහන් කළේ, මාස දෙකක් (2) තුළ කෙරෙන සාකච්ඡාවෙන් අනතුරු ව නිලධාරී මට්ටමේ මූලික එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි.

මෙම සාකච්ඡා සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ඇතැම් සාකච්ඡා පැවැත්වීමට යි නියමිත ව ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා මාස දෙකක් (2) තුළ සාර්ථක ස්ථාවරයකට පැමිණිය හැකි වනු ඇති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා විශ්වාසය පළ කළා.

ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා සාර්වමූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි ෴

+++++++++++

IMF සමඟ එකඟතාවයකට චීනයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට

(02.05.2022 – 21:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන ජනරජයේ තානාපති Qi Zhenhong මහතා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (02) මුදල් අමාත්‍යාංශයේදී හමුවුණා.

මෙහිදී දෙරට අතර පවතින සහයෝගීතාවය සහ වත්මන් ආර්ථික ගැටළු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වුණා.

වත්මන් ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා චීනයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව තානාපති Zhenhong මහතා අවධාරණය කළ අතර, එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී IMF සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය පැහැදිලිවම සහාය දෙන බව ද යළි අවධාරණය කළා.

IMF හි ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට IMF දිරිගැන්වීම සඳහා චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව තානාපති Zhenhong මහතා අමාත්‍ය මුදල් අමාත්‍යවරයාට සහතික වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය ජනරජයේ මහ කොමසාරිස් Gopal Baglay ද අද (02) මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හමු වුණා.

මෙහිදී වත්මන් ආර්ථික ගැටළු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින වත්මන් ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බව මහ කොමසාරිස් Gopal Baglay මුදල් අමාත්‍යවරයාට මෙහිදී සහතික වී තිබෙනවා ෴

***************************************

දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් පාස්කු ප්‍රහාරය යොදාගත් බවට කාදිනල් හිමි කියයි

(02.05.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිදුවන බව වගකිවයුතු බලධාරීන් සියලු දෙනාගෙන් සැඟවූයේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඉතාලියේ පාදුවා නුවර දී මෙම දේව මෙහෙය පැවැත්වුණේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම දේවමෙහෙයේ දී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවට ගාලු මුවදොර පැවැත්වෙන අරගලය අතිශය සාධාරණ බවයි.

සිංහල බසින් දේවමෙහෙය පැවැත්වුණු අතර ඒ සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සහභාගී වුණා.

***************************************

මිරිහාන සිද්ධියට ඇප ලැබුණු 15 ක් සී.අයි.ඩී.යට

(02.05.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින පුද්ගලයින් 15 දෙනෙකු විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

පසුගිය මාර්තු 31 වනදා මෙම විරෝධතාව පැවති අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 54 දෙනකු අත්අඩංගුවට ගත් අතර අනතුරුව ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

ඔවුන්ගෙන් 15 දෙනෙකු මෙම සිද්ධියේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

සෙසු පිරිස ද හෙට (03) සහ අනිද්දා (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි නීතිඥවරුන් කියා සිටියේ.

***************************************

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ද පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(02.05.2022 – 17:53 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තුන්දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

ඒ, මහේස්ත්‍රාත්වරයා ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහල වෙත ගොස් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

මේ අතර රඹුක්කන සිද්ධියේදී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ද ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

***************************************

හරීන් මට අසභ්‍ය වචනයෙන් බැන්නා – සරත් ෆොන්සේකා

(02.05.2022 – 16:50 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය විසින් ඊයේ (01) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී හරින් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා (2) අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිළිවෙල යි.

මේ සම්බන්දයෙන් අද (02) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු ආචාරශීලී නොවන ලෙස හැසිරුණු බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *