කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට

කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට

*********************************************

කලාකරුවන් පා ගමනින් ගාලු මුවදොරට

(30.04.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී ආරම්භ කළ අරගලයට අද (30) සති තුනක් (3) සපිරෙනවා.

අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ (29) රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි අතර අගමැතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවද අරලියගහ මන්දිරිය ඉදිරිපිටදී තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර අර්බුදවලට විසඳුම් ඉල්ලා විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් විශාල පිරිසක් අද (30) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ සිට ගාලු මුවදොර අරගල භූමියට පා ගමනින් පැමිණියා.

රට තුළ පවතින ගැටළුවලට විසදුම් ඉල්ලා සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පසුගිය 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ (29) රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.

එහිදී අරගල භූමිය විචිත්‍රවත් කරමින් අරගලභූමියේ ඉදි කර ඇති එළිමහන් රංගපීඨයේදී විශේෂාංග රැසක් ද පැවැත්වුණා.

ගාලුමුවදොර අරගල භූමියට ඇද හැළුණු අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ (29) රාත්‍රියේත් එම ස්ථානයේ රැදී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර ‘නිර්පාක්ෂික ජන අරගලය’ නමින් ගාලු මුවදොර භූමියේ විරෝතාවක නිරත වු පූජ්‍ය අලව්වේ ධම්ම සුජාත හිමියන් ඊයේ (29) රාත්‍රියේ අරගල භූමියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අද (30), 22 වැනි දිනටත් ක්‍රියාත්මක අරගලයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගාලු මුවදොරට පැමිණියා.

මේ අතර ‘ජන අරගලයේ කලාකරුවෝ’ නමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (30) වැඩසටහනක් පැවැත්වුණේ විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන්ගේ සහභාගීත්වයෙන්.

පසුව එම කලාකරුවන් පිරිස පා ගමනින් ගාලු මුවදොර අරගල භූමිය දක්වා පැමිණියා.

මේ අතර ගාලු මුවදොර අරගලයට සහය පළ කරමින් කළුතරදී ආරම්භ කළ අරගල භූමියේ දී තරුණයින් සහ ප්‍රවීන මලල ක්‍රීඩක එකමුතුව විසින් මැරතන් ධාවනයක් සංවිධාන කළා.

කළුතර බෝධිය අසලින් ආරම්භ කළ මැරතන් ධාවනය ගාලු මුවදොර අරගල භූමිය වෙත ළඟා වුණේ මෙලෙසින්.

මේ අතර මලල ක්‍රීඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහය පළ කරමින් නුවරඑළිය රාගල නගරයෙන් අද (30) පා ගමනක් ආරම්භ කළා.

අදාළ පා ගමන හැටන්, ගිනිගත්හේන, අවිස්සාවේල්ල හරහා ගාලු මුවදොර අරගල භූමිය දක්වා පැමිණිමටයි සැලසුම් කර ඇත්තේ.

ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බලකරමින් ගාල්ල තවලම ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අරගල භූමිය දක්වා ආරම්භ කළ පා ගමන අද (30) ගල්කිස්ස දක්වා පැමිණියා.

පා ගමනේ 07 වැනි දිනය වන හෙට (01) දිනයේ දී ඔවුන් ගාලු මුවදොර අරගල භූමිය වෙත ළඟාවීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය අසළ දින හතරක් (04) තිස්සේ පැවැත්වෙන අරගලයට සහය පළ කිරීම සඳහාද ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.

දින තුනකට (3) පෙර සිටිම අරලියගහ මන්දිරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පැය 24 ම ක්‍රියාත්මක කළ පිරිත් සජ්ජායනාව අද (30) දිනයේත් විකාශය කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර මීට දින 03 ක සිට විරෝධතාකරුවන් රැදී සිටි ස්ථානයේ පදික වේදිකාව අවහිර වන ලෙස නවතා ඇති පොලිස් බස් රථ හා ට්‍රක් රථ ඉවත් කරගන්නා ලෙස බල කරමින් තරුණයින් කිහිපදෙනෙකු ආරම්භ කළ උපවාසය ද අද (30) තුන්වැනි (3) දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කුළියාපිටිය – බරිගොඩ ප්‍රදේශයේ පැවති විරෝධතාවකට සහභාගී වී නැවත නිවසට යමින් සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේදී පහර දී තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ ඔහු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහර දීමට සම්බන්ධ බවට සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර ‘ගෝල් ෆේස් තනි නොකරමු – සටන පෙරට රැගෙන යමු’ යන මැයෙන් ගාල්ලේ ආරම්භ කළ අරගලභූමියටද ජනතාව එක්ව සිටි අතර ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර ගාලු මුවදොර අරගලයට සහය පළ කිරීම සඳහා බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගුවන් මගින් මෙරටට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවනවා.

මේ අතර ගාලුමුවදොර අරගලයට සහය පළකිරීම සඳහා දිවයිනේ තවත් ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධාන කර තිබුණා.

මේ අතර අරගලයට සහය පළ කරන බවට පවසමින් කුරුණෑගල නගරයේ බීමතින් විරෝධතාවයේ නිරත වූ පිරිසක් එම ස්ථානයේ ඉවත් කිරීමට කුරුණෑගල අරගලභූමියේ සිටි තරුණයින් කටයුතු කළා.

මේ හෝමාගම නගරයට එක්වූ තරුණ තරුණියන් අරගලයට සහය පළකරමින් විරෝධාව දැක්වූවා.

අරගලයට සහය පළකරමින් සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් ඌව පරණගම – ලූනුවත්ත ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයේ නිරත වුණේ ඇඳ හැලෙන මහවැසි මධ්‍යයේයි.

මේ අතර වලපනේ ප්‍රදේශයේ වතු කම්කරුවන් එක්ව පැවැත් වූ විරෝධතාවක් අතරතුර එම ස්ථානයෙන් ගමන් කළ වලපනේ ප්‍රාදේහීය සභාවේ සභාපතිවරයාටද ජනතාව සිය විරෝධය පළ කළා.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර තත්ත්වය පාලනයට වලපනේ පොලිසියේ නිලධාරීන්ද මැදිහත් වුණා.

මේ අතර මෙවර යලකන්නයේ ගොවිතැන් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ජලය නිකුත් කලත් මෙතෙක් තමන්ට අවශ්‍ය රසායනික පොහොර ලබා නොදීමට විරෝධය පළ කරමින් මහවැලි-C කලාපයේ ගොවි සංවිධාන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් නුවරගල කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

පැයකට ආසන්න කාලයක් මහවැලි අධිකාරී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පිරිසට කිසිදු බලධාරියෙකු පිළිතුරු නොදීම හේතුවෙන් ඔවුන් එම කාර්යාලයට ඇතුලු වීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

ඇඹිලිපිටිය තෝරගල ප්‍රදේශයේ ගොවීන් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කළා.

***************************************

රඹුක්කන වෙඩි තැබීමට අත්අඩංගුවට ගත් පොලීසියේ තුන්දෙනා 13 දක්වා රිමාන්ඩ්

(30.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සෙසු පොලිස් නිලධාරීන් තුන්දෙනා (3) ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (29) නියෝග කළා.

ඒ, මහේස්ත්‍රාත්වරයා ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහල වෙත ගොස් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

මේ අතර රඹුක්කන සිද්ධියේදී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ද ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගත් ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

රඹුක්කන සිද්ධියට අදාළව නඩුව ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කරනු ලැබුවේ අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වෛද්‍ය වාර්තා කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුවයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් අත්අඩංගුවට ගෙන සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පරීක්ෂා කළේ.

එසේම, මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඹුක්කන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනා සම්බන්ධයෙන් ද වෛද්‍ය වාර්තාවක් සකස් කර තෙල්දෙණිය අධිකරණට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කරනු ලැබුවා ෴

***************************************

19 න් රනිල්ගේ බලය තහවුරු කළ විජයදාස රාජපක්ෂ බබෙක්ද (29.04.2022)

***************************************

දැන් ඕන රස්තියාදුකාරයෙකුට ගෝල්ෆේස් ගියා නම් වීරයෙක් වෙන්න පුළුවන් – රට පිස්සන් කොටුවක් කරන එකද අරගලය ? (01.05.2022)

***************************************

රුපියල් කෝටි තුනහමාරේ (3½) කේරළ ගංජා තොගය

(02.05.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 ක තොගයක් අත් අඩංගුවට ගැනීමට යුද හමුදා නිලධාරින් සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (01) දිනයේ දී කිලිනොච්චිය, පුනරීන් වීරවිල් ප්‍රදේශයේ දී යි.

ගොඩබිමට ගෙන ආ මෙම ගංජා තොගය මුහුදු වෙරළ ආසන්නයේ සඟවා තිබියදියි සොයා ගැනුණේ.

යුද හමුදා නිලධාරින් ප්‍රකාශ කළේ මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනහමාරකට (3,50,00,000) අධික බවයි.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙ ජෙයපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන් සිදු කරනවා ෴

***************************************

මෙරට විද්වතුන් දෙපළක් (2) ජපන් රජයේ ඇගයීමට

(02.05.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ජපානය විසින් මෙරට විද්වතුන් දෙපළකට (2) සම්මාන ප්‍රදානය කර තිබෙනවා.

ඒ අප්‍රේල් මස 29 වැනි දින ජපන් තානාපති කාර්යාලය විසින්.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශාස්ත්‍රීය හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන ලද සුවිශේෂි දායකත්වය අගයමිනුයි, මෙම ප්‍රදානයන් සිදු කෙරුණේ.

එහිදී දේශමාන්‍ය මහාචාර්ය ලක්ෂ්මන් ‘The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon’ හා කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය ‘The Order of the Rising Sun, Gold Rays with Rosette’ යන සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු ද වූ දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් ශ්‍රී ලංකාව තුළ ජපන් අධ්‍යයන වැඩසටහන ප්‍රවර්ධනය කළ අතර, ජපන් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයකම බාහිර ශාස්ත්‍රඥයෙකු ලෙස ඉගැන්වීම්වල යෙදීමෙන් හා ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමෙන් අධ්‍යාපනික හා ශාස්ත්‍රීය අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා – ජපන් සබඳතාවයේ 50 වැනි සංවත්සරය වෙනුවෙනුයි මෙම සේවයන් අගයනු ලැබුවේ ෴

***************************************

‘හඳපාන්ගොඩ හඳයා’ගේ ගෝලයෙකු ගිනි අවියක් සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට

(02.05.2022 – 09:58 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘හඳපාන්ගොඩ හඳයා’ නැමැත්තාගේ ගෝලයෙකු සහ කාන්තාවක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘හෝමාගම ගගා’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් සහ ඇය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘වටරැක සංජු’ නැමති 27 හැවිරිදි තරුණයෙකුයි.

මාසිකව රුපියල් 35,000 ක මුදලකට කුලී පදනම මත ලබාගත් අතුරුගිරිය – කහන්තොට ප්‍රදේශයේ නිවසක මෙම සැකකාරිය සහ සැකකරු මත්කුඩු ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරුව සිදු කළ පරීක්ෂාවේ දී එම නිවස පිටුපස වළදමා තිබූ ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් ද සොයා ගැනුණා ෴

***************************************

ජාතික ළමාරක්ෂක අධිකාරිය රඹුක්කන ළමයා ගැන විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි

(02.05.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ඇති වූ නොසන්සුන්තාවේ දී වෙඩි වැදීමට ලක්වූ 15 හැවිරිදි පාසල් දරුවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රගතිය පිළිබද ජාතික ළමාරක්ෂක අධිකාරිය වාර්තාවක් කැදවා තිබෙනවා.

එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සදහන් කළේ, තම අධිකාරියේ විමර්ශන අංශය ද සිද්ධිය පිළිබඳ දැනටමත් අදාළ දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

ලද පැමිණිල්ලක් මත එම අධිකාරියේ විමර්ශන අංශය මගින් සිද්ධිය පිළිබදව පසුගිය දා විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

මේ අතර රඹුක්කන සිද්ධියට අදාළ නඩුව අද (02) පස්වරුවේ යළි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

ඇති වූ නොසන්සුන්තාවයේ දී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය දා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එසේම, මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මේ මස 13 වනදා දක්වායි.

මේ අතර මිරිහාන ප්‍රදේශයේ මාර්තු 31 වන දා ඇති වූ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පිරිසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අද දැනුම් දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *