තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි

තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි

*********************************************

තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි

(30.04.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala)

තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය කළ පසු, නියෝජ්‍ය කථානායක ධුරය ස්වාධීන තනතුරක් වුව ද, එම තනතුර ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වීම හේතුවෙන්, එම ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙර තීරණය කළ බවත්, එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

නමුත් තවමත් එම ලිපිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, යළිත් ඊයේ (29) දිනයේ දී ලිපි දෙකක් (2) ජනාධිපති සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යවා ඇති අතර, අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, එළඹෙන 04 වැනි දින පාර්ලිමේන්තු සැසියේ දී සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත් කරගැනීම බවත් රංජිත් සියඹලාපිටිය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී තවත් බැරෑරුම් අඩියකට පත්වීම පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේදියි, හෙතෙම මේ බව පැවසුවේ.

රට තුළ අත්‍යවශ්‍ය සේවා වන ගෑස්, විදුලිය, ඉන්ධන ආදිය ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟය තදින් මේ වනවිට බලපා ඇති බැවින්, කර්මාන්ත පවා අඩාලව, රටට ඩොලර් ගලා ඒමේ මාර්ග අවහිර වී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දෙනවා.

මෙය සංකීර්ණ ප්‍රශ්නාවලියක් වන අතර, සංකීර්ණ ප්‍රශ්නාවලියක් අර්බුදයක් වූ කල ගැටලු විසඳීම ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සහ එහි සහාය ලබා ගැනීමට යොමු වීම මීට පෙර සිදු කළ යුත්තක් බවයි රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

මේ රටේ දුෂ්කර කාලයක් වූ 2008 කාලවකවානුව තුළ ලෝක ආර්ථිකය බිඳ වැටීමක් මෙන්ම, ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම පසුබිමක දි වුව ද විවිධ අවස්ථාවල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට එකඟ වූ ආකාරය ද ඔහු පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවර ණය ලබාදීමේ දී අප රටට ණය යළි ගෙවීමේ ප්‍රවණතාව පිළිබඳ ව ද යම් අවපාතයක් පවතින බවත්, මේ වනවිට එහි ණය ගෙවීමේ ප්‍රතිශතය සියයට 170 ක් ආසන්න කර ඇති බව පෙන්වා දුන් සියඹලාපිටිය කියා සිටියේ, ණය ගෙවීම අසීරු අඩියක පවතින බවයි.

එබැවින් අයි.එම්.එෆ්. අප හට සහාය ලබාදීමේ දී ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කළේ, පළමුව ණය ස්ථායී කරගැනීමට කටයුතු කළ යුතු බවයි.

එසේ නොවී, පාර්ලිමේන්තුව තුළ 113 ක පුහු අගයක් තනා ගැනීමට මේ අර්බුදකාරී වාතාවරණය තුළ නුසුදුසු බව ද ඔහු පැවසුවා.

වත්මන් රජය බලයට පත් වූ වහාම කළ පළමු වරද වන්නේ, රාජ්‍ය ආදායම අඩු කරගෙන, වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 03 ක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම බව ද හෙතෙම පෙන්වා දුන්නා.

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් ඇති අයෙකු පවා දන්නා කාරණයක් වන්නේ, මුදල් අච්චු ගැසූ විට නියත වශයෙන් රට තුළ ආර්ථික මූල්‍ය අවපාතයක් නිර්මාණය වන බව ද හෙතෙම පැවසුවා.

මෙම තත්ත්වය පාලනය කිරීමට නම් සෑම බැංකුවක් ම බැංකු පොළී අනුපාතය වැඩි කළ යුතු අතර, එම අවස්ථාවේ දී ද මෙරට මහබැංකුව කළේ, සිය පොළී අනුපාතය පහළ දැමීම බවත්, එතුළින් රටේ ජනතාව වැඩියෙන් වියදම් කිරීමට යොමුවීම බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වත්මන් මහබැංකු අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සිදු කළ පළමු සාධනීය පියවර වන්නේ බැංකු පොළී අනුපාතය 1-1 අනුපාතය යටතේ වැඩි කිරීම බවත්, එහෙත් එය පමණක් සුදුසු නොවන බවත්, නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කළා.

***************************************

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කෙරේ

(30.04.2022 – 06:42 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා සංශෝධනය දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් හුවා දක්වමින්, නව ගැසට් නිවේදනයක් 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නිකුත් කර තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ප්‍රකාරවයි.

නව සංශෝධනය යටතේ අමාත්‍යාංශ 31 ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය සංශෝධනයකට ලක් වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, තාක්ෂණ අමාත්‍යාංශයට තාක්ෂණය මෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අංශයට මෙරට සියලුම සංස්කෘතික හා ප්‍රාසාංග කලා ද අයත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන, නිවාසා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් සහ වෙරළ සංරක්ෂණයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට යටත් කෙරුණා.

තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයයන් වෙනස් වීමකට ලක් වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

+++++++

***************************************

ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර හමුවක්

(30.04.2022 – 13:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ඊයේ (29) පැවැත්වූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් සහ පක්ෂයේ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න ජනාධිපතිවරයා සමඟ ඊයේ (29) රාත්‍රි හතට (7) පමණ ජනාධිපති මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට සහභාගිවී තිබුණා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සඳහන් කර ඇත්තේ පවතින අර්බුදය හමුවේ පක්ෂයක් ලෙස රටට ප්‍රමුඛතාව ලබාදෙන බවත්, ත්‍රෛනිකායික මහනාහිමිවරු සහ සිවිල් සංවිධාන සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් පක්ෂය දැඩිව අවධානය යොමු කරන බවයි.

එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති අතර, එම යෝජනා තම පක්ෂය වෙතද ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරන බව පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අදාළ යෝජනා සම්බන්ධයෙන් සිය පක්ෂය සාකච්ඡා කොට එකඟතාවක් මත ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද මහලේකම්වරයා සඳහන් කළා.

සිය පක්ෂයේ මූලික අවධානය රට වෙනුවෙන් යොමුකරන අතර, ඒ සඳහා ජනාධිපතිවරයා සමඟ එක්ව කඩිනමින් කටයුතු කරන බවයි පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පසුගිය අප්‍රෙල් 04 වැනිදා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණේ ජීවන වියදම හමුවේ හෙම්බත්ව සිටින මහජනයා, රජය ඇතුළු සමස්ත ව්‍යුහය කෙරෙහි තම අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති බවයි.

එබැවින් අර්බුදයෙන් මිදීම සඳහා උන්වහන්සේ යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

අග්‍රාමාත්‍යවරයා ඇතුලු‍ අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැර ඉන් අනතුරුව මැතිවරණයකින් ආණ්ඩුවක් පත් කර ගන්නාතෙක් අන්තර්කාලීන පාලනයකට රට භාරදීම , එම අන්තර්කාලීන මණ්ඩලයට උපදෙස් දීම සඳහා විශේෂඥ උපදෙස් මණ්ඩලයක් පත් කිරීම, එම මණ්ඩලයේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් මත සිට ක්‍රියාකිරීම, අදාල යෝජනා පිළිබඳ විනිවිධභාවයකින් යුතුව ජනතාව දැනුවත් කිරීම හා එම මණ්ඩලයේ සාමූහික තීන්දුවලට අනුගතව ජනාධිපතිවරයා කටයුතු කිරීම යන යෝජනා ඊට ඇතුළත්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, ස්වාධීන කණ්ඩායම් සහ විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තිකයන් සහ විද්වතුන් අතර සාකච්ඡාවක් ඊයේ (29) කොළඹ දී පවත්වා තිබුණා.

එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

***************************************

අස්ගිරි මහ නාහිමියන්ගේ අත්සන ගැන නිවේදනයක්

(30.04.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් පසුගිය 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියට අස්ගිරි මහ නාහිමියන් විසින් තම අත්සන තබා ඇත්තේ කැමැත්තෙන් ම බවට අස්ගිරි මහා විහාරය අවධාරණය කරනවා.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් සමාජයේ පැන නැගී ඇති මතවාදයක් පිළිබඳ මහනාහිමියන්ගේ පෞද්ගලික ලේකම් වන ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් විසින් පැහැදිළි කිරීමක් සිදුකරමිනුයි මේබව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් කර ඇතැයිද අස්ගිරි මහා විහාරය සදහන් කළා.

මාධ්‍ය තුල සාකච්ඡාවන මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙක් අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද අදාල නිවේදනයේ සදහන්.

සත්‍ය අසත්‍යාවය නිසි පරිදි විමසීමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතල වරදක් බවයි අස්ගිරි මහ විහාරය පෙන්වා දෙන්නේ.

වර්තමානයේ රටේ පැණනැගි ඇති සමාජ, ආර්ථීක හා දේශපාලන අර්බුදය වහා සහනය කිරීම සදහා අවශ්‍ය උපදේශ ලබාදෙමිනුයි පසුගියදා අදාළ ලිපිය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ.

***************************************

අන්තර්කාලීන පාලනයක් ඉල්ලමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කෙරේ – දේශපාලන පක්ෂ නියෝජිතයින්ටත් කැඳවීමක්

(30.04.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට සංඝ ප්‍රතිඥාවක් ප්‍රකාශයට පත් කිරීම අද (30) සිදු කෙරුණා. ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහ සඟ සමුලුවකදීයි.

එහිදී තීරණය කෙරුණේ අදාළ අනුශාසනාව ක්‍රියාවට නැංවීම සිදු නොකරන්නේ නම් සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමටයි.

සංඝ සම්මුතියක් සඳහා වූ මහ සඟ සමුලුවට සහභාගී වීම වෙනුවෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය පස්වරු 3 ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේළන ශාලාවට රැස්වුණා.

ඉන් අනතුරුව මහා සංඝරත්නය නිදහස් චතුරස්‍රය වෙත බෞද්ධාලෝක මාවත ඔස්සේ පාගමනින් වැඩම කළා.

අනතුරුව, සඟ සමුලුව ආරම්භ කෙරුණු අතර, එහිදී පිලිගැනීම කතාව සිදුකළේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමියන්.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මහ සඟ සමුලුව ඇමතුවා.

ඉන් අනතුරුව මහා සංඝ ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීම සිදු කලේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින්.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ද සඟ සමුලුවේදී අදහස් දැක්වූවා.

මේ අතර පවතින අර්බුදකාරී තත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (30) රාත්‍රී 7 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි.

++++++++++

මහා සංඝරත්නයේ ආරාධනයෙන් පක්ෂ කිහිපයක නියෝජිතයින් පදනම් ආයතනයට

(30.04.2022 – 23:14 +0530 – hirunews.lk/sinhala)

අද (30) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සඟ සමුළුවට සමගාමීව අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.

ඒ කොළඹ 7 පදනම් ආයතනයේදී.

අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉවත්වී අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙත දැනුම් දීම සඳහා මහ සංඝරත්නයේ ආරාධනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයින් පදනම් ආයතනයට කැඳවා තිබුණා.

ඒ අනුව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් හා ආගමික නායකයින් පිරිසක් ඊට එක්ව සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු නියෝජිතයෙකු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේ නැහැ.

***************************************

විශ්වාසභංග යෝජනාව ලබන සතියේ

(30.04.2022 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

‘නිදහසේ අරගලය’ තේමාවෙන් සමඟි ජනබලවේගය මහනුවර සිට කොළඹට පැමිණෙන සමගි බල පා ගමන, අද (30) පස්වන (5) දිනට ආරම්භ කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කලා.

පසුගිය 26 වනදා මහනුවරින් ආරම්භ කෙරුණු ‘නිදහසේ අරගලය’ සමගි බල පා ගමන අද (30) පස්වන දිනට ගමන් ආරම්භ කළේ යක්කල නගරයෙන්.

අද (30) දින ‘නිදහසේ අරගලය’ සමගි බල පා ගමන යක්කල සිට පෑලියගොඩ දක්වා පැමිණියා.

හෙට (01) දිනයේදී පා ගමන පෑලියගොඩින් ආරම්භ විමට නියමිත අතර හෙට (01) ලෝක කම්කරු දිනයේදී එම පා ගමන සියවසේ මැයිරැලිය යන තේමාවෙන් පෑලියගෝඩ සිට කොළඹ පුරහල දක්වා පැමිණිමට සැලසුම් කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *