රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට?

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට?

*********************************************

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට?

(27.04.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවට යි.

නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

අදාළ වෙඩි තැබීම හේතුවෙන් හතළිස් දෙහැවිරිදි (42) පුද්ගලයකු ද මිය ගියා.

මෙම විරෝධතාව පසුගිය 19 වැනි දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූයේ, ඩීසල් බෙදාහැරීම සම්බන්ධ ව මතු වූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන්.

+++++++++

හැමෝම හොයන SSP කීර්තිරත්න මෙන්න

(27.04.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් SSP කීර්තිරත්න ‘හිරු’ මාධ්‍යවේදියෙකුට ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව :

+++++++++

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් සහ වෙඩි තැබූ සියලුදෙනා වහා අත්අඩංගුවට ගැනීමට නියෝග – ඉන්ධන ටැංකිය අතුරුදන්

(27.04.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියට අදාළව වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ පොලිස් නිලධාරින් සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මීට අදාළ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවට අනුව මියගිය 42 හැවිරිදි පුද්ගලයාගේ මරණය වෙඩි තැබීමකින් සිදුවූවක් බවට අනාවරණ වී ඇති බවයි.

පසුගිය 22 වනදා ඊට අදාළ නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි අනාවරණ වූයේ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට ට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න බවයි.

එමෙන්ම, එම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 4 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවට ද අනාවරණ වුණා.

පසුගිය 22 වනදා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් කෑගල්ල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී. කීර්තිරත්න කියා සිටියේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුලු ගෑස් එල්ල කරත්, අවසානයේ එය අසාර්ථක වූ බැවින් වෙඩි වාර කිහිපයක් තැබීමට තමන් නියෝග කළ බවයි.

එම නියෝගය සිදුකළේ සද්භාවයෙන් බවත් ඔහු කෑගල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ එදින ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (27) දින සිව්වන (4) වරටත් රඹුක්කන සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග කළේ වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ පුද්ගලයින් සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් විදේශ ගත වීමට ඉඩ ඇති බැවින් විදේශ ගමන් තහනම් කරන ලෙසට ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

ඒ අනුව, සැකකරුවන්ට විදේශ ගත වීම වළක්වාලමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ රඹුක්කන සිද්ධියට මැදිවූ බවුසරය මේ වනවිට මීරිගම ප්‍රදේශයේ නවතා ඇති බවත්, එහි තිබූ ඉන්ධන වරකාපොල ප්‍රදේශයේදී නිදහස් කර ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥයින් කියා සිටියේ නඩු භාණ්ඩයක්ව පවතින ඉන්ධන බවුසරයෙන් එලෙස ඉන්ධන නිදහස් කිරීමට නියෝග දුන් නිලධාරියා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

මීට අමතරව, අදාළ බවුසරයේ ඉදිරිපස කොටස පමණක් මේ වනවිට කෑගල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ නවතා ඇති බවත්, තෙල් ටැංකිය එම ස්ථානයේ නොතිබීම සම්බන්ධයෙනුත් අද (27) අධිකරණයේදී අවධානයට ලක් වුණා.

එහිදී මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් විමසා සිටියේ තෙල් ටැංකිය කුමන ස්ථානයේ පවතින්නේ ද යන්නයි.

තෙල් ටැංකිය නොමැතිවීම සහ පොලීසිය මීට පෙර ඉදිරිපත් කර ඇති තොරතුරු සැක සහිත බවට ද එහිදී මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළා.

මීට අදාළ නඩු විභාගය එළඹෙන මැයි දෙවනදා (02) දක්වා කල් තැබීමටයි එහිදී නියෝග කළේ.

***************************************

වෘත්තීය සමිති 1000 ක් හෙට (28) වැඩ වර්ජනයක

(27.04.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට (28) පැවැත්වෙන දීප ව්‍යාප්ත වර්ජනයට සහය පළ කර තිබෙනවා

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ප්‍රකාශ කළේ, වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, වතු, ගුරු විදුහල්පතිවරු මෙන්ම, වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනයට සහය පළ කර ඇති බවයි.

රට තුල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු යන තේමාව යටතේ මෙම වර්ජනය සිදුකෙරෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද අද (27) පස්වරුවේ නිවේදනය කළේ මෙම වර්ජනයට සමගාමීව තම සංගමය ද හෙට (28) උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.

එමෙන්ම, වර්ජනයට සහය පළ කරමින් හෙට (28) උදෑසන 09:30 සිට 11 දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද අද (27) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සංගමයේ සහයෝගය පළ කරන බවයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මෙන්ම, රේගු දෙපාර්තමේන්තුව තුල ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක දියත් වනවා.

හෙට (28) පැවැත්වෙන දිප ව්‍යාප්ත වර්ජනය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (27) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ හෙට (28) දිනයේදී කළුකොඩි ඔසවා සිය ව්‍යාපාරික ස්ථාන වසා දමන ලෙසටයි.

මේ අතර, ගුරු විදුහල්පතිවරුන් ද මෙම වර්ජනයට එක්වනවා.

වර්ජනයට සහය පළ කරමින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියා.

කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ දුම්රිය සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ හෙට දිනයේදී ධාවනයට එක් කෙරෙන බවට එම වෘත්තීය සමිති දැනුම්දී ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් ද විමසා සිටි අතර ඔහු පැවසුවේ හෙට (28) දිනයේ බස් ධාවනය කිරීම පිලිබඳ අභිමතය සිය සංගමයේ සාමාජිකයින්ට පවරන බවයි.

***************************************

දන්ත වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(27.04.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන ආර්ථික අර්බුද හමුවේ කිසිදු ජනතා ඉල්ලීමකට ප්‍රතිචාර නො දක්වන ආණ්ඩුව කෙරෙහි රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කරනවා.

මේ හේතුවෙන් අකැමැත්තෙන් වුව ද හෙට (28) දිනයේ දී දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සියලු ම දන්ත වෛද්‍යවරුන් එක් දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් හෙට (28) දිනයේ දී ජාතික දන්ත රෝහල ඉදිරිපිටින් ආරම්භ කර ගෝඨාගෝගම දක්වා විරෝධතා පා ගමනක ද පැමිණෙනු ඇති.

+

+++++++++

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට (28) විරෝධතා බිමට

(27.04.2022 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය හමුවක් අද (27) දින කොළඹ පිහිටි සංගම් ශාලාවේ දී පැවැත්වූ බව වාර්තා වනවා.

මෙහි දී අදහස් දැක්වූ පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ, රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශය හා වතු සියලුම ජනතාව හෙට (28) වැඩ වර්ජනයට සූදානම් බවත් ඒ සඳහා දෙලක්ෂ හතළිස් දාහක් (2,40,000) වන ගුරුවරුන් සහාය දීම සඳහා පැමිණෙන බවත් පවසා තිබෙනවා.

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජනතාවට සුදුසු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දී යන ලෙස යි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහි දී ලංකා ගුරුසේවා සංගමය සභාපති ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින්, හෙට (28) දිනයේ මෙම රජය ගෙදර යැවීමට සියලු කටයුතු සූදානම් බව සඳහන් කර තිබෙනවා.

රට අස්ථාවර කර ඉදිරියට යා නො හැකි බව හා උද්ඝෝෂණයෙන් පසු ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව යි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා ඇත්තේ.

***************************************

තම පන්තියට ම පීඩා කරමින් සිදු කරන වර්ජන වැඩක් නෑ – ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම

(27.04.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රි‍යාමාර්ගවල නිරත වීමට නියමිත යි.

ඊට සමගාමී ව කිසිදු ආකාරයක පොදු ප්‍රවාහනය තුළ එවැන්නක් සිදු නො වන බව, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළ බවත් ඒ හරහා එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා දැනුම් දී සිටිනවා.

මේ මොහොතේ වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත් වන්නේ දුප්පත් මහජනතාව ම බව පැවසූ අමාත්‍යවරයා, වර්ජකයින්ගේ පණිවිඩය ජනාධිපතිවරයා හා අගමැතිවරයා තේරුම් ගැනීමට උත්සාහ කරමින් යම් යම් විසඳුම්වලට එළැඹීමට තීරණය කර ඇති බවත් සඳහන් කරනවා.

තමන් වැනි ම දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන මෙම වර්ජනවල කිසි ම අර්ථයක් නැති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ ෴

***************************************

හෙට (28) වර්ජනය ඇතැම් සේවාවන්ට බාධාවක් නොවේ

(27.04.2022 – 22:22 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) වර්ජනයක් ක්‍රියාත්මක වුවද ආගමන විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන්ට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා ෴

***************************************

සජබයේ පා ගමන අද (27) කඩුගන්නාවෙන් ගමන් අරඹයි

(27.04.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

‘නිදහසේ අරගලය’ යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ දෙවන (2) දිනය අදයි (27).

එය, ඊයේ (26) මහනුවරින් ගමන් ආරම්භ කළ අතර, පස්වරුවේ කඩුගන්නාවට පැමිණ පළමු (1) දිනය අවසන් කරනු ලැබුවා.

එය අද (27) ගලිගමුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇති අතර, විරෝධතා පා ගමන මැයි පළමුවනදා (01) කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර, පසුගිය 09 වනදා ගාලුමුවදොර දී ආරම්භ කළ ජනතා විරෝධතාවය අද (27) 19 වන දිනටත් ක්‍රියාත්මක යි.

එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විරෝධතාකරුවන් ඊයේ (26) මයිනාගෝගම ලෙස හඳුන්වමින් අරගල භූමියක් ආරම්භ කළා.

එය අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.

මේ අතර තමන්ව තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පියවර ගෙන ඇති බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පවතින ආර්ථීක තත්වය සම්බන්ධයෙන් දැක්වෙන අදහසක් සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කිරීම මෙම ඉවත් කිරීමට හේතු වන්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

***************************************

රෝගීන්ට රුධිර සංඝටක දැනට පවතින බව මධ්‍යම ලේ බැංකුව කියයි

(27.04.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම ලේ බැංකුවේ පවතින රුධිර සංචිතවල අඩුවක් දක්නට ලැබුණත් හදිසි ශල්‍යකර්ම, හදිසි අනතුරු හා ජීවිත අවදානමක් ඇති සියලුම රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංඝටක දැනට පවතින බව මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.

‘ජාතික රුධිර පාරවිලනයේ දී සැපයුම කළමනාකරණය’ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් සියයට 100 ක් ආනයනික ද්‍රව්‍ය මත යැපෙන සේවා ජාලයක් වන බැවින් විදේශ විනිමය සංචිතවල හිඟය හේතුවෙන් ජාතික රුධිර සැපයුම්වලට තර්ජනයක් විය හැකි බවයි මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමට රුධිර පැකට් වර්ග 4 ක් භාවිත කෙරෙනවා.

කෙසේවෙතත් මාස එකහමාරක් (1½) පමණ තත්වය කළමනාකරණය කරගැනීමට හැකියාව පවතින බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ තවදුරටත් පෙන්වා දුන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *