පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක්

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක්

*********************************************

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක්

(27.04.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (27) කැඳවා ඇති බව වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සියලු පක්ෂ ඇතුළත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඊයේ (26) ජනපතිට දැනුම් දුන් බවයි.

මේ අතර සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ඒකමතිකව එකඟතාවට පැමිණි බව ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ එකොළහේ (11) නායකයින් සඳහන් කළා.

ඒ, ඊයේ (26) රාත්‍රියේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව යි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසක් එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන අතර රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යෑම සඳහා ගන්නා තීරණ සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළ බවයි.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහනායක හිමියන් ප්‍රධාන ආගමික නායකයන්ගේ එකඟතාව ලබාගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළ බව ද අදාළ නිවේදනයේ දැක්වුණා ෴

***************************************

සර්ව පාක්ෂික කොට්ට මාරුවෙන් ජන ගැටලු විසඳෙයි ද?

(27.04.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝටාභය රජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙස යි.

මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා විශේෂ හමුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මෙම විශේෂ හමුවේ දී පිහිටුවීමට නියමිත නව රජයේ දල සැලැස්ම සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් අනතුරු ව නව සර්ව පාක්ෂික රජය පිහිටුවන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිත යි.

මේ වන විට රට තුළ උද්ගත ව ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ පවතින රජයට සහාය පළ කළ සුළු පක්ෂ 11 කින් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය රජයට සහාය දැක්වීමෙන් ඉවත් කරගෙන තිබෙනවා.

39 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරන අතර, ඔවුන්ගේ ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ, පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සහ මේ වන විට සමාජයේ උද්ගත ව ඇති ආණ්ඩුවට එරෙහි බරපතළ විරෝධය සමනය කරගැනීම සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව යි.

මේ අතර, රජයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු (10) ගෙන් සමන්විත කණ්ඩායමක් ද මේ වන විට බලපෑම් කරමින් සිටින්නේ, වහා ම අග්‍රාමාතය්වරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසට යි.

මේ අතර, මෙම කණ්ඩායමට ඊයේ (26) දිනයේ තවත් ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පිරිසක් එක් වුණා.

ඔවුන්ගේ ද එක ම ඉල්ලීම වන්නේ, අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කළ යුතු බවට යි.

මේ පිරිස අද (27) උදෑසන ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ද ඉල්ලා තිබුණා.

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික රජයකට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් සියලු පක්ෂ නායකය වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගනු ලැබුවේ, එම සාකච්ඡාවට ද එක් වීමෙන් අනතුරුව යි.

මේ අතර, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙලෙස පිහිටවෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ ද අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට ම හිමි වනු ඇති බවට යි.

කෙසේ වෙතත් අද (27) වන විට දහඅට (18) වැනි දිනටත් අඛණ්ඩ ව ක්‍රියාත්මක වන කොළඹ ගාලු මුවදොර පිටියේ ජන අරගලය කේන්ද්‍ර කරගත් රට පුරා ක්‍රියාතමක වන විවිධ විරෝධතා ව්‍යාපාර හරහා ඉල්ලා සිටින ප්‍රමුඛත ම ඉල්ලීම වනුයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස් විය යුතු බවට යි.

එම අපේක්ෂාව ඉහත සර්ව පාක්ෂික කොට්ට මාරු කිරීම හරහා ඉටු වේ ද යන්න දේශපාලන විශ්ලේෂකයන් මතු කරන ප්‍රශ්නාර්ථයක් ෴

***************************************

සජබය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් අතර අදත් (27) තීරණාත්මක හමුවක්

(27.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

නිදහසේ අරගලය යන්න තේමා කර ගනිමින් සමගි ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ දෙවන (2) දිනය අද (27) පෙරවරුවේ මාවනැල්ල නගරයෙන් ආරම්භ වුණා.

එය අද (27) පස්වරුවේ ගලිගමුව නගරයෙන් අවසන් වීමට නියමිතයි.

ඊයේ (26) මහනුවරින් ගමන් ආරම්භ කළ අතර, පස්වරුවේ කඩුගන්නාවට පැමිණ පළමු (1) දිනය අවසන් කරනු ලැබුවා.

විරෝධතා පා ගමන මැයි පළමුවන (01) දා කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

පා ගමනට එක්ව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ අතර, ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් අද (27) 19 වන දිනටත් අරගලයේ නිරත වනවා.

ඔවුන් ඊයේ (26) රාත්‍රියේ පෙරහරක් ද සංවිධාන කර තිබුණා.

ගාලුමුවදොර විරෝධතාකරුවන් ඊයේ (26) පිරිත් සජ්ඣායනාවක් ද විකාශය කර තිබූ අතර විරෝධතාකරුවන් රැදී සිටින අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථානයේ ද ඊයේ (26) පිරිත් සජ්ඣායනය කෙරුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එමෙන්ම, දිඹුලාගල – දළුකාන ආදිවාසීන් අද දිඹුලාගල – ගල්කන්ද ප්‍රදේශයට ගොස් දේව කන්නලව්වක නිරත වුණා ෴

***************************************

ජනපති සහ අගමැති සිය ධූරයන් වලින් ඉවත් විය යුතුයි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

(27.04.2022 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පසුගියදා ස්වාධීන වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළා.

රටේ පවතින තත්වය හමුවේ තමා ඉතා සංවේදී වන බව සඳහන් කළ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සඳහන් කළා.

අද (27) වෙන විට රටේ දැවැන්ත ඖෂධය කීයක් ඇති බවත් එය ඉදිරියේදී තවත් වර්ධනය වන බව ද වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා ෴

***************************************

අගමැති මහින්ද ගෙන් විශේෂ ප්‍රකාශයක්

(27.04.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (27) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් හමු වුණා.

එහිදී පැමිණ සිටි පිරිස් ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ‘ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි’ යනුවෙන් පවසා සිටියා.

විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මෙහිදී ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරු ඒකමතික යෝජනාවක් සම්මත කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් අමතා කළ සම්පූර්ණ කතාව :

පිටුව : [01][02][03][04]

***************************************

සැලුන්දොර වසන හැටි සජිත් කියයි

(27.04.2022 – 18:51 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය රටේ වගකීම භාර ගැනීමට සූදානම් වන්නේ ජන මතයකින් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (27) මාවනැල්ලේදී සමගි ජනබලවේගයේ විරෝධතා පාගමන අමතමින්.

පවතින තත්වයන්ට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය මහනුවර සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කෙරෙන විරෝධතා පාගමන මේ වන විට ගලිගමුව දක්වා ළඟා වෙමින් තිබෙනවා.

විරෝධතා පාගමන අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුනේ මාවනැල්ල නගරයෙන්.

මේ අතර පවතින තත්වයන්ට එරෙහිව කොලඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (27) 19 වන දිනටත් ක්‍රියාත්මකයි.

විරෝධතාවයට අදත් (27) වෘත්තීය සමිති නියෝජිතයන් සහ කලාකරුවන් ඇතුලු විවිධ පිරිස් සහභාගි වී සිටියා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටෙහි ගසා තිබූ විරෝධතා බැනර් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කිරීමත් සමග අද (27) පස්වරුවේ නොසන්සුන්තාවයක් ඇති වුණා.

බණ්ඩාරවෙල, බිබිල, වාරියපොල සහ කටුනායක ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි කාර්යාල ඉදිරිපිට කෘෂිකර්ම නිලධාරීන්, අද (27) විරෝධතාවයේ නිරත වුනේ ගොවීන්ගේ අවශ්‍යතා ඉටු කර මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන ලෙස ඉල්ලමින්.

එම විරෝධතා සඳහා ගොවීන් ද එක්ව සිටියා.

පවතින තත්වයන්ට එරෙහිව පොලොන්නරුව ප්‍රදේශයේ ගොවීන් ද අද (27) උපවාසයක නිරත වුණා.

පොහොර ඇතුලු ගොවීන් මුහුණ දෙන ගැටලු වලට එරෙහිව ජාතික ගොවිජන එකමුතවුට අයත් ගොවීන් කිහිපදෙනෙක් බත්තරමුල්ල – පාර්ලිමේන්තු වටරවුමේදී අද (27) සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

දිඹුලාගල – දලුකන ආදිවාසීන් දෙවියන්ට භාර හාර වෙමින් ඊයේ (26) රාත්‍රියේ දේව කන්නලව්වක් සිදු කළා.

එමෙන්ම කුරුණෑගල නගරයේ ජනතාව ඊයේ (26) රාත්‍රියේ ගීත ගායනා කරමින් විරෝධතාවයේ නිරත වුණා.

***************************************

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායමට ජනපතිගෙන් සාකච්ඡාවක්

(27.04.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා කිසිවිටෙක තමන්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම්දීමක් සිදුකර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

එසේම, එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් සිදු නොකරනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් සමඟ අරලියගහ මන්දිරයේ අද (27) පැවති සාකච්ඡාවේදීයි.

මේ අතර, වත්මන් අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ පළමු (1) අදියර ලබන සිකුරාදා (29) පැවැත්වෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ, වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු‍ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක කළ යුතු කාලසීමාව, එහි වගකීම් පැවරෙන පුද්ගලයින් කවුරුන්ද ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු බවයි.

ඒ අනුව සිකුරාදා (29) පැවැත්වෙන සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහමැතිවරණයන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වනවිට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කොට තිබෙනවා.

අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වන පක්ෂ අදහස් හා යෝජනා ද සමඟ මේ අවස්ථාවට සහභාගී වන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සඳහන් කළේ, අදාළ සාකච්ඡාව සඳහා සහභාගිවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

සිකුරාදා (29) පැවැත්වෙන සාකච්ඡාවට තමන් සහභාගි වන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සඳහන් කළා.

ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන් තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින් අද (27) දිනයේදී අදහස් පළ කළා.

මේ අතර, අරලියගහ මන්දිරයේ අද (27) පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් තීන්දු කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් හෙට (28) පස්වරු 04:30 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට ද නියමිතයි.

***************************************

27-04-2022

***************************************

හෙට (28) සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(27.04.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) සිට ඉදිරි දින 03 සඳහාද පැය 03 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද, පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයි 01 යි මිනිත්තු 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි ෴

+ https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

***************************************

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගින්නක්

(27.04.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 5 ක් යොමු කර ඇති බව යි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.

ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් නිවැරැදි ආරංචියක් ලැබී නෑ.

***************************************

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(27.04.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගත රැඳවියන් සඳහා ආපනශාලා වෙත තැන්පත් කරන මුදල ඉහළ දමා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු හා භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන්ට නිරන්තරයෙන් නේවාසිකයන් බැලීමට පැමිණීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවයි.

ඒ අනුව සැකකරුවෙකුට සතියක් සඳහා අය කළ රුපියල් 2000 ක මුදල 3000 දක්වාත්, සිරකරුවෙකුට මසකට ආපනශාලාව වෙත තැන්පත් කරන මුදල රුපියල් 2000 සිට 3000 දක්වා ඉහළ නංවා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *