06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි

06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි

*********************************************

06 වැනිදා හර්තාලයට, බස් ගැමුණුගෙන් කොන්දේසි

(30.04.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ලබන 06 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කිරීමට නම් අදාළ වෘත්තීය සමිති වෙත කොන්දේසි 3 ක් ඉදිරිපත් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැටුප් නොලබා මෙම හර්තාල් ව්‍යාපාරයට සහභාගී වීමට කැමැත්ත පළ කිරීම එහි පළමු (1) කොන්දේසිය බවයි.

ඊට අමතරව මැතිවරණ වලින් තොරව අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලු රාජ්‍ය ආයතන විගණනය කළ යුතු බවත් අදාළ කොන්දේසි අතර වනවා.

ලබන 06 වැනිදා මෙම හර්තාල් ව්‍යාපාරය සැලසුම් කර ඇත්තේ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින්.

ඒ සඳහා බස් රථ සංගම් ඇතුළු වෘත්තීය සමිතිවලට ආරාධනා කර ඇති බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේ දුම්රිය වෘත්තීය සමිති 30 කට වැඩි ප්‍රමාණයක් මෙම හර්තාල් ව්‍යාපාරයට එක්වන බවයි.

කෙසේ වෙතත් දුම්රිය රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් මෙම හර්තාල් ව්‍යාපාරයට සහභාගී වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් ෴

***************************************

සමගි ජනබලවේගයේ පා ගමන අද (30) යක්කලින් ඇරඹේ

(30.04.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය මහනුවර සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කරන විරෝධතා පා ගමන අද (30) නැවතත් යක්කලින් ආරම්භ කෙරුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. පා ගමන අද (30) පස්වරුවේ පෑලියගොඩට ළඟාවීමට නියමිතයි.

මේ, පා ගමන යක්කල නගරයෙන් අද (30) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් පළ කර තිබුණා.

මේ අතර රට තුළ පවතින අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාව අද (30), 22 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (29) රාත්‍රිය පුරා පැවති විරෝධතාවට ජාතික ධජ රැගෙන කලාකරුවන්, වෘත්තිකයන්, වෘත්තිය සමිති නියෝජිතයන්, ඇතුලු විවිධ පිරිස් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී අභිරූපන රංගන ඉදිරිපත් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම විශේෂත්වයක්.

එමෙන්ම විරෝධතා පාඨ සටහන් කරන ලද සරුංගල් ගාලු මුවදොරදී ගුවන් ගතකිරීම ද ඊයේ (29) රාත්‍රියේ සිදු කෙරුණා.

ලොව සුප්‍රකට කාටූන් සහ සිනමා චරිතයක් වන ස්පයිඩර් මෑන්ගේ ඇඳුමින් සැරසුනු අයෙකු ඊයේ (29) රාත්‍රියේ විරෝධතාවයට එක්ව සිටි අතර ඔහුට හිමිවුනේ දැඩි ආකර්ෂණ‍යක්.

මඩකලපුව – දමිල කාන්තා සංවිධාන ද ඊයේ (29) රාත්‍රියේ විරෝධතාවට එක්ව සිටි අතර, ඔවුන් දමිල බසින් සිදුකළ ප්‍රකාශ, සිංහල බසින් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබුණා.

මේ අතර කොල්ලුපිටිය – අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා සත්‍යග්‍රහය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

එම ස්ථානයේ පිරිත් ප්‍රචාරය කිරීම තවදුරටත් සිදු කෙරෙන අතර, විරෝධතාකරුවන් විසින් ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනීගේ ගීත අද (30) ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබුණා.

***************************************

ප්‍රධාන පක්ෂවලින් හෙට (01) කොළඹ දී මැයි රැළි

(30.04.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම, වෘත්තීය සමිති රැසක් දිවයින පුරා මැයි දින පෙළපාලි සහ රැලි සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය, වාණිජ ප්‍රගතිශීලි සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව සංවිධාන කරනු ලබනවා.

ජනවරම සුරකිමු අභියෝග ජයගමු යන තේමාව යටතේ හෙට (01) පස්වරු 2 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පීඨයේ දි මෙම මැයි රැලිය පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ මැයි රැලිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල – කැම්බල් පිටියේ දීයි.

නිදහසේ අරගලය යන තේමාව යටතේ පස්වරු එකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වීමට නියමිත බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එසේම, ජන පීඩකයින් එළවන ජන බලවේගය යන තේමාව යටතේ සමගි ජන බලවේගය පසුගිය 26 වන දා මහනුවරින් ආරම්භ කළ පා ගමනේ පැමිණෙන පිරිස් ද හෙට (01) කොළඹ දී එම මැයි රැලියට එක්වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය හෙට (01) පෙරවරු 10 ට ආරම්භ වන්නේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දීයී.

මීට අමතරව මැයි දිනයට සමගාමීව දිවයින පුරා නගරවල ආණ්ඩුවට එරෙහි විරෝධතා රැසක් සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ.

එසේම, ජනතා විමුක්ති පෙරමුණ හෙට (01) දිනයේදි මැයි රැලි 4 ක් සංවිධානය කර තිබෙනවා.

එහි ප්‍රධාන මැයි පෙළපාළිය පස්වරු 1 ට මාලිගාවත්ත – පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී පස්වරු 3 ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතයි.

පසුව එම ස්ථානයේදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන මැයි රැලිය පැවැත්වෙන්නේ ජන පීඩක ආණ්ඩුව පන්නමු. – ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේයී.

මීට අමතරව අනුරාධපුරය, මාතර සහ යාපනය යන නගර වල ප්‍රධාන මැයි රැලි සංවිධානය කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ.

එසේම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය හෙට (01) පස්වරු 3 ට විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන අතර ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂවල මැයි රැලිය පස්වරු 3 ට පැවැත්වෙන් කොළඹ – හයිඩ් පිටියේ දීයි.

ජාතික නිදහස් පෙරමුණේ ද මැයි රැලිය පස්වරු 3 ට බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේදී ආරම්භවනවා.

එමෙන්ම, ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව තම පක්ෂය නියෝජනය කරන තරුණ බලවේග හෙට (01) දිනයේ දී ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.

ඒ අනුව නිර්පාක්ෂික වැඩ කරන ජනතා මැයි දින රැලියක් මෙවර ගාලු මුවදොර පිහිටි අරගල භූමියේ දී ආරම්භ වන්නේ පස්වරු 2 ටයි.

***************************************

ගෝඨා-ගෝ-ගමට සහාය දක්වා මළල ක්‍රීඩකයෙකු රාගල සිට කොළඹට පා ගමනක

(30.04.2022 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මළල ක්‍රීඩකයෙකු ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝඨා-ගෝ-ගමට සහය දැක්විම සඳහා රාගල සිට කොළඹ සිට පාගමනක් ආරම්භ කර තිබෙනවා.

ජාතික මළල ක්‍රීඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් (39) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහාය දැක්වීම සඳහායි, මෙම පාගමන ආරම්භ කළේ.

නුවරඑලිය රාගල නගරයෙන් අද (30) උදෑසන 10 ට ගමන් ආරම්භ කළ මනිවේල් සත්‍යශිලන් මහතා නුවරඑලිය හැටන් ගිනිගත්හේන අවිස්සාවේල්ල හරහා කිලෝමිටර් 175 ක් දුර පාගමනින් ගොස් සහාය දැක්වීමට තීරණය කර ඇත්තේ.

2002 වසරේ ඇවිදීමේ තරග සහ මිටර් 3000 ධාවන තරගවලට සහභාගි වූ මනිවේල් සත්‍යශිලන් ආසියානු තරග කිහිපයකටම සහභාගී වු ක්‍රීඩකයෙක්.

නුවරඑළිය – උඩුපුස්සැල්ලවා ඇමස් වත්ත පදිංචි මනිවේල් සත්‍යශිලන් ක්‍රීඩකයා ජීවනෝපාය වශයෙන් එම වතු යායේ එළවළු වගාව සිදු කරන අතර, රසායනික පොහොර මිල ඉහළ යාම, රසායනික ද්‍රව්‍ය නොමැති වීම හමුවේ එළවළු වගාව සිදු කරගෙන යාමට නොහැකි බව පවසමින් කොළඹ ගාලුමුවදොර ගෝඨා-ගෝ-ගම තරුණයන්ට සහාය දැක්විම පිණිස පාගමනක් ආරම්භ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

***************************************

නිදහසේ අරගලය පෑලියගොඩට

(30.04.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

නිදහසේ අරගලය තේමාවෙන් සමගි ජනබලවේගය මහනුවර සිට කොළඹට ආරම්භ කළ සමගිබල පාගමන අද (30) පස්වන (5) දිනටත් ක්‍රියාත්මක වුණා.

අද (30) පෙරවරුවේ තිහාරිය නගරයෙන් පාගමන ආරම්භ කළ අතර අවසන් කිරීමට නියමිතව ඇත්තේ පෑලියගොඩ නගරයෙන්. පාගමන හෙට (01) කොළඹ පුරහල දක්වා පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර රට තුළ පවතින අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වෙන විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් ගාලුමුවදොරට පැමිණෙමින් සිටිනවා.

එම විරෝධතාව අද (30) ක්‍රියාත්මක වන්නේ 22 වන දිනටයි.

එම විරෝධතාවට සහය පළ කරමින් කළුතර බෝධිය අසලින් ආරම්භ කළ මැරතන් ධාවනය ගාලුමුවදොර විරෝධතා භූමිය වෙත ළගා වුණා.

එසේම, මෙම විරෝධතාව සහය පළ කරමින් ජාතික මළල ක්‍රිඩකයෙකු වන මනිවේල් සත්‍යශීලන් නුවරඑළිය – රාගල නගරයෙන් අද (30) පාගමනක් ආරම්භ කළා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලිගහ මන්දිරය අසල දින 4 ක් තිස්සේ පැවැත්වෙන විරෝධතාවට සහය පළ කිරීම සඳහා ද ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.

මීට අමතරව කලාකරුවන් පිරිසක් ‘ජන අරගලයේ කලාකරුවන්’ යන මැයෙන් අද (30) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල සිට ගාලුමුවදොර විරෝධතා භූමිය දක්වා විරෝධතා පාගමනක නිරත වුණා.

මේ අතර, ජාතික ගොවිජන එකමුතුව පාර්ලිමේන්තු වටරවුමේ දින 4 කට පෙර ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

එසේම, ගාල්ල, කුරුණෑගල, කුලියාපිටිය, හෝමාගම හා ඌවපරණගම ඇතුළු ප්‍රදේශවල ද විරෝධතා පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

***************************************

හෙට (01) කොළඹට එන රියදුරන්ට දැනුම්දීමක්

(30.04.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ලෝක කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හමුවේ කොළඹ නගරය අවට හෙට (01) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු නිලධාරීන්ට මේවන විට ත් නියෝග ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ රථ වාහන සැලැස්ම : පිටුව [01][02][03]

***************************************

‘බුදුන්ගේ රස්තියාදුවට’ නඩු පවරා ‘සන්නා’ උසාවි කැඳවයි

(30.04.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

බුදුන් වහන්සේට සහ බුද්ධාගමට මෙන්ම සංස්කෘතියට අපහාස කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව’ නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර සමාජගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ සිංහල භාෂා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට සහ ශ්‍රීනාත් චතුරංග යන අයට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබෙනවා.

ඒ එළඹෙන මැයි මස 20 වැනි දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න විසිනුයි මෙම නියෝගය ඊයේ (29) නිකුත් කර ඇත්තේ.

‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය පාඨකයා අතරට ගමන් කරනුයේ මීට සිව් (4) වසරකට ඉහතදී එනම්, 2018 මැද භාගයේ දී යි.

මෙම කෘතියෙහි කතෘ අයිතිය හිමිව ඇත්තේ ලේඛක කේ.කේ. ශ්‍රීනාත් චතුරංග යන අයටයි.

උපුල් ශාන්ත සන්නස්ගලට චෝදනා එල්ල වී ඇත්තේ මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන්.

ඔහුගේ ‘සංහිඳ ආයතනය’ මගින් 2018 වර්ෂයේ දී මෙම කෘතිය පළ කෙරුණා.

කෙසේවෙතත් පොත ප්‍රකාශයට පත් කෙරුණු කාලවකවානුවේ දී විවිධ පිරිස් මෙම කෘතිය පිළිබඳ විවිධ මත පළ කෙරුණු අතර, ඇතැමෙකු මෙම කෘතිය සම්බන්ධයෙන් විවේචනාත්මක අර්ථකථන ද සිදු කෙරුණු අයුරු සමාජ මාධ්‍ය ජාලාහි එවකට දක්නට තිබුනා.

එම කාලවකවානුවේ දී ඇතැමුන් පෙන්වා දුන්නේ බුදු හිමියන්ගේ ගෞරවය පොතක් විකුණා දැමීම වෙනුවෙන් අයථා පරිදි භාවිත වී ඇති බවයි.

කෙසේවෙතත්, ග්‍රන්ථ රචක ශ්‍රීනාත් චතුරංග සිය කෘතියට නම යෙදූ ආකාරයට හේතු ලෙස විග්‍රහ කර ඇත්තේ එය අපහාස කිරීමක් නොව, භාෂාව තුළ ‘අභිනිෂ්ක්‍රමණය’ යන පදයට සමානුපාතික වන පරිද්දෙන් ‘රස්තියාදුව’ යන පදය ආරෝපණය කර ඇති බවයි.

මෙම පැමිණිල්ල 2018 වසරේ දී ගොනු කළේ ජනාධිපති නීතිඥ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ විසින්.

ඔහු ගොනු කළ චෝදනාව අතර දැක්වෙන්නේ, දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) යටතේ ගැනෙන ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන භාවිත කිරීම යන්නයි.

කෙසේවෙතත්, මේ වනවිට රටේ අර්බුද වෙනුවෙන් පෙනී සිටිමින් නිර්පාක්ෂික අරගලයට සහාය දක්වන ලැයිස්තුවේ ප්‍රවීණ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මෙන්ම ශ්‍රීනාත් චතුරංග යන අය ද සිටිනවා ෴

***************************************

පොතුපිටිය ගඟේ සැඩපහරට හසු වූ දැරියගේ සිරුර සොයාගැනේ

(30.04.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

කලවාන – පොතුපිටිය ගඟේ සැඩපහරකට හසුව දියේ ගිලී අතුරුදන්වූ දැරියගේ සිරුර සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

12 හැවිරිදි අදාළ දැරිය මෙම අනතුරට ලක්ව තිබුණේ මවගේ සොහොයුරිය සහ තම නැගණිය සමඟ පුස් ඇට ඇහිඳීම සඳහා ඊයේ (29) දහවල් එහි ගොස් සිටියදියි.

පසුව සිද්ධිය වූ ස්ථානයෙන් කිලෝමීටරයක් පමණ දුරක තිබී අද (30) එම දැරියගේ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

මෘත ශරීරය මේ වනවිට කලවාන රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴

***************************************

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(30.04.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (01) පෙරවරු 11:30 දක්වා වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනය මගින් ප්‍රකාශකර ඇත්තේ සමකයත් උතුරු අක්ෂාංශ 05 ත් නැගෙනහිර දේශාංශ 70 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ වනු ඇති බවයි.

විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා සුළං වේගය වැඩිවිය හැකි අතර ඉහත දැක්වූ මුහුදු ප්‍රදේශ රළු වන අතර ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් සමකයත් උතුරු අක්ෂාංශ 05 ත් නැගෙනහිර දේශාංශ 70 සහ 90 ත් අතර ගැඹුරු මුහුදු ප්‍රදේශය තුල (00-05N, 70E-90E) කටයුතු කරන බහුදින ධීවර සහ නාවුක යාත්‍රා ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි අවවාද කර ඇත්තේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදී සිටින පිරිස අද (30) සවස් කාලයේ සිට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ ව අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර අද (30) සවස් කාලයේ සිට කන්කසන්තුරය සිට පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

මීගමුවේ උපන්දින සාදයේ දී වැටලූ මත්ද්‍රව්‍ය – කාන්තාවන් තුනක් (3) කොටුවෙයි

(30.04.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක උපන්දින සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) අලුයම මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සතුව තිබී අයිස් ග්‍රෑම් 1 ක්, හෙරොයින් ග්‍රෑම් 9 ක් හා මිලිග්‍රෑම් 350 ක් මෙන්ම ගංජා සුරුට්ටු ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 33 ක්

(30.04.2022 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 33 දෙනෙකු හඳූනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,63,362 ක් ලෙසටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *