ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව

*********************************************

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් අහිමි වෙයි – අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව

(30.04.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා තවදුරටත් ප්‍රමුඛතාව ලබාදී ඇති බව වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට අද (30) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, අද (30) දිනයේත්, දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවති අතර, එලෙස පෝලිම්වල රැඳී සිටි ජනතාව අපහසුතාවයට පත්වීමේ සිද්ධීන් ද වාර්තා වුණා.

මේ අතර ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල අසල භූමිතෙල් මිලදී ගැනීමට පැමිණි ජනතාවගේ දිගු පෝලිම් පැවතියා.

මේ අතර, අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා සඳහන් කළේ, ගෙවීම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

කෙසේ වෙතත්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ මෙරට තුල ඉන්ධන ප්‍රවාහනය අංශ 3 කින් සිදුකෙරෙන බවයි.

ඒ අනුව, රජය සතු බවුසර, ඉන්ධන පිරවුම්හල් හිමියන් සතු බවුසර සහ කුලී පදනම මත ගෙන ඇති බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනය සිදුකෙරෙන බව එහි දැක්වෙනවා.

කුලී පදනම මත ගන්නා බවුසර සඳහා 2021 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා සිදුකරන ගෙවීම් සියයට 84 කින් ඉහළ නංවා ඇති බවයි අමාත්‍යවරයා එමගින් දක්වා ඇත්තේ.

කොළඹ ව්‍යාපාරික සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ කියා සිටියේ රට තුල පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 10 ක් පමණ අහිමිවී ඇති බවයි.

මේ අතර, වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන අගය එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු ප්‍රතිශතය නියත වශයෙන්ම තිරසර නොවන අතර, එය, ඉහළ නැංවීම හැර විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

ඒ, ‘බී.බී.සී. ප්‍රවෘත්ති සේවය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

2019 වසරේදී වත්මන් රජය විසින් වැට් බදු සියයට 8 දක්වා පහත හෙළීම වැරදි සහගත තීරණයක් බව එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

***************************************

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 4 වනදා

(30.04.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 97,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 04 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 40,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 30,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 27,500 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති ෴

***************************************

විදුලිබිල වැඩි කරන්න මෙතෙක් අවසර ලබාදී නැහැ

(30.04.2022 – 22:05 +0530 – hirunews.lk/sinhala)

විදුලිබිල වැඩි කිරීම සඳහා මෙතෙක් අවසරයක් ලබාදී නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදුලිබිල වැඩි කිරීමේදී සිදුවන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ විදුලිබිල සංශෝධනය වන ආකාරය මණ්ඩලය මගින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දීමයි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න මහජන උපයෝගීතා කොමිසම විසින් විමසනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් වන දැනුම්දීම රජයට ලබාදී ඇති අතර ඉදිරි සතියේ ඊට පිළිතුරක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

අනතුරුව පුවත්පත් දැන්වීම් මගින් විදුලිබිල වැඩිවන ආකාරය පිළිබඳ ඔවුන් ජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලබනවා.

පසුව මහජන උපදේශනයකින් අනතුරුවයි විදුලිබිල කුමන ආකාරයෙන් සංශෝධනය වන්නේ ද යන්න පිළිබඳ දැනුම්දෙනු ලබන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයට රුපියල් 53 ක් වැයවන අතර ඊට මෙතෙක් අය කරනු ලබන්නේ රුපියල් 17 ක් වැනි මුදලක් බවයි.

වසර 08 කට වැඩි කාලයක සිට විදුලි බිල සංශෝධනයක් සිදුකර නොමැති බැවින් වර්තමානයේ ගාස්තු වැඩි කිරීමක් සිදුකල යුතුය යන්න සිය ස්ථාවරය බව ද ජනක රත්නායක මහතා කියසිටියා.

කෙසේ වෙතත් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න විමසා බැලීමෙන් පසුව පමණක් ගාස්තු පිළිබඳ දැනුම්දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මහජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු අතර පූර්ව දැනුම්දීමකින් පසුව ජනතා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව පමණක් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන බව ඔහු පැහැදිළි කළා.

මහජනතාවට සිදුවන අපහසුතාව අවම වන ආකාරයෙන් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන අතර මූල්‍ය අර්බුදය සහ විදේශ විනිමය අර්බුදය විසඳා නොගෙන ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සිදු කිරීම හමුවේ මේවන විට වියදම් ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ ෴

***************************************

මැයි 2 සහ 4 දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(30.04.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන දෙවනදා (02) සහ හතරවනදා (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

මැයි පළමුවනදා (01) හා මැයි 03 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (29) ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කළේ මැයි පළමුවනදා (01) කම්කරු දිනය සහ මැයි 03 වනදා රාමසාන් දිනය යෙදෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කාලසටහන : [පිටුව 1][පිටුව 2][පිටුව 3]

+++++++++

+ https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

***************************************

අඩු මිලට ගෑස් ගන්න තායිලන්තයෙන් නව සමාගමක්

(30.04.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාරිභෝගිකයන්ට අඩු මිලට ගෑස් ලබාදීම සඳහා නව සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති විජිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙලෙස තෝරාගෙන ඇති බවයි.

එම සමාගම මගින් පසුගිය වසර දෙක (2) තුළ ගෑස් ආනයනය කළ සමාගමෙන් ගෑස් ලබාගත් මිලට වඩා මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 9 ක් අඩුවෙන් ලබාගත හැකි බව ඔහු සඳහන් කළා.

ගතවූ දෙවසර තුල මෙරටට ගෑස් ආනයනය කරනු ලැබූවේ ඕමාන සමාගමකින්.

එහි ගිවිසුම් කාලය මේ මස තුළ දී අවසන් වීමට නියමිතයි.

ඒ අනුවයි ලබන මස සිට ඉදිරි වසර 2 සඳහා මෙරටට ගෑස් ආනයනය කිරීමට නව සමාගමක් තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවනු ලැබුවේ.

ඕමාන සමාගම සමග ඇති කර ගෙන තිබූ ගිවිසුම අනුව එම සමාගම මගින් මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ (29) මෙරටට ළඟා වුණා.

එමඟින් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 3,500 ගොඩබෑමෙන් අනතුරුව බෙදාහැරීම් අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ බහුලව ගෑස් භාවිතයට ගැනෙන සියයට 28 ක්වූ නාගරික පාරිභෝගික ප්‍රජාවට සහ කර්මාන්ත ශාලා වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් දිවයින පුරා පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව ලිට්‍රෝ සමාගම පෙන්වා දෙනවා.

යළි ගෑස් බෙදාහැරීම් ආරම්භ කර ඇති බව ප්‍රචාරය වීමත් සමග දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත පාරිභෝගිකයින් විශාල ලෙස පැමිණමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ගෑස් මිල පෙර පැවති මිල මෙන් දෙගුණයකට (2) ආසන්න මිලක් දක්වා ඉහළ නංවා ඇති පසුබිමක ඊයේත් (29) දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණා.

මේ අතර දිවයින පුරා ඉන්ධන හල් වල ඊයේත් (29) භූමිතෙල් මිල දී ගැනීමට පැමිණි ජනතාවගේ දිගු පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල භූමිතෙල් නිකුත් කිරීම සඳහා ටෝකන් ලබා දීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වුණා.

එමෙන්ම ඇතැම් පිරවුම්හල්වල නොසන්සුන්තාවයන් ද ඇති වු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔරුගොඩවත්ත පිරවුම් හලේ භූමිතෙල් අවසන් වීම හේතුවෙන් ටෝකන් ලබා දීම නතර කිරීමත් සමග නොසන්සුන්තාවයක් ඇති වූ අතර තත්ත්වය පාලනය කිරීමට පොලීසිය මැදිහත් වුණා.

මේ අතර නිවාඩු දිනයක් යෙදී ඇති ලබන මැයි පළමු (01) වනදා සහ 03 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළා ෴

***************************************

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

(30.04.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වන අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.

***************************************

තවමත් ජලයෙන් යට වූ වතු නිවාස – නුවරඑළියට අයිස් වැස්සකුත්

(30.04.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවෙන් වතු නිවාස පෙලක් ඊයේ (29) පස්වරුවේ ජලයෙන් යට වූ බව අප වාර්තා කළා.

හැටන් දික්ඔය පොඩයිස් වතු යායේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස 30 ක් පමණ මෙලෙස ජලයෙන් යට වි ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පැවසුවේ.

මේ වනවිට වතු නිවාසවලට කාන්දු වු ජලය ඉවත් කිරීමට වතු කම්කරුවන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වනවා.

මේ අතර නුවරඑළිය – මිපිලිමාන ප්‍රදේශයට වසර හයකට (6) පසු අයිස් වැස්සක් ද ඊයේ (29) පතිත වු බව මිපිලිමාන ප්‍රදේශවාසීන් පැවසුවා.

***************************************

ටී 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(30.04.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව – කහටගස්දිගිලිය – පළුකෙටුවැව ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණු කාන්තාවගේ සැමියා යුද හමුදා පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා හමුදා සේවයේ නියුතු අයෙකු බවට තොරතුරු වාර්තා වීමත් සමග පොලිසිය විසින් යුද හමුදා මූලස්ථානය වෙත ඒ පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත අදාළ සෙබලා යුද හමුදා පොලිසිය භාරයට ගෙන ඇති අතර ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට භාරදීමට නියමිතයි.

අත්අඩංගුවට ගැණුනු සැකකරුගේ 47 හැවිරිදි බිරිඳ අද (30) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

ලද තොරතුරකට අනුව අදාළ කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ හිස් මැගසින් 3 ක්, සජීවි පතොරම් 184 ක්, ජෙලට්නයිට් කූරු 8 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 11 ක්, ඩෙට් කෝඩ් වයර් 1 ක් පොලිස් භාරයට ගනු ලැබුවේ ඊයේ (29) දිනයේදියි.

++++++++++

පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේ ටයර් අලෙවිසැලක ගින්නක්

(30.04.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (30) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ ටයර් අලෙවිසැලකයි.

ගින්න පාලනය කිරීමට මේ වනවිට එම ස්ථානයට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවීමේ රථ 02 ක් යොදවා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ගින්නෙන් දේපළ හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන සිදු කරනවා.

+++++++++++

***************************************

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට එරෙහිව පෙත්සමක්

(30.04.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

නීතිඥවරුන් දෙදෙනෙකු (2) මෙන්ම, ගොවියෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු 10 දෙනෙකු එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සහ නීතිපතිවරයා ඇතුලු දස (10) දෙනෙකු ඊට ඇතුලත්.

පෙත්සම්කරු විසින් එහි සඳහන් කර ඇත්තේ මෙරට ජන ගහණයෙන් සියයට 28 ක් ඍජුවම කෘෂිකර්මාන්තයෙන් යැපෙන අතර සියයට 42 ක් වක්‍රව ඉන් යැපෙන බවයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කෘෂිකර්මාන්තය බරපතල ලෙස කඩා වැටීමට ලක්වූ බව ද පෙත්සම්කරු චෝදනා එල්ල කර තිබුණා ෴

***************************************

යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට

(30.04.2022 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අක්කරපත්තුව – සාගම – පනංකාඩු පාලම අසළ සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී ඊයේ (29) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ යතුරුපැදියේ තරුණයින් තුන්දෙනෙකු (3) ගමන් කර ඇති අතර, යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ පසුපස ගමන් කළ අයෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 19 සහ 24 වයස්වල පසුවන අයයි ෴

***************************************

නීතිවිරෝධීව ඉන්දියාවට යාමට තැත්කළ 13 ක් නාවික හමුදා භාරයට

(30.04.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයන් 13 දෙනෙකු යාපනය – කන්කසන්තුරේ මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම පිරිස අතර කුඩා දරුවන් 5 දෙනෙකුද සිටින බවයි.

ඔවුන් මීට පෙර මන්නාරම ප්‍රදේශයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යාමට උත්සාහ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලැබූ පිරිසක් බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

නාවික හමුදාව භාරයට ගත් මෙම පිරිස අද කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදීමට නියමිතයි ෴

***************************************

ඉතාලියේදී හෙට සිංහල බසින් දිව්‍ය පූජාවක්

(30.04.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී හෙට (01) දිනයේදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සිංහල බසින් දිව්‍ය පූජාවක් පැවැත්වීමට නියමිතයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම දේව මෙහෙය සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුලු පිරිසක් සහභාගි වන බවයි කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *