ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි

*********************************************

ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි

(29.04.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද (29) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා පමණක් හමු වී සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (28) තීරණය කළ බවයි.

වත්මන් අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම මන්ත්‍රීවරුන්ට පසුගියදා දන්වා තිබුණා.

ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ පළමු අදියර අද (29) පැවැත්වෙන බවයි.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු‍ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක කළ යුතු කාලසීමාව, එහි වගකීම් පැවරෙන පුද්ගලයින් කවුරුන්ද ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු බවද එහි දැක්වුණා.

ඒ අනුව මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට මෙන්ම 2020 මහමැතිවරණයන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වනවිට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කර ඇති බවයි වාර්තා වුණේ ෴

***************************************

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් – තිස්ස කුට්ටිත් ඇවිළෙයි

(29.04.2022 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ (28) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වනවා.

කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේ පැවති එම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්ව තිබෙනවා.

පළමුවෙන්ම වර්තමානයේ පවතින ඉන්ධන, ගෑස් සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහි දී ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා ඇත්තේ, රටේ පවතින යථාර්ථයට මුහුණ දිය යුතු බව යි.

පවතින තත්ත්වය හමුවේ අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ සාකච්ඡාව උණුසුම් මුහුණවරක් ගත් බවයි වාර්තා වුණේ.

රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුමට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා.

එහි දී යළිත් උණුසුම් තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

‘වහා ම සවන් දෙන්න’ – ඕමල්පේ හිමිගෙන් ජනපතිට ප්‍රකාශයක්

(29.04.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ වහා ම ජනතා හඩට සවන් දිය යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පවසනවා.

මහානාහිමිවරුන් ද දන්වා ඇති පරිදි වහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කොට අන්තර්කාලීන පාලනයක් සකස් කිරීමට කටයුතු කළ යුතු බව යි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

එසේම ජනපතිවරයා සම්බන්ධ ජනතා විරෝධයට එතුමා නම්‍යශීලි විය යුතු බවත් උන්වහන්සේ අවසාන වශයෙන් දන්වා සිටිනවා.

***************************************

ජනපති හා පක්ෂ එකොළහේ (11) නායකයින් සමග සාකච්ඡාව ඇරඹේ

(29.04.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ගේ හමුව වෙනුවට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පක්ෂ 11 නායකයින් සමඟ සිදු කෙරෙන සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.

මේ සඳහා රජයට සහාය දැක්වීමෙන් ඉවත් වූ පක්ෂ එකොලහේ (11) නායකයින් එක් වී සිටින බව එම සාකච්ඡාවට පැමිණ සිටින හිටපු අමාත්‍යවරයෙකු සඳහන් කළා.

ජනාධිපතිවරයා පෙර යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ නායකයින් සමග සිකුරාදා (29) දිනයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වන බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය ඇතුළු බොහෝ පක්ෂවලින් සාධනීය ප්‍රතිචාර හිමි වූයේ නැහැ.

සමගි ජන බලවේගය මෙම සාකච්ඡා සඳහා එක් වීමට මේ දක්වා කැමැත්තක් පළ කරන නොමැති අතර ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මූලිකත්වය දරන සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පල රහිත ක්‍රියාවක් බවයි.

එවැනි සාකච්ඡාවක් සඳහා එක්වීමට සිය පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව ඔවුන් සඳහන් කර සිටියා.

මේ අතර මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක නිරතවන සමගි ජනබලවේගයේ නායකයින් එම පාගමන අතරතුර පැවැත්වෙන සෑම ජන හමුවක දී ම ප්‍රකාශ කර සිටියේ අශුද්ධ සන්ධාන සමඟ එක්වීමට සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවයි.

මේ අතර රජයට සහය දැක්වීමෙන් ඉවත් වූ ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්ෂ එකොළහේ (11) නායකයින් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත අදහස් දක්වමින් දන්වා යවා තිබුණේ අග්‍රාමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වන කිසිදු රැස්වීමකට එක්වීමට තමන් සූදානම් නොමැති බවයි.

එබැවින් පක්ෂ එකොළහේ (11) නායකයින් සඳහා වෙනම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (29) උදෑසන 10:30 ට එම සාකච්ඡාව සඳහා එක්වන ලෙසයි පක්ෂ එකොළහේ නායකයින්ට දන්වා තිබුණේ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 හේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (28) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී සාකච්ඡා කර තිබුණා.

ඒ, රටේ වත්මන් තත්වය සහ ද්විපාර්ශවීය සාකච්ඡා තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මීට පෙර චීන තානාපතිවරයා මෙන්ම රුසියානු සහ ජපාන තානාපතිවරුන්ද මෙලෙස මුණගැසී සාකච්ඡා කළා.

මේ අතර පසුගියදා අන්තර්වාර පාලනයකට කැමැත්ත පළ කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 10 දෙනා අද (29) මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට ගොස් තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වනවිට මල්වතු මහා විහාරයට ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුවට කේ.ඒ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

තව ද සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 ක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේ දී තීරණයක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

***************************************

නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට එකඟත්වයක්

(29.04.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍යවරයෙක් සහිත අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා අද (29) පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අර්බුදයට විසඳුමක් ලෙස පාර්ලිමේන්තුවේ සියලු‍ම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළා.

එහි ව්‍යුහය, ක්‍රියාත්මක කළ යුතු කාලසීමාව සහ වගකීම් පැවරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව අද (29) පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂවල නායකයින් ඊයේ (28) තීරණය කළේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නොමැතිව ජනාධිපතිවරයා සමග පමණක් සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පැය දෙකහමාරකට (2½) ආසන්න කාලයක් පැවති අතර, ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව සිටියේ නැහැ.

නිදහස් පක්ෂ මූලස්ථානයේදී ද මෙම සාකච්ඡාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අන්තර්වාර පාලනයේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනු ලබන්නේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සකස් කෙරෙන ජාතික සභාව මගින් බවයි.

මේ අතර, පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ තමන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට දැනුම් නොදුන් බවයි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති එම සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, පසුගියදා අන්තර්වාර පාලනයකට කැමැත්ත පළ කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 10 දෙනා අද මල්වතු – අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය බැහැ දැක සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් සඳහා වූ ඔවුන්ගේ යොජනා මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වූවා.

***************************************

ඩලස් එහෙම නෑ – මහින්ද රාජපක්ෂ

(29.04.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ (28) පැවැත්වී තිබෙනවා.

එය උණුසුම් මුහුණුවරක් ගත් බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේ පැවති එම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක් ව සිටි බව සඳහන්.

පළමුවෙන්ම වර්තමානයේ පවතින ඉන්ධන, ගෑස් සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහි දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා ඇත්තේ, රටේ පවතින යථාර්ථයට මුහුණ දිය යුතු බව යි.

පවතින තත්ත්වය හමුවේ අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ සාකච්ඡාව උණුසුම් මුහුණවරක් ගත් බවයි වාර්තා වුණේ.

රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුමට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා.

එහි දී නැගී සිටි ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ, තමන් කිසි විටෙකත් කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නොවන බවත් තමන් එළිපිට කතාකරන පුද්ගලයෙක් වන බවත් ය.

පවතින ආණ්ඩුව අලුත්විය යුතු බවට තමන් මීට පෙර ද පවසා සිටිය බව හා ඊට කිසිවෙක් ඇහුම්කන් නොදුන් බවත් පැවසූ අලහප්පෙරුම, තමන් මේ මොහොතේ ද පවසන්නේ ආණ්ඩුව අලුත් විය යුතු බව යැයි සඳහන් කර තිබෙනවා.

එහි දී නැගී සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කර ඇත්තේ, මේ වන විට බලඅරගලයක් සෑදී ඇති බැවින් එය විසඳාගත යුතු බවයි.

එහි දී නාමල් රාජපක්ෂ අරුන්දික ප්‍රනාන්දුට බැණවැදී ඇති අතර, ඔහු පවසා ඇත්තේ, අරුන්දික තමන් සමඟ එකක් කතාකොට රැස්වීමට පැමිණ තවත් දෙයක් පවසන බවයි.

රැස්ව සිටි පිරිස අමතමින් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, ඩලස් අලහප්පෙරුම යනු තමන් විසින් දේශපාලනයට රැගෙන ආ පුද්ගලයෙක් බවත් ඔහු පිළිබඳ තමන් ඉතා හොඳින් දන්නා බවත් ඩලස් අලහප්පෙරුම කිසිසේත්ම පසුපසින් සිට පිහියෙන් අනින පුද්ගලයෙක් නොවන බවත් ය.

ජනාධිපතිවරයා ද මන්ත්‍රීවරුන් අමතමින් සඳහන් කර ඇත්තේ, තමන් කිසිඳු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉවත්වීමට දැනුම් නො දුන් බවයි.

ඒ අවස්ථාවේ දී යළිත් පවිත්‍රා වන්නිආරච්චි ද අන්තර්වාර ආණ්ඩු සංකල්පය විවේචනය කරමින් අදහස් පළ කර ඇති අතර, ඒ සමඟම රැස්වීම උණුසුම් තත්ත්වයක් ඇතිකර තිබෙනවා.

පසු ව සාකච්ඡාව දිගින් දිගට ම ගැටුමක් කරා වර්ධනය වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැදිහත් වී රැස්වීම අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

***************************************

මේ කවුද මොනව ද කරන්නේ ?

(29.04.2022 – 18:31 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගේ ෆේස්බුක් ගිණුමේ අද (29) අපූරු පණිවිඩයක් සටහන් වී තිබුණා.

තනි රතු පැහැයෙන් යුතු පසුබිමක සුදු පැහැති අකුරෙන් දක්වා තිබූ එම පෝස්ටුවේ සඳහන්ව තිබුණේ “අයිති අයයි ඉල්ලපු අයයි මැයි 03 වෙනිදා Alert එකේ ඉන්න” යනුවෙන්.

මේ වන විට රට තුළ උද්ගතව ඇති දේශපාලනමය අවිනිශ්චිත භාවයත් සමග මෙම පෝස්ටුව කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

එමෙන්ම පසුගියදා පැවති හිරු ටී.වී. සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩ සටහනේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඔහු සතුව ඇති දේශපාලන ප්‍රබලයින්ගේ විවිධ දූෂණ, අල්ලස් සහ විවිධ අක්‍රමිකතා ඇතුලත් ලිපි ගොනු රාශියක් පිළිබඳව අදහස් පළ කළා.

මෙම පෝස්ටුවක් සමඟ එම ලිපිගොනු පිළිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

එසේනම් ලබන තුන්වෙනිදා (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සැරසෙන්නේ තවත් දේශපාලන බෝම්බයක් දමා ගැසීමට ද?

එම පෝස්ටුවට යොදා ඇති බොහෝ ප්‍රතිචාර හරහා ඉස්මතු වී තිබුණේ ද එවැන්නක්.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් පක්ෂයේ නායකයා පැවසූ පරිදිම ඔවුන් සතුව ඇති දේශපාලඥයින්ගේ විවිධ දූෂණ ක්‍රියා, අල්ලස් ඇතුළු අක්‍රමිකතාවන් පිළිබඳ ලිපිගොනු රාශියක් මේ වන විටත් පරික්ෂා කරමින් පවතින බවයි.

ඒ අතරෙන් තහවුරු කළ හැකි ශක්තිමත්ම ලිපිගොනු රැසක් නුදුරේදීම ජනගත කිරීමට සිය පක්ෂය සූදානමින් සිටින බවත් එම සාමාජිකයා අප සමඟ පැවසුවා.

එළැඹෙන තුන් වැනි දා (03) සිදු කෙරෙන්නේ එම කටයුත්ත දැයි අප විමසා සිටි මොහොතේ දී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව යමක් තමාට පැවසිය නොහැකි නමුත් නුදුරේදීම දේශපාලන වේදිකාව කළඹන හෙළිදරව් කිරීම් රාශියක් සිදු කිරීමට නියමිත බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *