ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි

*********************************************

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි

(26.04.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185 කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 4,860 ක් ලෙසයි.

මීට පෙර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 2,675 කටයි.

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් අද (26) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ සමාගම ලබා ඇති පාඩුව හමුවේ මිල වැඩිකිරීමකින් තොරව ලබන මස සිට ගෑස් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2,500 පාඩුවක් ලබන බැවින් ගෑස් මිල රුපියල් 5,175 ක් දක්වා රුපියල් 2,500 කින් වැඩි කල යුතු බව ලිට්‍රෝ සමාගම මීට පෙර ද ප්‍රකාශ කල අතර රජය එම අවස්ථාවේ සඳහන් කළේ ඒ සඳහා අවසර ලබා දී නොමැති බවයි.

මේ අතර විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මෙතෙක් අවසර ලබා දී නොමැති බව එහි සභාපති ජනක රත්නායක පැවසුවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින පාඩු ලබන තත්වය හමුවේ විදුලි බිල වැඩිකිරීමට අදාල සාකච්ඡා මාස ගණනාවක සිට මේ දක්වා අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බවයි.

***************************************

‘මයිනා-ගෝ-ගම’ ඉදිකෙරේ

(26.04.2022 – 15:47 +0530 – hirunews.lk/sinhala)

දින කිහිපයක් තිස්සේ කොළඹ අගමැති නිල නිවස ඉදිරියේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටිනවා.

ඔවුන් ඒ අසල තාවකාලින කූඩාරම් ඉදිරි කරගෙන සිටින අතර එම ස්ථනයේ ‘මයිනාගෝගම’ක් ස්ථාපනය කර තිබෙනවා.

එලෙස අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් විරෝධතාකරුවන් දින 20 ක කාලයක් තිස්සේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේද ‘ගෝඨාගෝගම’ නමින් ගමක් ස්ථපනය කළා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටින මෙම පිරිස ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ඊයේ (25) කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුව පොලිසිය අරගලයේ සිටින පිරිසට බාධාවන අයුරින් පදික තීරුවේ පොලිස් බස් රථ ගාල් කිරිමට ද පියවර ගත් අතර සියලු බාධක හමුවේ තරුණ තරුණියන් අරලියගහ මැදුර අසල රැය පහන් කරමින් අරගලය ඉදිරියටම රැගෙන ගියා.

***************************************

සජබයේ පා ගමන මහනුවරින් ඇරඹේ

(26.04.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

නිදහසේ අරගලය තේමා කර ගනිමින් සමගි ජන බලවේගයේ පාගමන අද (26) මහනුවරින් ආරම්භ වුණා.

මහනුවර සිට කොළඹ දක්වා දින 5 ක් පැවැත්වෙන පාගමනේ පළමු (1) අදියර මාවනැල්ල නගරයෙන් අවසන් වීමට නියමිත යි.

පාගමන ආරම්භ කිරීමට ප්‍රථම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ සූදානම් කර තිබූ ආශිර්වාද පූජාමය පිංකමට ද සහභාගි වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම අවස්ථාව සඳහා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එක්ව සිටියා.

අනතුරුව විපක්ෂ නායකවරයා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මේ අතර, රට තුල පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවට සහය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරය ඉදිරිපිටද විරෝධතාවක් ආරම්භ කෙරුණා.

ඒ එම විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ පසුබිමක් තුළ යි.

ඊයේ (25) රාත්‍රියේ දී විරෝධතාකරුවන්ට කිසියම් පිරිසක් බාධා කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද ඇතිවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සෙත් පිරිත් සජ්ඡායනා කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ එම අරගල භූමිය විවෘත කිරීම සිදු කෙරුණු අතර එම විරෝධතා භූමිය ‘මයිනාගෝගම’ ලෙස නම් කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුනේ.

එසේම අර්බුදවලට විසඳුම් ඉල්ලා පසුගිය 9 වනදා ආරම්භ කෙරුණු ගාලුමුවදොර පැවැත්වෙන ජනතා විරෝධතාව අද (26) 18 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ජනාධිපති ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනාගේ රුව ඇතුලත් කරමින් මල් වඩම් පොලොන්නරුව දීප උයන ඉදිරිපිට තබා තිබුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, අමරකීර්ති අතුකෝරාල සහ කිංග්ස් නෙල්සන්ගේ රුව එම මල් වඩම් ඉදිරිපිට තබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

***************************************

සාටකයක් පළඳාගත් විශාල තනි කපුටකු සමඟ කොළඹට ඇදී එන ජනතාව

(26.04.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනතා බලය සංවිධානය කරන විමුක්ති විප්ලව පාගමන මහනුවරදී ආරම්භ වුණා.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ එම පෙළපාලිය පළමු දිනයේදීම කොළඹට ළඟා වන බවයි.

එමෙන්ම පා ගමනට සහභාගි වූ පිරිස් විශාලව කැටයම් කළ කපුටෙකුගේ පිළිරුවක් ද රැගෙන කොළඹ දෙසට ගමන් කරමින් සිටිනවා.

***************************************

සජබ පා ගමන කඩුගන්නාවට

(26.04.2022 – 19:38 +0530 – hirunews.lk/sinhala)

නිදහසේ අරගලය යන්න තේමා කරගනිමින් ක්‍රියාත්මක සමගි ජනබලවේගය මහනුවරින් අද (26) ආරම්භ කළ පාගමනේ පළමු (1) දිනය වන අද (26) එය කඩුගන්නාව දක්වා පැමිණියා.

එය, අද (26) දිනයේ මාවනැල්ල නගරයට පැමිණීමට නියමිතව තිබුණත්, අයහපත් කාලගුණය හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් නතරවූ බවයි වාර්තාවන්නේ.

මෙම පෙළපාලිය මැයි පළමුවනදා (01) කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

පාගමන ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ සූදානම් කර තිබූ ආශිර්වාද පිංකමට ද සහභාගි වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම අවස්ථාව සඳහා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එක්ව සිටියා.

අනතුරුව විපක්ෂ නායකවරයා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව පාගමන ආරම්භ වුණා.

මේ අතර, ආණ්ඩුවට එරෙහිව ගෙන විශ්වාසභංගයට මේ වනවිට සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇති අතර, එය ලබන සතිය වනවිට කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තාවන්නේ.

***************************************

අදත් (26) තැන තැන විරෝධතා

(26.04.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජිවන වියදම සහ ඉන්ධන, ගෑස් හිඟය ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද (26) දිනයේදීත් විරෝධතාවල නිරත වුණා.

මේ අතර, අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විරෝධතාකරුවන් අද (26) ‘මයිනාගෝගම’ ලෙස හඳුන්වමින් අරගල භූමියක් ආරම්භ කළා.

එමෙන්ම, අරලියගහ මන්දිරය අසල රැදී සිටි විරෝධතාකරුවන් ඉවත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල ඊයේ (25) ප්‍රතික්ෂේප කර තිබුණා.

ඊයේ (25) රාත්‍රි විරෝධතාකරුවන්ට පිරිසක් බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

එමෙන්ම, අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති අට්ටාලය දෙපස පදික වේදිකාව අවහිර වන ලෙස බස් රථ සහ ට්‍රක් රථ නවා තැබීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් විසින් බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

මේ අතර, පසුගිය 09 වනදා ගාලුමුවදොරදී ආරම්භ කළ ජනතා විරෝධතාවය අද (26) 18 වන දිනටත් ක්‍රියාත්මකයි.

ආබාධිත රණවිරුවන් පිරිසක් අදත් (26) අරගල භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටියා.

එසේම මිරිහාන සිද්ධියේදී පහරකෑමට ලක්වූ පුද්ගලයින් 54 දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පෙත්සම් සඳහා නීති ආධාර ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අලුත්කඩේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී සාකච්ඡාවක් ද පැවැත්වුණා.

මේ අතර, වරලත් ඉංජිනේරුවරුන්, ඉංජිනේරු සංගම් මූලස්ථානයේ සිට පාගමනකින් ගාලුමුවදොරට පැමිණියා.

එසේම, ගොවිජන සංවිධාන ඒකාබද්ධ පාගමනක් ද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට ගාලුමුවදොරට ළඟාවූ අතර, මහනුවර සිට කොළඹ දක්වා පාමනක් ආරම්භ කළ තරුණියන් දෙදෙනා (2) සහ තරුණයා (1) ද අද (26) අරගල භූමියට එක්වුණා.

***************************************

අනිද්දා (28) ආර්ථික මධ්‍යස්ථානවල එළවළු බෙදා හැරෙන්නේ නැහැ

(26.04.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට අනිද්දා (28) දිනයේදී එළවළු තොග බෙදාහැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

රජයට එරෙහිව අනිද්දා (28) රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුලු පිරිස සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපොල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

සාරාව සොයන්න, වළ දැමූ සිරුරු කොටස් හෙට (27) ගොඩ ගැනේ

(26.04.2022 – 10:50 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – සයින්දමුරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට (27) යළි ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ‘හස්තුන්’ නමැත්තාගේ බිරිඳ වන ‘පුලස්තිනි මහේන්ද්‍රන්’ හෙවත් ‘සාරා ජෙස්මින්’ගේ ඩී.එන්.ඒ. හඳුනා ගැනීම සඳහා අදාළ සිරුරු කොටස් ගොඩගැනීමට නියමිත බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඒ සදහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වුණා.

අම්පාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙන අතර, හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරින් එම අවස්ථාවට එක්වීමට නියමිත යි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමක් අතරතුර 2019 වසරේ අප්‍රේල් 26 වන දා නිවසක් තුළ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගිය බව ප්‍රකාශ කෙරුණ ද, සිරුරු කොටස් හමුවුණේ පුද්ගලයින් 16 දෙනෙකුගේ පමණයි.

එසේම, ‘සාරා’ නමැත්තිය ඉන්දියාවට පලාගිය බවට ද තොරතුරු වාර්තා වූ අතර, සැබවින්ම එම සැකකාරිය ද පිපිරීමෙන් මියගියේ ද නැද්ද යන්න මෙම පරීක්ෂණය හරහා තහවුරු කර ගැනීමට හැකි වනු ඇති.

මේ අතර, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ ඥාතීන්, සිදුවූ හානියට වන්දි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල ඉදිරියේ ඊයේ (25) කැදවනු ලැබුවා.

පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (25) අවසන් වූ අතර, හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා තවත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ගොනු කිරීම ලබන අගෝස්තු 01 වන දා අවසන් කරන බව දිසා විනිසුරුවරයා දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශව මෙලෙස වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පෙත්සම් 182 ක් සහ කොළඹ දිසා අධිකරණයේ පෙත්සම් 102 ක් ගොනු කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *