ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ

*********************************************

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ

(02.05.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ බලශක්ති අමාත්‍යවරයා අතර අද (02) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 11:30 ට බලශක්ති අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවන්නේ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරමින් බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරී සඳහන් කළේ.

මේ අතර, පිරවුම්හල් සතුව පවත්නා තොග උදෑසන වන විට අවසන් වනු ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පවසනවා.

මෙම වර්ජනයට සහය පළ කරමින් අයි.ඕ.සී. ටැංකි රථ හිමියන් ද ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් ඊයේ (01) ප්‍රකාශ කළේ, ඉදිරි දින දෙක (2) තුළ ඉන්ධන ප්‍රවාහනයට අපොහොසත් වන සියලු ප්‍රවාහනකරුවන්ගේ බලපත්‍ර අහෝසි කරන අතර සේවයට වාර්තා කරන්නන් වළක්වාලීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම ඊයේත් (01) ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

+++++++++++

ඉන්ධන තොග බෙදාහැරීම අඛණ්ඩ ව සිදු වන බව බලශක්ති ඇමති කියයි

(02.05.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් උපරිමයෙන් යොදාගනිමින් ඉන්ධන තොග මේ වනවිට බෙදාහරිමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් දක්නට ලැබෙන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් මේ වනවිට ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහනය කිරීමටයි බලශක්ති අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙ යෑම සඳහා නව උපදේශන මාලාවක්ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (01) නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර, ඉන්ධන ලබාගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම්ද දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

+++++++++++

ඉන්ධන පෝලිම් දිගු වෙයි

(02.05.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත්ව සිදුකරන වර්ජනය නිසා පිරවුම්හල් අසල දිගු පෝළිම් නිර්මාණය වී තිබෙනවා.

ටැංකි රථ හිමියන් පසුගිය සෙනසුරාදා (30) මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුතුරාජවෙල බෙදාහැරීමේ පර්යන්තයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නැවතී ඇති බවයි වාර්තා වන්නේ.

අද (02) දිනයේ කිසිදු පෞද්ගලික ටැංකි රථයක් සේවයට වාර්තා කර නොමැති අතර ඉන්ධන පිරවුම්හල් සතු ටැංකි රථ සුළු ප්‍රමාණයක් සේවයට වාර්තා කර ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියා.

මෙම වර්ජනයට සහාය පළ කරමින් තම සංගමයද ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත්ව සිටින බව ලංකා අයි.ඕ.සී. පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සඳනායක සඳහන් කළා.

මෙවන් පසුබිමකයි ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇත්තේ.

පවතින තත්ත්වය හමුවේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අද (02) පෙරවරුවේ කොළොන්නාව නිමාව පර්යන්තයේ සංචාරයකද නිරත වී තිබෙනවා.

එසේම දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් උපරිමයෙන් යොදාගනිමින් ඉන්ධන තොග මේ වනවිට බෙදාහරිමින් පවතින බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද (020 ප්‍රකාශ කළා.

මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් පවතින බවයි ඔහු එමඟින් දක්වා තිබුණේ.

ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් මේ වනවිට ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහනය කිරීමටයි බලශක්ති අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙ යෑම සඳහා නව උපදේශන මාලාවක් ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (01) නිකුත් කරනු ලැබුවා.

මේ අතර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් අතර සංස්ථා පරිශ්‍රයේදී මේ වනවිට විශේෂ සාකච්ජාවක් ද ආරම්භ වී තිබෙනවා ෴

++++++++++++

පැය විසිහතර (24) පුරා හුවමාරු ක්‍රමය යටතේ ඉන්ධන ප්‍රවාහනයට පියවර

(02.05.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පැය විසිහතර (24) පුරා හුවමාරු ක්‍රමය යටතේ රජය සතු ඉන්ධන බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද (02) දහවල් 12 වනවිට අදාළ ඉන්ධන බවුසර් 127 න් 86 ක් ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන බවයි.

වෙනත් දිනවලට සාපේක්ෂ ව එම බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහන ගමන් වාර ඉහළ දැමීමට කටයුතු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ වර්ජනය හමුවේ වුව ද පෞද්ගලික ටැංකි විස්සක් (20) ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා අද (02) දිනයේ කටයුතු කර ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

+++++++++++

ඉන්ධනවල ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක දෙකක් (2)

(02.05.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් (2) හදුන්වා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ 011 523 4234 හෝ 011 545 5130 යන අංක වෙත එම ගැටළු සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බවයි.

ප්‍රදේශ කිහිපයකින් ඉන්ධනවල පවතින ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා ෴

+++++++++++

බවුසර් හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි

(02.05.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යළි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එම සංගමය සඳහන් කළේ.

එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩිකිරීමට බලධාරීන් එකඟ වූ බවයි.

ඔවුන් ගේ ඉල්ලීම වූයේ 40% ක ගාස්තු වැඩි කිරීමක්.

මේ අතර පැය විසි හතර (24) පුරා හුවමාරු ක්‍රමය යටතේ රජය සතු ඉන්ධන බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම මේ වන විටත් සිදු වනවා.

++++++++++++

පෞද්ගලික තෙල් බවුසර් වර්ජනය අවසන් – ඉන්ධන බෙදා හැරීම පස්වරුවේ සිට

(02.05.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන ගාස්තු ඉහල නංවන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද (02) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමග අද (02) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අනුව ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු අද (02) පස්වරුවේ සිට යලි ආරම්භ කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ ප්‍රවාහන ගාස්තු සියයට 30 කින් ඉහළ නංවන බවට සංස්ථාවේ සභාපතිවරයා එකගතාව පළ කිරීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බවයි.

මේ අතර, වර්ජනය පැවති අවස්ථාවේ ඉන්ධන ප්‍රවාහන කළ ටැංකි රථයකට අද (02) පෙරවරුවේ අංගොඩ ගල්වාන මංසන්ධිය ආසන්නයේදි ගල්ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (02) දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා තිබු අතර, විවෘතව පැවති පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.

ඉන්ධන ප්‍රමිතිය පිළිබද යම් සැකයක් ඇතිවුවහොත් දුරකථන අංක දෙකක් (2) හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර, නව විදුලි සබදතා ලබාදීම සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ නව සබදතා ලබාදීමට අවශ්‍ය උපාංග ටෙන්ඩර් මගින් මිලදී ගැනීමට නොහැකි වීම ඊට හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළා.

***************************************

සතොසේ හාල් සුපිරි වෙළෙඳසලටත්

(02.05.2022 – 07:00 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සහල් තොග අවසන් වන තෙක් මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145 කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල්175 කටත් යන උපරිම සිල්ලර මිල යටතේ අලවි වනු ඇති.

මේ අතර, පසුගිය වසරේ රසායනික පොහොර ආනයනය එකවර ම නවතා දැමීම හේතුවෙන්, මෙරට සමස්ත කෘෂිකාර්මික දේහය ම බරපතළ ව්‍යසනයකට ලක් වුණා.

කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉතා ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වූ අතර, බොහෝ ගොවියන් ඉකුත් කන්නයේ තබාගත් අතිරික්ත රසායනික පොහොරවලිනු යි ගොවිතැන් කළේ.

පසු ව කළු කඩ මිලට පෞද්ගලික අංශයෙන් රසායනික පොහොර ලබා ගැනීමට ගොවියාට අවස්ථාව ලැබුණු අතර, එයත් ගොවියාට ගෙන දුන්නේ මහත් පීඩාවක්.

කෙසේ වෙතත් දින කිහිපයකට පෙර රජය නිවේදනය කර තිබුණේ, ඊළඟ කන්නය සඳහා රසායනික පොහොර ලබා දීමට තීරණය කර ඇති බව යි.

ඒ සඳහා නව පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, පවතින විවිධ අර්බුද හා ගැටුම්කාරී තත්ත්වයන් මත, මෙරට ආහාර හිඟයක් ඇති වීම නො වැළැක්විය හැකි කරුණක් වනු ඇති බව යි.

++++++++++++

කුලියාපිටිය – කනදුල්ල රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රියදුරා අත් අඩංගුවට

(02.05.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (01) පස්වරුවේ කනදුල්ල ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බවයි.

සිද්ධියෙන් අවුරුදු 39 ක් වයසැති කුලියාපිටිය – කුරුදල්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.

මෙම අනතුරින් පසු ප්‍රකෝප වූ පිරිස් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා ඇති අතර, රියදුරු ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු (3) සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර, බාල වයස්කරුවෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ෴

++++++++++++

කුලියාපිටියේ ඩිෆෙන්ඩර් අනතුරට අත්අඩංගුවට ගත් තුන්දෙනාට (3) ඇප

(02.05.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ඇතුළු තුන් දෙනා (3) ඇප මත මුදා හැර තිබෙනවා.

එහිදී ඩිෆෙන්ඩර් රථය පැදවූ බවට හෙළි වූ පියා පමණක් අධිකරණයට අද (02) දිනයේ ඉදිරිපත් කළ අතර එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදා හරින ලෙසටයි.

සිද්ධියෙන් යතුරුපැදිය පැදවූ අවුරුදු 39 ක් වයසැති කුලියාපිටිය – කුරුදල්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.

අනතුරින් පසු ප්‍රකෝප වූ පිරිස් ඩිෆෙන්ඩර් රථයට ගිනි තැබූ අතර එහිදී ඔවුන් චෝදනා කළේ බාල වයස්කාර දරුවෙකු විසින් ඩිෆෙන්ඩර් රථය පදවා ඇති බවයි.

කෙසේ නමුත් අද (02) නඩුව කැදවූ අවස්ථාවේදී අනාවරණ වූයේ අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ එම බාල වයස්කරුගේ පියා වන බවටයි.

ඊයේ (01) දිනයේදී අනතුර සිදුවීමෙන් පසු පියා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු තවත් අයෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරුගේ ප්‍රත්‍රයා සහ අනෙක් පුද්ගලයා පොලිස් ඇප මත මුදා හරිනු ලැබුවා.

***************************************

නව විදුලි සබඳතා ලබාදීම සීමා කෙරේ

(02.05.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

නව විදුලි සබදතා ලබාදීම සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ නව සබදතා ලබාදීමට අවශ්‍ය උපාංග ටෙන්ඩර් මගින් මිලදී ගැනීමට නොහැකි වීම ඊට හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා ෴

***************************************

මාර්තු මාසයේ තේ නිෂ්පාදනයේ අඩුවීමක්

(02.05.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පසුගිය මාර්තු මාසයේදී සියයට 24 කින් අඩු වී තිබෙනවා.

2009 වසරෙන් පසු වාර්තා වූ අඩුම නිෂ්පාදන ප්‍රතිශතය ලෙසයි මෙය සැලකෙන්නේ.

මේ වසරේ පළමු (1) කාර්තුවේ තේ නිෂ්පාදනය සියයට 15 කින් අඩු වී තිබෙනවා.

උඩරට, පහතරට සහ මධ්‍ය කඳුකරයෙන් ලැබෙන වර්ග තුනටම (3) අයත් තේ ප්‍රභේදයන්ගේ මෙම අඩුව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් අර්බුදය, ලෝක ආර්ථික ගැටලු සහ යුද්ධ පැවතීම මෙම තත්ත්වය හේතු වී තිබෙනවා ෴

***************************************

ආහාර නොමැති ව හැට (60) හැවිරිදි පියා එල්ලී මරුට

(02.05.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික පීඩනය දරාගත නො හැකි ව හැට (60) හැවිරිදි පියකු ගෙල වැල ලාගෙන මිය ගොස් තිබෙනවා.

ගල්ගමුව – වලස්වැව පදිංචි ව සිටි පුද්ගලයකු යි මෙලෙස මරණයට පත් වී ඇත්තේ.

මොහු තම බිරිඳ සමඟ කුඩා පැල්පතක ජීවත් වී ඇති අතර, රැකියාව ලෙස හේන් ගොවිතැන හා කුලී වැඩ සිදු කරමින් හිඳ තිබෙනවා.

මිය ගිය පුද්ගලයා පුහුල් වගාවක් සිදු කරගෙන ගොස් තිබී ඇති අතර, තෙල් පොහොර නොමැති වීම නිසා එය ද අසාර්ථක වී තිබෙනවා.

වත්මන් අර්බුද තත්ත්ව හමුවේ අහාර පාන පවා නිසි පරිදි සපයාගැනීමට නොහැකි වීම නිසා, මොවුන් කලක පටන් ජීවත් වී ඇත්තේ, අතිශය අසීරු තත්ත්වයක යි.

මෙම පියා පසුගිය 29 වැනි දා උදෑසන නිවසින් පිට ව ගිය බවත් සවස් වන තුරු ම ඔහු නිවසට නො ආ බවත් පවසන ඔහුගේ බිරිඳ පවසන්නේ, තමන් ඒ බව මිනිබිරියට දන්වා සිටි බව යි.

“අත්තාට උදේට කන්නත් නෑ. දවල්ට කන්නත් නෑ. මම සල්ලි ටිකක් හොයාගෙන පිටි 250 ක් ගෙනාවා රොටියක් පුච්චලා දෙන්න. හේනට ගිහිං අත්තට එන්න කියන්න” යැ යි ඇය මිනිබිරියට පවසා තිබෙනවා.

මිනිබිරිය හේනට ගොස් විපරම් කිරීමේ දී මිය ගිය පුද්ගලයාගේ එල්ලී මිය ගිය නිසල සිරුර ගසක තිබෙද්දී හමු වී ඇති බව යි වාර්තා වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *