නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි

නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි

*********************************************

නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි

(28.04.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කතානායකවරයා වෙත මේ වනවිට ලැබී ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පෙරවරු 10 ට පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පසුගිය දා කතානායකවරයා වෙත භාර දුන්නා.

එසේම, ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ න්‍යාය පත්‍ර පිළිබඳ ද අද (28) පැවැත්වෙන රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති ෴

***************************************

ජනපති සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර හමුවක්

(28.04.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (28) පස්වරු 04:30 ට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිත යි.

අර්බුදයට විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (27) ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු (1) අදියර ලෙස ජනාධිපතිවරයා සහ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහමැතිවරණයන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වනවිට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් හෙට (29) පැවැත්වීමට නියමිත යි.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද (28) පැවැත්වෙනවා ෴

***************************************

මන්ත්‍රී රොෂාන් රණසිංහගෙන් ජනපතිට ලිපියක්

(28.04.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ පවතින ආර්ථික දේශපාලන සමාජ අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනා ඇතුලත් කරමින්.

ඔහු එම ලිපියෙන් ප්‍රකාශකර ඇත්තේ පවතින අර්බුදය හමුවේ මහජනතාව විඳින අපහසුතා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන අතර ක්‍රියාත්මක කළ හැකි ඉතා සරළ එහෙත් ඵලදායීතාවයෙන් ඉහළ ප්‍රායෝගික යෝජනා පමණක් ඉදිරිපත් කරන බවයි.

විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් උපයන මුදල මෙරටට ලබා ගැනීමේදී ඔවුන්ට රජය විසින් සාධාරණයක් ඉටු කිරීමෙන් එම ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔහු සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.

***************************************

පාර්ලිමේන්තුවේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව අමරවීර කියයි

(28.04.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බොහෝ වෙනස්කම් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

අද (28) පෙරවරුවේ කථානායකවරා සමග පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමෙන් අනතුරුව කතානායකවරයා වෙනස්වන්නේදැයි මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේබව කියා සිටියා.

කෙසේවෙතත් සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කළ ද වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට ක්ෂණික විසඳුම්නො ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව ද මහින්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ අතර විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ බව මහින්ද අමරවීර කියාසිටියා.

මෙම අවස්ථාවේ විදුලි බිල වැඩිවීම ජනතාවට එය අසීරුතාවක් වුව ද විදුලි බල මණ්ඩලයට ද මේ අවස්ථාවේ පාඩුවක් සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සදහා සහභාගි වීම සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බවද මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.

++++++++++

පක්ෂ එකොළහේ (11) නායකයෝ වෙනම ජනාධිපති හමුවෙයි

(28.04.2022 – 17:43 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයට සහාය ලබා දී පසුව වෙන් වී ස්වාධීන ව සිටින පක්ෂ එකොළහේ (11) නායකයින් සඳහා ජනාධිපතිවරයා වෙනම සාකච්ඡා අවස්ථාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු පවසා සිටියා.

එම හමුව හෙට (29) පෙරවරු දහයට (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඒ අනුව සිය කණ්ඩායම හෙට (29) ජනාධිපතිවරයා කැඳවා ඇති සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීම සඳහා එක් නොවන බවත් ඔහු සඳහන් කළා.

අන්තර්වාර පාලනයක් පිළිබද ජනාධිපතිවරයා හෙට (29) කැදවා ඇති සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් වෙන්වී පාර්ලිමේන්තුවේ ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පමණක් එම සාකච්ඡාවට සහභාගි විය යුතු බවටයි ඔවුන් අද (28) පස්වරුවේ රැස්වී තීරණය කර ඇත්තේ.

අදාල සාකච්ඡාව සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර සහභාගී වී ඇති බව සඳහන්.

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ සහ අනිකුත් ආගමික නායකයින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් කැඳවා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කළා.

එම සාකච්ඡාව කැඳවීමට නියමිතව තිබුණේ හෙට (29) දිනයේයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා එක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් මතයක් තවමත් සමගි ජන බලවේගය ප්‍රකාශ කර නැහැ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වය දරන කිසිදු රජයක් සමග සර්ව පාක්ෂික, හෝ සන්ධාන රජයක් පිහිටුවීමට තමන් එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද (28) කතානායකවරයා වෙත ලිපියක් භාරදී තිබෙනවා.

එමගින් ඔහු දක්වා ඇත්තේ විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බවයි. ඒ කිසිවකට පක්ෂව හෝ විපක්ෂව තමා ඡන්දය භාවිත නොකරන බව ද ඔහු සිය ලිපියේ දක්වා තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහය නොදක්වන බව ද ඔහු එමගින් ප්‍රකාශ කරනවා.

මේ අතර, අද (28) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදි විදුලිය, ගැස් සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙන්ම, වෙළද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන් අදාල පක්ෂ නායක රැස්වීමට එක්ව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අයි.ඕ.සී. සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සුත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ජා මේ වන විට පැවත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර පක්ෂය නායකයන් හමුවේ සදහන් කර තිබෙනවා.

අර්බුදය සඳහා බලපා ඇති හේතු සහ පැවති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

දැනට පවති ගෑස් හිගය පිළිබදව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පක්ෂ නායකයන් හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

***************************************

දරුණු තත්ත්වයක් ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

(28.04.2022 – 18:33 +0530 – hirunews.lk/sinhala)

ණය අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් සපයා ගැනීමට නොහැකි වුවහොත් මීටත් වඩා දරුණු තත්වයක් ඉදිරියේදී රටේ නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍යවික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ අර්බුදය විසඳීම සඳහා ඇත්තේ එක් ක්‍රමෝපායක් පමණක් බවයි.

***************************************

සජබයේ පා ගමනේ තුන්වන (3) දිනය අදයි (28)

(28.04.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වයන්ට එරෙහි ව සමගි ජන බලවේගය මහනුවර සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කෙරෙන විරෝධතා පාගමනේ 03 වන දිනය අදයි (28).

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාගමන අද (28) ආරම්භ වන්නේ ගලිගමුව නගරයෙන්.

එය පස්වරුවේ දංඕවිට දක්වා ළඟා වීමට නියමිත යි.

හෙට (29) පාගමන දංඕවිට සිට යක්කල දක්වා ගමන් ගන්නා අතර අනිද්දා (30) යක්කල සිට පෑලියගොඩ දක්වා පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (28), 20 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක යි.

විරෝධතාවයට ඊයේ (27) රාත්‍රියේත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලු විවිධ පිරිස් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, කොල්ලුපිටිය – අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයද තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම විරෝධතාවයන්ට සමගාමීව ඊයේ (27) රාත්‍රියේත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබුණා ෴

***************************************

ගාලුමුවදොර විරෝධතාව අද (28), 20 වැනි දිනටත්

(28.04.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර විරෝධතාව අද (28), 20 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊට සමඟාමීව අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයද තවදුරටත් පැවැත්වෙනවා.

මේ අතර, ගාලුමුවදොර විරෝධතාවයට සහය පළ කරමින් ප්‍රදේශ ගණනාවක තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ ජනතාව එක්ව අද (28) දහවල් සිදු කළ විරෝධතා හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.

එමෙන්ම, පුත්තලම, වත්තල, කොට්ටාව, ගාල්ල – කලේගන, හිනිදුම, කුරුණෑගල, පොළොන්නරුව, ගිරිතලේ ප්‍රදේශවල ඊයේ (27) රාත්‍රියේ පන්දම් දල්වාගෙන පිරිස් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, ගිරිතලේ සහ වාද්දුව – මොරොන්තුඩුව නගරයේ දී ගොවි සංවිධාන කිහිපයක් ද විරෝධතාවයේ නිරත වුණා.

***************************************

විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වේ

(28.04.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ සෙරමික් මන්සන්ධිය, කොළඹ කොටුව, සොයිසා වටරවුම, ගාලුමුවදොර වටරවුම, මරදාන, පංචිකාවත්ත සහ ජාතික රෝහල අවට මාර්ග කිහිපයක් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, දීප ව්‍යාප්ත සංකේත වර්ජනයට සහය පළ කරමින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එම නගරයේ පිහිටි රාජ්‍ය බැංකු සහ තැපැල් කාර්යාල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් අද (28) සේවයෙන් ඉවත් වුණා.

අප වාර්තාකරු ප්‍රකාශ කලේ බේරුවල සහ බෙන්තොට අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වල ගුරු විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් ද පාසල් වෙත පැමිණ නොසිටි බවයි ෴

***************************************

කටුනායක අධිවේගී මාර්ගයත් අවහිර වෙයි

(28.04.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් නිසා කටුනායක අධිවේගී මාර්ග පිවිසුම සහ පිටවුම මෙන්ම ඇවරිවත්ත මංසන්ධියෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, රටේ පවතින දැඩි වියවුල්කාරී ආර්ථික සිදුවීම්වලට එරෙහිව මෙම විරෝධතාව සිදුවන බවයි.

මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර තවත් විරෝධතාවක් හේතුවෙන් සුවසිරිපාය – සෞඛ්‍ය අමාත්‍යාංශය කොටස ද අවහිර වී තිබෙනවා.

***************************************

කළුතර ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී මරුට

(28.04.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ තොටුපල හන්දියේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු රෝගාතුර වීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *