භුමිතෙල් පොලිමේ පැය පහක් (5) රැඳී සිටි අයෙක් නිවසේ දී මිය යයි

භුමිතෙල් පොලිමේ පැය පහක් (5) රැඳී සිටි අයෙක් නිවසේ දී මිය යයි

*********************************************

භුමිතෙල් පොලිමේ පැය පහක් (5) රැඳී සිටි අයෙක් නිවසේ දී මිය යයි

(27.04.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

භුමිතෙල් පොලිමේ පැය පහක් (5) රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු නිවසේ දී මිය ගොස් තිබෙනවා.

භුමිතෙල් මිල දී ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට (5) අධික කාලයක් පොලිමේ රැඳී සිටි මෙම පුද්ගලයා අලුයම ඔහුගේ නිවස තුළ දී ම මියගොස් ඇති බව යි වාර්තා වන්නේ.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් (55) ක්‍රිෂ්ණසාමි නැමති දෙදරු පියෙක්.

මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති වීදියේ කුලි පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇදුම් ව්‍යාපාරය සිදු කරගෙන යන බවත් (26) දින රාත්‍රි 7 ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හලේ පොලිමට ගොස් තිබූ බවත් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසනවා.

නිවසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව ඔහු පවසා ඇති අතර, පසු ව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්තාවේ ඔහුට වමනය ගිය
බවත් බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරු ව තම සැමියා එකවරම මිය ගිය බවයි මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ කියා සිටියේ ෴

***************************************

ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක නෞකාවක් දිවයිනට

(27.04.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් අඩංගු නෞකාවක් හෙට (28) දිවයිනට පැමිණීමට නියමිත යි.

මේ අතර, ඊයේ (26) දිවයිනට පැමිණි ගෑස් නෞකාවේ අඩංගු ගෑස් මේ වනවිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.

ලිට්රෝ සමාගම විසින් පසුගිය 12 වන දා සිට ගෘහස්ථ ගෑස් බෙදා හැරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණේ ගෑස් නො මැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද (27) උදෑසන සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් කෙරවලපිටිය පර්යන්තයෙන් මුදා හැර තිබුණා.

මේ අතර, ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම කටයුතු කළ අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4860 ක්.

එමෙන්ම, ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් වාද්දුව ප්‍රදේශවාසීන් අද (27) විරෝධතාවයක ද නිරත වුණා.

මේ අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල භූමිතෙල් පෝලිම් වැඩිවී ඇති බවට හිරු වාර්තාකරුවන් පවසනවා.

එලෙස භූමිතෙල් පෝලිමක පැය 5 ක පමණ කාලයක් රැදී සිට අයෙකු නිවසට පැමිණි අවස්ථාවේදී මියයාමේ පුවතක් ද හැටන් ප්‍රදේශයෙන් අද (27) වාර්තා වුණා ෴

***************************************

පොලොන්නරුවට ගිය ඉන්ධන බවුසරයක් වරාය නගරයෙන් මතුවීම ගැන පරීක්ෂණ

(27.04.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් කොළඹ වරාය නගරයට රැගෙනයාම සම්බන්ධයෙන් කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට අදාළ ඉන්ධන බවුසරය කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම වෙතට ගෙන්වා ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුයේ.

පෙරේදා මෙම බවුසරය ඉන්ධන ලීටර් 33,000 ක් සමග පොළොන්නරුව සහල් මෝලක් වෙත රැගෙන යාමට සැලසුම් කර තිබූ අතර, පසුව එම බවුසරය කොළඹ වරාය නගරයට රැගෙන යාම සම්බන්ධයෙන් කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් වරාය පොලීසිය කටයුතු කිරීමත් සමඟ අදාළ බවුසරය කොලොන්නාව පර්යන්තයට යොමු කිරීමට කටයුතු කෙරුණා.

අප මේ සම්බන්ධයෙන් බවුසර් රථ හිමියන්ගේ සංගමයෙන් සිදුකළ විමසීමකදී එහි නියෝජිතයෙකු සඳහන් කළේ වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම සඳහා අදාල බවුසරය කොළඹ වරාය නගරය වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන සැපයුම් සිදුකරන සමාගම්වල නියෝජිතයන් සමග විශේෂ හමුවක් අද (27) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලයේ ඔවුන් සිදු කරන ලද සැපයුම් වෙනුවෙන් හිඟ මුදල් කඩිනමින් පියවීමට පියවර ගන්නා බවයි.

මේ අතර, දින ගණනාවකට පසු බොහෝ පිරවුම්හල් වලට භුමිතෙල් ලැබීමත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල භූමිතෙල් පෝලිම් වැඩිවී තිබෙනවා.

හෙට (28) සිට ලබන 30 වනදා දක්වා පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ෴

***************************************

තලංගම දී මනුෂ්‍ය ඝාතනයක්

(27.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක් අසල තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයකු හමු වී තිබෙනවා.

ඔහු ව කොස්වත්ත රෝහලට ඇතුළත් කර ඇති නමුත් මිය ගිය බව යි වාර්තා වන්නේ.

මරණකරු වෙළෙඳසලෙන් භාණ්ඩ ලබා පිට ව යන විට ඒ අසල සිටි යාචකයකු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර, එහි දී යාචකයා මරණකරුට තියුණු ආයුධයකින් පහර දුන් බව සඳහන්.

මරණකරු, වයස අවුරුදු 57 ක පොතුඅරාව පාර, මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, කැලණිය – වරාගොඩ ප්‍රදේශයේ දී නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සහ පොලු මුගුරුවලින් පහර දී 63 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, කොල්ලකරුවන් ඊයේ (26) රාත්‍රියේ ඔහු පදිංචිව සිටි නිවසට පැමිණ මිය ගිය පුද්ගලයාට සහ ඔහුගේ පුතුට තියුණු ආයුධවලින් පහර දී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු කොල්ල කා පළා ගොස් ඇති බවයි.

පහරදීමෙන් නිවසේ සිටි පියා මෙලෙස මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ පුතු කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

***************************************

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරෙයි

(27.04.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

කැලණිය – වරාගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් සහ පොලු මුගුරුවලින් පහර දී 63 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රියේ ඔහු පදිංචිව සිටි නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු කොල්ල කා පළා ගොස් ඇති බවයි.

පහරදීමෙන් නිවසේ සිටි පියා සහ පුත්‍රයා තුවාල ලැබුවා.

ඔවුන් රෝහල් ගත කිරීමෙන් පසුව පියා මියගොස් තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴

***************************************

රුපියල් එක්කෝටි හැට ලක්ෂයක සුදු හඳුන් සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.04.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

උඩවලව – මිරිස්වැල්පොත – කොළඹගේආර ප්‍රදේශයේ දී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,60,00,000) වටිනාකමකින් යුත් සුදුහඳුන් ශාක කොටස් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ඊයේ (26) එම ප්‍රදේශයේ බ්ලොක් ගල් නිෂ්පාදන කරන වැඩබිමක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී සුදුහඳුන් ශාක කොටස් කිලෝග්‍රෑම් 787 ක් සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් 29 සහ 47 හැවිරිදි සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් ෴

***************************************

සයින්දමරුදු පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් ගොඩ ගැනීම ඇරඹේ

(27.04.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් යළි ගොඩගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරු දින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ. හඳුනා ගැනීම සඳහා අදාළ සිරුරු කොටස් ගොඩගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව අධිකරණය ඊයේ (26) ඊට අවසර ලබාදුන්නා.

ඒ අනුව මේ වනවිට අම්පාර පොදු සුසාන භූමියේ දී අම්පාර මහේස්ත්‍රාත්වරිය වන තුෂාරා කුමාරි ධර්මකීර්ති හමුවේ එම සිරුරු කොටස් ගොඩ ගැනීම ආරම්භ කර තිබෙනවා.

අම්පාර මහේස්ත්‍රාත්වරියට අමතර ව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ ෴

***************************************

අන්තර්ජාතික කපුටන් අගය කිරීමේ දිනය අදයි (27)

(27.04.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කළු පාටත් උපක්‍රමශීලී බවත් අමිහිරි නාදයත් නිසා හා ඇතැම් මිත්‍යා විශ්වාස නිසා කපුටාට ශ්‍රී ලංකාව තුළ එතරම් ප්‍රියතාවක් දක්වන්නේ නෑ.

නමුත් කපුටා යනු ලෝකයේ ම හා ශ්‍රී ලංකාවේ ද නිතර ම කතාබහට ලක් වන පක්ෂියෙක්.

කපුටා සත්ත්ව විද්‍යාත්මක ව අයත් වන්නේ, ‘කෝවිඩේ’ කුලයට යි.

කපුටන් වර්ග දෙකක් (2) අප රටේ දැකිය හැකි අතර, ඒ ගෘහාශ්‍රිත කපුටා හා කළු කපුටා යන වර්ග දෙක (2) යි.

ගෘහාශ්‍රිත කපුටා හෙවත් කොළඹ කපුටා යම් අළු පැහැති වර්ණයකින් යුතු වන අතර, කළු කපුටා තද කළු පැහැයකින් යුක්ත බව දැකගත හැකි කරුණක්.

අද (27) අන්තර්ජාතික, කපුටන් අගය කිරීමේ දිනය යෙදී තිබෙනවා.

ඊට සමගාමීව සංවිධාන කෙරුණු කලා ශිල්පී සුදත් අබේසේකර මහතාගේ සිතුවම් සහ මූර්ති දැක්මක් තලවතුගොඩදී අද (27) පැවැත්වුණා.

***************************************

28-04-2022

***************************************

28-04-2022

***************************************

27-04-2022

***************************************

28-04-2022

***************************************

26-04-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *