සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

*********************************************

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

(29.04.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා.

පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු (5) නම් කිරීමට ද තීරණය කරනු ලැබුවා.

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇතුළු ස්වාධීන කණ්ඩායම් සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

***************************************

අන්තර්වාර ආණ්ඩුවකට එකඟ නැහැ – විපක්ෂ නායක ජනමතය විමසයි – තර්ජනයක් ගැනත් හෙළිදරව්වක්

(29.04.2022 – 18:50 +0530 – hirunews.lk/sinhala)

අන්තර්වාර රජයක් සමග එක්වීමට සමගි ජනබලවේගය විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නිදහසේ අරගලය තේමාවෙන් සමගි ජනබලවේගය මහනුවර සිට කොළඹට පැමිණෙන පාගමන අද (29) සිව්වන (4) දිනට දංඕවිට නගරයෙන් ආරම්භ කළ අවස්ථාවේදී අදහස් දක්වමින්.

තමන්ට එල්ලවන තර්ජනයක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී හෙළි කළා.

අන්තර්වාර පාලනයකට පැමිණෙන ලෙසට ඉල්ලමින් තමාට පැය 24 පුරා දුරකතන ඇමතුම් ලැබෙන බව ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක ධුරය නැති කිරීමට සැලසුම් ඇති බවට ද එමගින් තර්ජනය කරන බවයි සජිත් ප්‍රේමදාස කියාසිටියේ.

විපක්ෂ නායක ධුරය අත්හැරීමට තමා ඕනෑම වේලාවක සූදානම් බව ඔහු මෙහිදී අවධාරණය කළා.

පස්යාල, සහ නිට්ටඹුව පසුකරමින් සමගි බල පාගමන අද පස්වරුවේ තිහාරිය නගරයට ළගා වුණා.

පා ගමන නිසා කොළඹ – නුවර මාර්ගය අද (29) පස්වරුවේ නිට්ටඹුව නගරයෙන් අවහිර වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පා ගමන හෙට (30) පෑලියගොඩ දක්වා පැමිණීමට නියමිත අතර, අවසන් දිනය වන මැයි පළමුවනදා (01) එය, පෑලියගොඩ සිට කොළඹ – පුරහල වෙත පැමිණීමට සැළසුම් කර තිබෙනවා.

***************************************

අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සර්ව ආගමික නායකයින් කියයි

(29.04.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

නව පාලනයකට අවස්ථාව ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සර්ව ආගමික නායකයින් අද (29) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.

මේ අතර ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කළේ මහා සංඝරත්නයේ ඉල්ලීමට ද අවනත නොවී අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් ඉදිරි ප්‍රතිඵල භයානක විය හැකි බවයි.

***************************************

මයිනාගෝගමට පොලිසිය කඩා පනියි – පහර දීමකින් අරගලකරුවකු රෝහලේ

(29.04.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්වයක් මතු වී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

මීට හේතු වී ඇත්තේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට අද (29) කොල්ලුපිටිය පොලිසිය උත්සාහ කිරීමත් සමඟයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් විසින් පිහිටුවා ගන්නා ලද මයිනාගෝගම අරගල මධ්‍යස්ථානයේ විරෝධතාවයේ නිරත ව සිටී පිරිස චෝදනා කළේ, මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට මීට දින දෙකකට පෙර පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී එම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැ යි කොල්ලුපිටිය පොලීසිය දැනුවත් නොමැති බවට ප්‍රකාශ කළ බවයි.

එසේ අයිතිකරුවන් සම්බන්ධයෙන් දැනුමක් නොමැති බස්රථ මේ මොහොතේ ඉවත් කර ගන්නේ කෙලෙස දැ යි ඔවුන් ප්‍රශ්න කර සිටියා.

බස්රථ ඉවත් කිරීමට පොලිසිය පැමිණීමත් සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදු වන අයුරු දැකගන්නට ලැබුණා.

මෙහි දී සිදු කළ පහර දීමක් හේතුවෙන් අරගලයේ නියුතු එක් තරුණයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අරගලයට එක් ව සිටි ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කළා.

***************************************

කොල්ලුපිටිය අවට රථ වාහන තදබදයක්

(29.04.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පීඨ සිසු සිසුවියන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මේ අතර අර්බුදවලට විසඳුම් ඉල්ලා ගාලු මුවදොරදී පැවැත්වෙන ජනතා විරෝධතාව අද (29), 21 වැනි දිනටත් ක්‍රියාත්මක අතර, ඊට සහය පළකරමින් අදත් (29) එම ස්ථානයට ජනතාව පැමිණෙමින් සිටිනවා.

රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළකරමින් පසුගිය 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ (28) රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.

ගාලු මුවදොර විරෝධතාවට සහය පළකරමින් ප්‍රදේශ කිහිපයකම ආරම්භ කළ විරෝධතා මධ්‍යස්ථානවල විරෝධතාවයන්ද මෙතෙක් අවසන් නැහැ.

මේ අතර, අරලියගහ මන්දිරය අසළ ආරම්භ කෙරුණු නව අරගල භූමියේද සිටින පිරිස් තවදුරටත් විරෝධතාවයේ නියැලී සිටිනවා.

++++++++++

වෛද්‍ය සිසුන් පෙළපාලියකින් ගාලුමුවදොරට

(29.04.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පහරදීමක් සිදුවූ බවට සිදුකරන චෝදනා පොලීසිය ප්‍රතික්ෂේප කරනවා.

විරෝධතාකරුවන්ට රැදී සිටීම සඳහා සකසා තිබූ ආවරණ හා එම ස්ථානයේ දින කිහිපයක් තිස්සේ නවත්වා ඇති බස් රථවල ප්‍රදර්ශනය කළ සටන් පාඨ ඇතුළත් පුවරු පොලීසිය විසින් ඉවත් කිරීමට උත්සාහ ගැනීමේදීයි මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබුණේ.

එම අවස්ථාවේ තුවාල ලැබූ අයෙකු රෝහල් ගත කිරීමට ද කටයුතු කෙරුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොල්ලුපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පොලීසිය විරෝධතාකරුවන්ට පහරදුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

අරලියගහ මන්දිරය අසල උපවාසකරුවන්ගේ අට්ටාලය කඩා දැමීම ඇතුළු කරුණු 3 ක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නීතිඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලීසියට පැමිණියා.

මේ අතර රට තුළ පවතින තත්වයට විරෝධය පළ කරමින් පසුගිය 09 වනදා ගාලු මුවදොරදී ඇරඹි විරෝධතාව අද (29), 21 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

අරගලයට සහය පළ කරමින් විවිධ ප්‍රදේශවල ඊයේ (28) රාත්‍රියේ මෙන්ම අදත් (29) විරෝධතා සංවිධාන කර තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම, ගාලුමුවදොර පිහිටි දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවේ දෑස් කළු රෙදිකඩකින් වසා දැමූ සිද්ධියක් ද අද (29) වාර්තා වුණා.

මේ අතර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් අද (29) පස්වරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කර පසුව ගාලුමුවදොර විරෝධතා භූමිය දක්වා පැමිණියා.

එසේම, වවුනියාව නගරයේ පැවති විරෝධතාවට රාජ්‍ය සේවකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර, පසුව විරෝධතාකරුවන් රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ නිවස ඉදිරිපිටට ගොස් විරෝධය පළ කර තිබුණා.

මේ අතර, රටේ පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් මෙන්ම ගොවි ගැටලු ද කඩිනමින් විසඳන ලෙස බලකරමින් ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව ද විරෝධතා සංවිධාන කර තිබුණා.

මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ නිවස ඉදිරිපිට ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (29) සිව් (4) වන දිනටත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහයේ නිරත පිරිසට කෘෂිකර්ම අමාත්‍යවරයා සමග අද (29) සාකච්ඡාවක් ලබාදී තිබූ අතර ඒ සඳහා එම නියෝජිතයින් කොළඹ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණියා.

එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ද එක්ව සිටීම විශේෂත්වයක්.

++++++++++

***************************************

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලයි

(29.04.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය තමන්ව අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති අතර, පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තැබීමට කටයුතු කළ බවයි.

මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා මීට සති තුනකට (3) ඉහත දී පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පුවත් සංසරණය වුණා.

නමුත් එදිනම හිරු ප්‍රවෘත්ති විසින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුවගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව මෝදර පොලීසිය විසින් අනුරුද්ධ බණ්ඩාරව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම තරුණයා විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි රජය විවේචනය කරමින් අදහස් පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙනුයි ඔහුව අත් අඩංගුවට ගැනුණේ ෴

***************************************

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන වාර්ෂික වාර්තාව නිකුත් කරයි

(29.04.2022 – 22:56 +0530 – hirunews.lk/sinhala)

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් මුදල් අමාත්‍ය, අලි සබ්රි වෙත පිළිගන්වා තිබෙනවා.

+++++++++

රන් මාලයක් කොල්ල කා පලා ගිය සැකකරු අත්අඩංගුවට

(29.04.2022 – 23:10 +0530 – hirunews.lk/sinhala)

හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාල මාර්ගයේ දී කාන්තාවකයේ ගෙළ බැඳි රන් මාළයක් කොල්ල කා පලා ගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සිද්ධිය CCTV කැමරාවක සටහන්ව තිබුණා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ තමන් පෙදරේරු රැකියාවේ නිරතව සිටි අයෙකු බවයි.

සිමෙන්ති සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය මිළ ඉහළ යාමත් සමඟ රැකියාවට එල්ල වු බාධා හේතුවෙන් බව කොල්ලය සිදු කළ බව සැකකරු පවසා තිබෙනවා.

***************************************

මැයි 02 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(29.04.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසිනුයි මෙය නිවේදනය කර ඇත්තේ.

රාජ්‍ය, පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය අද (29) අදාළ බලධාරින් වෙත යොමුකරන බවයි.

එළඹෙන මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරුදිනක වීම නිසාවෙන්.

***************************************

මැයි 01 දා සහ 03 දා විදුලි කප්පාදුවක් නැහැ

(29.04.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

මැයි පළමු (01) වනදා හා මැයි 03 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ මැයි පළමු (01) වනදා කම්කරු දිනය සහ මැයි 03 වනදා රාමසාන් දිනය යෙදෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *