ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

*********************************************

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

(02.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද (02) පැවැත්වීමට නියමිතයි.

මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකග වන බව පසුගිය සතියේ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 හේ නායකයන් ජනාධිපතිවරයාට දන්වා තිබුණේ, වෙනත් පාර්ශව සහභාගි කරවා ගැනීමකින් තොරව පවත්වන සාකච්ඡාවකට සිය පාර්ශව එකඟ බවයි.

ඒ අනුවයි පසුගිය සිකුරාදා (29) මුල් වරට ස්වාධීන කණ්ඩායම ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා සිදු කළේ.

එහි දී වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබූ අතර අන්තර් වාර පාලනයක් සඳහා වත්මන් ආණ්ඩුව ඉවත්වීම පිළිබදව සාකච්ඡා වී තිබුණා.

එම සාකච්ඡාවේ දිගුවක් ලෙසයි අද (02) මෙම හමුව පැවැත්වෙන්නේ.

මේ අතර ඊයේ (01) පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අතරතුරදී පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවනවා.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මැයිදින රැළියේ කථික ලැයිස්තුවේ අනුපිලිවෙල සම්බන්ධයෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබෙන බවයි.

අප කළ විමසීමක දී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ, එවැනි සිද්ධියක් පිළිබඳ දැනුවත් වූ අතර, එය, සමථයකට පත් කිරීමට කටයුතු කළ බවයි.

***************************************

15 වසරක සිට තිබූ රාජපක්ෂ සබඳතාව අදින් ඉවරයි – ජීවන් තොණ්ඩමන්

(02.05.2022 – 06:23 +0530 – hirunews.lk/sinhala)

රාජපක්ෂ සමග වසර 15 ක සබඳතාව අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මැයි දින රැළියකදී පවසයි.

ඊයේ (01) කොටගල කේන්ද්‍ර කරගනිමින් පැවති ලංකා කම්කරු කොංග්‍රස් ප්‍රධාන මැයි රැලිය අමතමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

වතු ජනතාව මෙන්ම තමන් ඇතුළු සිය දේශපාලනික සගයින් ද ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කළ ද, එම විශ්වාසය මේ වනවිට පළුදු වී ඇති බව තොණ්ඩමන් ප්‍රකාශ කළා.

වත්මන් රජය එක් වරදක් කොට, එය නිවැරදි කර නොගනිමින් දිගින් දිගටම එම වරද කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැමිණ සිටි ජනතාව අමතමින් සඳහන් කළ අතර, හෙතෙම කියා සිටියේ, එබැවින් කිසිදු ලෙසකින් වත්මන් රජයට තවදුරටත් සහාය පළ කළ නොහැකි බවයි.

***************************************

සහාය දෙනවා – භාරගන්නත් ඕනේ – දයාසිරි

(02.05.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සජබයේ විශ්වාසභංගයට සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවනවා.

ඒ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශනයකට පිළිතුරු දෙමින්.

නමුත් ආණ්ඩුව පෙරළීම පමණක් සෑහීමට තරම් දෙයක් නො වන බව යි ඔහු පවසන්නේ.

ආණ්ඩුව පෙරළා පසුව නායකත්වය භාරගැනීමට සූදානම් කිසිවකු නොමැති බව ද ඔහු සඳහන් කරනවා.

ආණ්ඩු පෙරළීමට කතා කරන සජිත් ප්‍රේමදාස, නායකත්ව වගකීම දැරීමට සූදානම් නොමැති බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් පවසනවා.

මේ අතර, විභාගයක් පැවැත්වීමට වත් කඩදාසියක් නොමැති අවස්ථාවක දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණයක් ඉල්ලා සිටිනු ලැබීම අතිශය පදනම් විරහිත කතාවක් බව යි ඔහු අවසාන වශයෙන් සඳහන් කරන්නේ.

++++++++++

දේශපාලනික අර්බුදයට විසඳුම වන්නේ පොහොට්ටුවෙන් අගමැති පත් කිරීමයි – ඩිලාන් පෙරේරා

(02.05.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

රටේ දේශපාලනික අර්බුදයට කදිම විසඳුම වන්නේ නව අගමැතිවරයෙකු යටතේ බලය ක්‍රියාත්මක කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ පත්වන නව අගමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්විය යුතු අතර, ඒ හරහා සැවොම එක් වී අන්තර් කාලීන ආණ්ඩුවක් තැනිය හැකි බවයි.

පොහොට්ටුවෙන් ම නව අගමැතිවරයෙකු පත් කළ යුත්තේ ඇයි දැයි යන පැනයට ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

පසුගිය මහමැතිවරණය හා ජනාධිපතිවරණයේ දී ජන මතය සහ ජන වරම හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර, උද්ධච්චකම හේතුවෙන් මේ වනවිට පක්ෂ දේශපාලනය ජනතාවට අප්‍රිය වී ඇති බව ද මන්ත්‍රී ඩිලාන් ප්‍රකාශ කළා.

+++++++++++

***************************************

පාර්ලිමේන්තුවේ දූරකථන, ආහාරපාන, විදුලිය සහ ලිපිද්‍රව්‍ය පරිහරණයට සීමා

(02.05.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ දූරකථන පරිහරණය ඇතුලු සේවාවන් රැසක් සඳහා සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනවලින් පෞද්ගලික දූරකථන ඇමතුම් ලබා ගැනීම සිදු නොකරන ලෙස සියලු අංශ ප්‍රධානීන් හරහා සේවක සේවිකාවන්ට පසුගිය සතියේ දැනුම්දීමටයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පියවර ගෙන ඇත්තේ.

එසේම පාර්ලිමේන්තුව තුළ විදුලිය, ජලය සහ ලිපිද්‍රව්‍ය පරිහරණයද සීමා කර තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ පාර්ලිමේන්තුවේ දෛනික ආහාරවේළට ඇතුළත් කෙරෙන ආහාර වර්ග ප්‍රමාණය ද මේ වනවිට සීමා කර ඇති බවයි.

ඒ අනුව ආහාර වේළක් සඳහා ව්‍යංජන තුනක් (3) හෝ හතරක් (4) පමණක් එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ආහාර වේලක් සඳහා අය කෙරෙන මිල ද තවදුරටත් ඉහළ යා හැකි බවයි වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

ස්වාධීන මන්ත්‍රීවරුන් සාකච්ඡාවට ජනපති හමුවෙයි

(02.05.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, ටිරාන් අලස්, උදය ගම්මන්පිල සහ නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

ජාතික එකඟතා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අතර හමුවක් පසුගිය සිකුරාදා (29) මුල්වරට පැවැත්වුණා.

ඒ, සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව ජනාධිපතිවරයා ලිපියක් මගින් ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට දැනුම්දීමෙන් පසුවයි.

තනිව හමුවිය යුතු බවට ස්වාධීන කණ්ඩායම කළ යෝජනාවකට අනුව එම හමුවට පොදුජන පෙරමුණේ හෝ වෙනත් කිසිදු නියෝජිතයෙකු එදින සහභාගි වූයේ නැහැ.

කෙසේ වෙතත් දැන් පැවැත්වෙන සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු පෙරමුණ වෙනුවෙන් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ද එක්ව සිටිනවා.

එසේම අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡාවට සහභාගි වී සිටින බවයි වාර්තාවන්නේ.

එමෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

ඊට සහභාගි වී සිටින මන්ත්‍රීවරයෙකු කියා සිටියේ ඊයේ (010 පැවති මැයි දින රැළිය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවයි.

+++++++++++

අන්තර්කාලීන ආණ්ඩුව වෙනුවට ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවයි ද?

(02.05.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

පවතින අර්බුදය විසඳා ගැනීමට ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග අද (02) උදෑසන පැවැත්වූ සාකච්ඡාවේ දී මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.

මීට පෙර පක්ෂ එකොලහේ (11) ස්වාධීන කණ්ඩායම යෝජනා කර තිබුණේ, සර්වපාක්ෂික එකඟතාවකින් යුතු අන්තර්කාලීන ආණ්ඩුවක් කඩිනමින් පිහිට විය යුතු බවයි.

නමුත්, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සර්වපාක්ෂික එකඟතාවකින් යුතු අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟ නොවන බව පවසා ඇති බැවින්, මෙලෙස ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට අද (02) රැස්වීමේ දී ස්වාධීන කණ්ඩායමෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එම යෝජනාව සඳහා මූලික එකඟතාවක් පළ කර තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නිමල් සිරිපාල, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම් සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අය සහභාගී වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා ද ජාතික එකඟතා ආණ්ඩුවකට සිය එකඟතාව පළ කළ බවයි වාර්තා වන්නේ.

මෙම ජාතික එකඟතා ආණ්ඩුවේ නව අගමැති ධුරයට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පත් නොකෙරෙන්නේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු පත් නොකරන බව පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවා.

මෙම ජාතික එකඟතා ආණ්ඩුවේ අගමැති ධුරයට ස්වාධීන කණ්ඩායමේ කෙනෙකු පත් කළත්, එය මෙරටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය විසඳීම සඳහා අවංකව ම ගනු ලබන තීරණයක් නම්, පක්ෂයක් හැටියට පොදුජන පෙරමුණ ඊට විරුද්ධ නොවන බවත්, මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

++++++++++

බදාදා (04) පාර්ලිමේන්තුව අතිශය තීරණාත්මකයි

(02.05.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන අර්බුධයත් සමග අනිද්දා (04) රැස්වන පාර්ලිමේන්තුව අතිශය තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ දින වල පැවති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන රැස්වීම් කිහිපයකදීම මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඉල්ලා අස් වී විපක්ෂයේ වාඩි වීමටද ඉඩ ඇති බව වාර්තා වෙනවා.

එහිදී අගමැතිවරයා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලා අස් වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරුට පැවසුවේ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවිය හැකි දෙයක් නමුත් ඒ පිළිබඳ නිෂ්චිත දිනයක් අද (02) දවසේ ප්‍රකාශ කළ නොහැකි බවයි.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ඉවත් ව නොයන ලෙසට ඉල්ලීම් කරමින් සිටින බවටද වාර්තා වෙනවා.

අගමැතිවරයා සමග බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අද (02) දවසෙත් තීරණාත්මක සාකච්ඡාවක නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

බදාදායින් (04) ආරම්භවන පාර්ලිමේන්තු සතියේදී සමගි ජන බලවේගයද ආණ්ඩුවට එරෙහිව සිය විශ්වාස භංගය ඉදිරිපත් කරන බවයි සමගි ජන බලවේයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.

+++++++++++

සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අනිද්දා (04) පාර්ලිමේන්තුවට

(02.05.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (02) පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවසන් එකඟතාවට පැමිණියා.

විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මේ සදහා අවශ්‍ය අත්සන් ප්‍රමාණය මේ වන විට ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඊයේ (01) පැවැත්වූ මැයි දින රැළියේදී සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර ඇති වූ බහින්බස්වීම සම්බන්ධයෙන් ද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපය හෙළා දැක මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු අදහස් දැක්වූ බවයි ඊට එක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ.

මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පලනි දිගම්බරන් ද එක්වුණා.

කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා එක් නොවූ අතර ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මං සන්ධියේ ජාතික ගොවිජන එකමුතුවේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ සිටියා.

***************************************

රටේ ප්‍රශ්න විසදන තුරු දේශපාලනඥයින්ට මහනාහිමියන්ගෙන් තහංචියක්

(02.05.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

රටේ ප්‍රශ්න විසදන තුරු කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙනවා.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් (6) ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ලියවිල්ලක් ඉදිරිපත් කළා.

එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *