විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි

*********************************************

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි

(29.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලිබිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා වන සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විමසීමට පසුගිය දා කටයුතු කළ බව යි.

ජල විදුලි හිඟය හේතුවෙන් වැඩි වශයෙන් ඉන්ධන භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීමට හේතුවීමත් සමඟ විදුලි ඒකකයක් සඳහා දැරීමට වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 53 ක මුදලක් වැය කළද පාරිභෝගිකයාගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16 ක් පමණයි.

කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ විදුලි බිල්පත වසර 08 කින් ඉහළ නංවා නොමැති බවයි.

මේ අතර, ඊයේ (28) පැවති පක්ෂ නායක රැස්වීමේ දී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විදුලිබිල සංශෝධනය කෙරෙන කාලවකවානුවක් පිළිබඳව අදහසක් පළ නො කළ බවයි වාර්තා වන්නේ ෴

***************************************

ළඟම පාසල දෙන්න අධ්‍යාපන ලේකම් කැමැත්තෙන්

(29.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන වියදම් සහ පවතින තත්ත්වය මත ළඟ ම පාසල සේවය කිරීම සඳහා ලබා දෙන ලෙසට ගුරුවරුන් කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් දැඩි කැමැත්තකින් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, කෙසේ වෙතත් එවැනි තීරණයක් කඩිනමින් ක්‍රියාත්මක කළ නො හැකි බවයි.

සියලු දෙනාගේ සහාය හිමිවේ නම් දත්ත පාදක අධ්‍යයනයක් සිදු කර පළමුව දරුවන් ස්ථානගත කරමින් එම කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ෴

***************************************

ඉන්දුනීසියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක ඖෂධ

(29.04.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත භාර දී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඊයේ (28) භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කිලෝග්‍රෑම් 3100 ක පමණ බරින් යුත් මෙම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ද ඇතුළත්.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මෙරට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් අතර හමුවක් ඊයේ (28) පැවැත්වුණා.

එහි දී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණදෙන අභියෝග පිළිබඳ ද නවසීලන්ත මහකොමසාරිස්වරයා අමාත්‍යවරයාගෙන් විමසා තිබෙනවා.

ඖෂධ හිඟය මඟහරවා ගැනීමට නවසීලන්ත රජයේ සහාය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහි දී ඉල්ලා ඇත්තේ ෴

***************************************

ත්‍රිපෝෂ බෙදාහැරීම නැවතෙයි

(29.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ත්‍රිපෝෂ බෙදාදීම සිදු නොකරන බවට චෝදනා එල්ලවනවා.

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල දරුවන්ට ත්‍රිපෝෂ නොමැතිවීම නිසා ඔවුන් මන්ද පෝෂණයට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි වාර්තාවන්නේ.

එම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහන් කරන්නේ මුල් මාස කිහිපයේ පමණක් තමන්ට ත්‍රිපෝෂ ලැබුණු බවයි.

අප මේ සම්බන්ධයෙන් ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් විමසිමක් කළා.

එහි දී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක සඳහන් කළේ, අමුද්‍රව්‍ය නො මැති වීම හේතුවෙන් මාස 3 ක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර කර ඇති බවයි ෴

***************************************

බලශක්ති මිල වසර 50 කින් ඉහළ ම අගයට

(29.04.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව බලශක්ති මිල ගණන් වසර 50 කින් ඉහළම අගයට පැමිණ ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල වසර 14 කින් වැඩිම අගයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා.

1973 වසරට පසු වෙළඳ භාණ්ඩ ක්‍ෂේත්‍රයේ ඇතිවූ වැඩිම කම්පනය මෙය ලෙසයි එමඟින් හැඳින්වූයේ.

මේ හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස අඩාල වනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළ කළා.

ගෝලීය උද්ධමනය ඉහළ මට්ටමක පවතිද්දී බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම තුළින් උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවලට ගැටළුකාරී වී ඇති බව ලෝක බැංකුවේ අදහසයි.

එය මීට මාස දෙකකට (2) පෙර පැවති තත්වයට වඩා බෙහෙවින් සංකීර්ණ බවයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ෴

***************************************

අප්‍රේල් මාසයේ සංචාරක ආගමනය සියයට 50 කින් පහත වැටේ

(29.04.2022 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසයේ පළමු දින 26 තුළ දිවයිනට සංචාරකයන් 55,600 ක් පැමිණ ඇති අතර, මාර්තු මාසයේ දී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,06,500 කට අධිකයි.

මේ අනුව, අප්‍රේල් මාසයේ සංචාරක ආගමනය සියයට 50 කින් පමණ පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ සාමාජීය අවිනිශ්චිතභාවය මෙම තත්ත්වයට හේතුව බව විචාරකයන්ගේ අදහසයි.

අප්‍රේල් මාසය සැලකූ විට දෛනිකව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 3600 සිට 2000 දක්වා පහත වැටී තිබෙනවා.

අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්.

එම සංඛ්‍යාව 10,326 ක් වන අතර, ඉන්දියාවෙන් සංචාරකයන් 5900 ක් සහ ජර්මනියෙන් සංචාරකයන් 5756 ක් පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගේ සංඛ්‍යාව 3,41,000 කට ආසන්නයි.

මේ අතර, ඉදිරි සංචාර සඳහා මෙරට හෝටල් වෙන් කරවා ගැනීම් සියයට 50 කින් පමණ පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක සම්මේලනයේ සභාපති එම්. ශාන්තිකුමාර් සඳහන් කළේ, ගුවන් සේවා රැසක් මෙරටට සිදු කරන සිය සංචාර කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවයි ෴

***************************************

මෙට්‍රික් ටොන් 3,500 ක තවත් ගෑස් නැවක් දිවයිනට

(29.04.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති කිහිපය තුළ ගෑස් හිඟය අවසන් කිරිමට හැකි වන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් කියා සිටියේ දිනකට උපරිම ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළඳපොලට මුදා හරිමින් පවතින හිඟය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.

ගෑස් පාරිභොගිකයින්ගෙන් වැඩි පිරිසක් නාගරික ජනතාව බැවින් නගරාශ්‍රිතව බෙදාහැරිම් කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ද ලිට්රෝ සමාගම සඳහන් කළා.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3500 ක තවත් ගෑස් නෞකාවක් අද (29) මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදී තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් අදත් (29) දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

ශ්‍රී ලංකාවට සහනාධාර ලබා දෙන්න තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජයේ අවසරය ඉල්ලයි

(29.04.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ ලබාදීම සඳහා තමන්ට අවසර ලබාදෙන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉදිරිපත් කළ යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද (29) ඒකමතිකව සම්මත වුණා.

ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සහල් ටොන් 40,000 ක්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ කිරිපිටි ටොන් 500 ක් යැවීමට අපේක්ෂා කරන බවයි.

පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා එම ද්‍රව්‍ය තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහායි මධ්‍යම රජයේ අවසරය ඉල්ලා ඇත්තේ.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ අසල්වැසි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා පැය ගණනක් පෝලිම්වල රැදීමට සිදුවීම වේදනාකාරි කරුණක් බවයි.

එලෙස ශ්‍රී ලංකාවට සහනාධාර යැවීම සඳහා තම මසක වැටුප පිරිනැමීමට ප්‍රාන්ත සභාවේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කළා ෴

***************************************

පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවක්

(29.04.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

21 වන වාර්ෂික පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ – නයිරෝබි නුවරදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබෙනවා.

එහිදී ලෝක මූල්‍ය අර්බුද, දේශගුණික විපර්යාස සහ අධ්‍යාපන පද්ධතිය ගොඩනැංවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

එම සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙන්ම නිලධාරින් කිහිපදෙනෙකු එක්ව තිබෙනවා.

***************************************

අධික වැස්සෙන් වතු නිවාස පෙළක් ජලයෙන් යට වෙයි

(29.04.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඇද (29) හැලුණු අධික වර්ෂාවෙන් වතු නිවාස පෙළක් ජලයෙන් යට වී තිබෙනවා.

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට අද (29) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතු යායේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස 30 ක් පමණ මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පැවසුවා.

පොඩයිස් වතුයාය හරහා කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලීමෙන් පස්වරු 3 ට පමණ ඇළ ආසන්නයේ පිහිටි වතු නිවාස සහ හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් වත්ත කොටස වැසි ජලයෙන් යට වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා ඇළ අසල පිහිටි වතු නිවාස වලට අඩියක පමණ වැසි ජලය කාන්දු වු බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

ඇළෙහි ජලය පිටාර ගැලිමෙන් වතු නිවාසවලට කාන්දු වු ජලය ඉවත් කිරීමට වතු කම්කරුවන් පියවර ගෙන තිබෙනවා.

දික්ඔය ඇළ මිට ප්‍රථම අවස්ථා කිහිපයක දි වැසි ජලය නිසි ලෙස බැසයාමට ප්‍රතිසංස්කරණය කළ බවත්, යළිත් එම ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය 36 තුළ දී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

***************************************

ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

(29.04.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 15,415 ක් වටිනා ඖෂධ තොගයක් අද (29) දින (29) මෙරටට ළඟාවී තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වෙත එම ඖෂධ කොළඹ වරායේදී භාර දුන් බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත මෙම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ගිරිජ’ නෞකාව මගින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවේ, ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන අතර, සෑම අසීරු මොහොතකදී අසල්වැසි රට ලෙස ඉන්දියාව අප වෙත දක්වන අනුග්‍රහය අතිමහත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දියානු මහ කොමසාරිස් හමුවේ ප්‍රකාශ කළේ ෴

***************************************

අප්‍රේල් මාසයේ දී උද්ධමනය 29.8% දක්වා අඛණ්ඩව ඉහළට

(29.04.2022 – 20:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 22.0 දක්වා ඉහළ ගිය බවයි ඔවුන් නිවේදනය කළේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 18.7 හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 30.2 හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13.4 හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගියා.

2022 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 9.25 ක් ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම භාණ්ඩ මිල ගණන් පිළිවෙළින්, සියයට 4.95 කින් සහ සියයට 4.31 කින් ඉහළ යෑම මේ සදහා හේතු වී තිබෙනවා.

ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු / පිළිසකර කිරීම්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගිය අතර ආහාර කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගියා.

මාධ්‍ය නිවේදනය : [පිටුව 1][පිටුව 2]

***************************************

ඊයේ (28) දිනට කොවිඩ් මරණ සිදු වී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(29.04.2022 – 16:59 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන පරිදි ඊයේ (28) දිනයේ දී කිසිදු කොවිඩ් ආසාදිත එකදු මරණයක් හෝ වාර්තා වී නැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඊයේ (28) දිනය වන විට මෙරට සටහන් ව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,504 ක්.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,63,301 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව ද 6,46,118 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 28 ක්

(29.04.2022 – 18:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 28 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,63,329 ක් ලෙසටයි.

මේවන විට ආසාදිතයන් 6,46,118 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ආසාදිතයන් 704 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 16,504 ක් ෴

+

30-04-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *