IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ

IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ

*********************************************

IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ

(28.04.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් අද (28) පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට සහභාගී වී තිබෙනවා.

පවතින අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළා.

ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන අතර ඒ සඳහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අමාත්‍යාංශ ද්විත්වය සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු (2) පත්කර ඇති අතර පවතින තත්ත්වය කළමණාකරණය කර ඉදිරිදින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම අර්බුදය සඳහා බලපා ඇති හේතු සහ පැවති කළමණාකරණ දුර්වලතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සඳහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරේම (24) සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යවරයා කියාසිටියා.

විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සදහා අද (28) ගෙවීම් සිදුකර ඇති අතර ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

විදුලි ජනනය සදහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් ඒ සදහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳවද කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු වුණා.

මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩිවශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී කියාසිටියා.

දැනට පවතින ගෑස් හිඟය පිළිබඳව ද වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙහිදී අදහස් දැක් වූ අතර ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඒඅනුව ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා ෴

***************************************

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 සිට

(28.04.2022 – 18:29 +0530 – hirunews.lk/sinhala)

අර්බුදකාරී තත්ත්වයන් නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මැයි 23 වනදායින් ආරම්භ වීමට නියමිත විභාගයට අදාළ, ප්‍රශ්න පත්‍ර මැයි 20 හා 21 වනවිට සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු පිළිබඳ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මේ බව කියාසිටියේ.

උසස් අධ්‍යාපන ක්‍රියාවලිය අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මෙහිදී ප්‍රකාශ කළා.

විශ්ව විද්‍යාල ස්වාධීන කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ගැඹුරු කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ශ්‍රී ලංකා සමාජයට හා සෙසු ලෝකයට යෝග්‍ය පරිදි වෙනස් කිරීම යන නව යෝජනා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.

ඉදිරි කාලය තුළ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම්කර ඇති අතර වාර 3 ම ආවරණය වන පරිදි අධ්‍යයන කටයුතු කිරීමට නියමිත යි.

මෙම වසරේ ඔක්තෝබර් 16 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත් ඔත්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන විභාග සඳහා අවශ්‍ය සියලු කඩදාසි ප්‍රමාණවත් තරම් පවතින අතර රට තුළ කුමන අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේ දී පැවැතුණ ද විභාග කල් නොදැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුව සඳහා ළඟම පාසලට අනුයුක්ත කිරීමට කරන ලද ඉල්ලීම පිළිබඳව සොයා බලා ඉදිරියේ දී ක්‍රමවත් සැලසුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා ෴

***************************************

ලිවොතයිරෝක්සින් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයට

(28.04.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 micrograms) ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දී තිබෙනවා.

ඇසුරුම්ගත පෙති ලෙස (Blister pack) ඖෂධය ලබා දීම විශේෂ ලක්ෂණයක්.

මෙතෙක් කලක් රජයේ රෝහල්වලින් සිදු කෙරුණේ තොග ලෙස ආනයනය කළ ලිවොතයිරෝක්සින් රෝහල් ෆාමසියෙන් කවරයකට දමා රෝගීන්ට ලබා දීම යි.

තවත් සති හතරකින් (4) SPMC ලිවොතයිරෝක්සින් 50 micrograms ඖෂධය Blister pack ලෙස පෞද්ගලික අංශයේ ඔසුසැල් සඳහා ද නිකුත් කරන බව යි SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ පවසා ඇත්තේ ෴

***************************************

ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රදානයක්

(28.04.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දුනීසියාව විසින් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව අදාළ පරිත්‍යාගය පිළිගැනීමට අද (28) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණියා.

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) විසිනුයි, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමුණේ.

මෙරටට ලද ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 550 ක් නැතහොත් අමරිකානු ඩොලර් මිලියන 1.6 ක්.

මෙලෙස ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රදානයකට යොමු වූයේ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අප්‍රේල් 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

තානාපතිනිය එහිදී එරට රජය ශ්‍රී ලංකාවට ලබාදෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමක් ද සිදු කළා.

මෙම මානුෂීය ආධාර තොගය කාණ්ඩ දෙකක් (2) යටතේ ශ්‍රී ලංකාවට ළඟා වන අතර, එහි පළමු (1) කාණ්ඩය ලෙසයි මෙම ඖෂධ තොගය අද (28) දින හිමිවුණේ.

ඉතිරි තොගය මැයි 08 වැනි ඉරිදා දින මෙරටට ළඟා වනු ඇති.

දෙරට අතර පවත්නා දිගුකාලීන සමීප මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය මොහොතේ දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් ද ඉන්දුනීසියානු රජය සතුටට පත්වන බවයි විදේශ අමාත්‍යවරයා සමග පැවති හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ.

එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝග්‍රෑම් 3100 ක පමණ බරින් යුක්ත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

මෙම ඖෂධ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ද ප්‍රමුඛයි.

ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මෙම අවස්ථාවේ දී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම උපකාරය 70 වසරක ශ්‍රී ලංකා ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරනු ලැබුවා ෴

***************************************

සෞඛ්‍ය ඇමති සහ නවසීලන්ත මහ කොමසාරිස් අතර හමුවක්

(28.04.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton), නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) සහ සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අතර හමුවක් අද (28) පැවැත්වුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාලයේ දී යි.

එහිදී ශ්‍රී ලංකාවේ ළාබාලතම සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත්වූ චන්න ජයසුමන මහතා වෙත නවසීලන්ත මහ කොමසාරිස්වරයා විසින් විශේෂ සුභාශීංසන පිරිනැමූ බව එම අමාත්‍යංශය නිවේදනය කළා.

එහිදී නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍ර සබඳකම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළ අතර, ඒ පිළිබඳ සිය කෘතවේදීත්වය නවසීලන්ත මහ කොමසාරිස්වරයා වෙත පුද කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳව මේ අවස්ථාවේ දී නවසීලන්ත මහ කොමසාරිස්වරයා විමසා තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ, සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ නවසීලන්ත රජයේ සහය මේ මොහොතේ ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.

විශේෂයෙන් ඖෂධ හිඟය මග හරවා ගැනීමට නවසීලන්ත රජයේ සහයෝගය ඔහු ඉල්ලා තිබෙනවා.

ඊට පිළිතුරු දක්වමින් නවසීලන්ත මහ කොමසාරිස්වරයා කියාසිටියේ, නවසීලන්ත රජයේ සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහය ද තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට ලැබීමට සලස්වන බවයි ෴

***************************************

එච්.අයි.වී. පරීක්ෂාවට වේලාව අන්තර් ජාලයෙන්

(28.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

එච්.අයි.වී. පරීක්ෂණ සිදු කර ගැනීමට කැමැති අයෙකුට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා වේලාව වෙන්කර ගැනීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව https://www.know4sure.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා වේලාව වෙන්කර ගත හැකියි.

011 266 7163 සහ 070 363 3533 යන දුරකතන අංකයට ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, 071 637 9192 දුරකතන අංකයට ඇමතීමෙන් එච්.අයි.වී. ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී. / ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ එච්.අයි.වී. වෛරසය ආසාදිත 3700 දෙනෙකු මේ වනවිට මෙරට තුළ සිටින බවයි.

පසුගිය වසරේ දී අලුතින් ආසාදිතයින් 410 ක් වාර්තා වී ඇති අතර, 2019 වසරට සාපේක්ෂව 2020 සහ 2021 වසරවල ආසාදිතයින් වාර්තා වීමේ පහත යාමක් පෙන්නුම් කරන බව ද ඇය කියා සිටියා ෴

***************************************

කොවිඩ් වෛරසය : නව ආසාදිතයින් 29 ක්

(28.04.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදිත නව ආසාදිතයින් 29 දෙනෙකු අද (28) දිනයේ දී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,63,272 ක්.

වෛරසය ආසාදිත ව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 16,504 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව ද 6,00,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා ෴

***************************************

සෞඛ්‍ය ඇමති චන්නගේ අයැදීමක් අධිකරණය ඉවතලයි

(28.04.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරී අසේල සම්පත් යන අය විසින් සිය ෆේස් බුක් ගිණුමෙහි සටහන් කරන ලද සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට අයත් යැයි අසේල සම්පත් පවසන, පිටකෝට්ටේ ඉදි කර ඇති රුපියල් මිලියන 200 ක නිවස ගැන සඳහන් ලිපිය සම්බන්ධයෙන් අධිකරණය විසින් අද (28) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ ලිපිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අපහාස සිදු වන බව පෙන්වා දී ඇති අතර, එම පාර්ශ්වය විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, වහාම එවන් අපහාස සිදුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.

නමුත් භාෂණයේ නිදහස සුරක්ෂිත කරමින් කොළඹ දිසා අධිකරණයේ දී සලකා බැලුණු මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට දිසා විනිසුරු පූර්ණිමා පරණගම නියෝග කළා.

මෙම නඩුව ගොනු වන්නේ අසේල සම්පත් නමැත්තා විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි අමාත්‍ය චන්න ජයසුමනගේ යැ යි චෝදනා එල්ල වී ඇති මිලියන 200 ක නිවසක් ගැන සටහන් කර තිබෙන, “පිටකෝට්ටේ මිලියන 200 ගේ ? චන්න කන්ථක අසු නොමැතිව විල මැද්දේ අමුඩය සමඟින්” යන ශීර්ෂ පාඨය සහිත ලිපියට එරෙහිවයි.

එම විමසීම සම්බන්ධයෙන් වන ගාස්තු මුදල සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හෙවත් පැමිණිලිකාර පාර්ශ්වය විසින් විත්තිකාර පාර්ශ්වය වන අසේල සම්පත් වෙත නඩු ගාස්තු ගෙවීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණය වෙත දන්වා ඇත්තේ, අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඉතාමත් ප්‍රවීණ සහ කීර්තිමත් පුද්ගලයෙකු බවත්, ඉහත කී ෆේස්බුක් ප්‍රකාශය හේතුවෙන් ඔහු මහජනතාව ඉදිරියේ අවඥාවකට පත් වී ඇති බවත් ඔහුගේ කීර්තිනාමයට හානි සිදු වී ඇති බවයි.

විත්තිකරු විසින් තම විරෝධතාවයන්ගේ දක්වා ඇත්තේ පැමිණිලේ දක්වා ඇති පරිදි පැමිණිලිකරු කීර්තිමත් පුද්ගලයෙකු නොවන බවත් නිරන්තරයෙන් මහජනතාවගේ අවඥාවට සහ හාස්‍යයට ලක්වන පුද්ගලයෙකු බවත් පාර්ලිමෙන්තුව තුළ දී පවා පැමිණිලිකරුගේ කුප්‍රකට ක්‍රියාකාරකම් සාකච්ඡවට භාජනය වී ඇති බවයි.

පැමිණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ අතුල ද සිල්වාගේ උපදෙස් මත නීතිඥ මිනෝලි ඇලෙක්සැන්ඩර් සහ නීතිඥ ඩී.එස්. රත්නායක සමඟ ජනාධිපති නීතිඥ වී. කේ චොක්සි පෙනී සිටි අතර, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තමිලා පෙරේරාගේ උපදෙස් මත නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙනී සිටියා ෴

***************************************

වී අස්වැන්නේ 45% ක අඩුවක්

(28.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලමින් දේශීය ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීමට කටයුතු නොකළහොත් නුදුරේදීම ආහාර අර්බුදයකට මුහුණදීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි කෘෂි විශේෂඥයන් අනතුරු අඟවනවා.

කොළඹ දී ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිට මෙරට වී අස්වැන්න සියයට 45 කටත් වඩා අඩු වී ඇති බවයි.

විවිධ ප්‍රදේශවල යූරියා පොහොර මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 40,000 ක මුදලකට වෙළඳසැල්වල අලෙවි වන බවයි.

වෙළඳුන් ප්‍රකාශ කළේ, මෙලෙස මිල ඉහළ යෑමත් සමඟ ගොවීන් යූරියා පොහොර මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ෴

***************************************

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

(28.04.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

රංගන ශිල්පිනී ‘අනූෂා සොනාලි’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

47 වන වියේ පසුවූ ඇය ඊයේ (27) රාත්‍රියේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

‘විසිදැල’ සිනමාපටය තුළින් ජනතා ආදරය දිනාගත් ඇය ‘ලොකු දුව’ සහ ‘හඬන කිංකිණි’ වැනි චිත්‍රපටවල මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැණු ළමයි’ ටෙලි නාට්‍යයේ ද විශිෂ්ට රංගනයක නිරත වුණා.

1995 වසරේ දී හොඳම නැගී එන නිළියට හිමි සම්මානයට ද අනූෂා සොනාලි හිමි කර ගත්තා.

කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වූ බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්ත්වයක් මත කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන් ෴

***************************************

ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

(28.04.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය අද (28) දිනයේ සිට තවත් මාසයක (1) කාලයක් දක්වා ගාස්තු ගෙවීමකින් තොරව දීර්ඝ කර තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති භූ දේශපාලනික අර්බුදය එම රටවලින් මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට නැවත තම මව් රටවල් කරා යාමට නොහැකි වන අයුරින් වර්ධනය වී තිබෙනවා.

ඒ ගුවන් තහනම මෙන්ම එම කලාපයේ ගුවන්යානා මෙහෙයුම් නොකිරීමයි.

ඒ අනුවයි ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම සංචාරකයන්ට තම මව් රටවල් වෙත නැවත යාමේදී කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකා ගුවන්තොටුපලින් පිටත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *