රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි

*********************************************

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි

(26.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පවතින ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක රෝගීන්ට ඖෂධ ලබා දීම සීමා කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් තිලකරත්න අනුරාධපුරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, පවතින ඖෂධ හිඟයට වහා විසදුම් ලබා දිය යුතු බව යි.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ පිලිකා රෝගීන්ට ලබා දෙන වේදනා නාශක ඇතුළු ඖෂධ රැසක හිඟයක් පවතින බව යි.

කෙසේ වෙතත්, පසුගිය 22 වන දා පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ, ඖෂධ ලබා ගැනීමට අදාළ ණයවර ලිපි මේ වන විට නිකුත් කර තිබුණ ද ඒවා මෙරටට ගෙන්වා ගැනීමට දින සියයක (100) පමණ කාලයක් ගත වන බව යි ෴

ඖෂධ හිඟයත් සමග රජයේ රෝහල්වලින් ලබා දෙන ඖෂධ සීමා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

එවන් පසුබිමක ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි හෘද රෝගියෙකු කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කළේ ඖෂධ ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, ඉන්දියාවේ සිට ඖෂධ රැගත් නෞකාවක් හෙට (27) දින මෙරටට ළඟා වීමට නියමිත බවයි.

එහි ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 101 ක තොගයක් අඩංගු බව ද අමාත්‍යවරයා කියා සිටියා.

***************************************

ආහාර සහ වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට ඉතාලියෙන් රුපියල් මිලියන 125 ක්

(26.04.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

විනිමය අර්බුදය හමුවේ ඖෂධ හිගයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර සහ වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සදහා රුපියල් මිලියන 125 ක ප්‍රදානයක් ලබාදීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා.

එය යුරෝ 341,115 ක ප්‍රදානයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාලි ද්විපාර්ශවික හදිසි සේවා අරමුදල හරහා එම ප්‍රදානය සිදු කෙරෙනු ඇති.

එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය සැපයුම්දාම ක්‍රියාවලිය හරහා විදේශීය සැපයුම්කරුවන්ට ඍජුව ම ගෙවීම් සිදු කළ හැකි බවයි කොළඹ ඉතාලි තානාපති කාර්යාලය සදහන් කළේ.

2004 ආසියානු සුනාමිය ඇතුළු හදිසි අවස්ථාවන්වල දී ඉතාලිය මීට පෙර ද ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දී ඇති බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මීට අමතර ව මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සදහා ඉතාලිය සහාය වන අතර, කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මකයි ෴

***************************************

ඖෂධ තොග රැගත් නැවක් හෙට (27) දිවයිනට

(26.04.2022 – 09:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය කරන ඖෂධ තොග රැගත් නෞකාවක් හෙට (27) මෙරටට ළඟාවීමට නියමිත යි.

ඉන්දීය ණය ප්‍රතිපාදන යටතේ මෙරටට හිමි වන ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ 101 ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ.

පසුගිය 22 වනදා පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ ලබා ගැනීමට අදාල ණයවර ලිපි මේ වන විට නිකුත් කර තිබුණ ද ඒවා මෙරටට ගෙන්වා ගැනීමට දින සියයක (100) පමණ කාලයක් ගත වන බවයි.

එතෙක් ඉන්දියාවෙන් ණය ප්‍රතිපාදන යටතේ හිමි වන ඖෂධ බෙදා හැරීම සිදු කිරීමට නියමිත යි ෴

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතා යෝජනා කැඳවයි

(26.04.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන අර්බුදය හමුවේ සැබෑ විසදුම් සකස් කිරීම සඳහා විෂය පථයන් 12 යටතේ ජනතා අදහස් කැදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.

ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් හඳුනා ගනිමින් ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම සදහායි මෙම යෝජනා කැදවා ඇත්තේ.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කණ්ඩායම් අවංක චේතනාවකින් මේ මොහොතේ සාමුහික ව කටයුතු කිරීම අවශ්‍ය බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා ෴

***************************************

ණය ගෙවීමේ හැකියාවෙන් ශ්‍රී ලංකාව තවත් පහළට

(26.04.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ ශ්‍රී ලංකා ස්වෛරී ශ්‍රේණිගත කිරීම Selective Default (SD) වෙත පහතට ශ්‍රේණිගත කර තිබෙනවා.

ලෝකයේ ඇති වෙනත් ශ්‍රේණිගත කිරීම් ආයතන කිහිපයක් ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කර ඇත්තේ, අඩු හැකියාවක් ඇති රටක් ලෙසට යි.

‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ වලට අමතර ව ‘ෆිච්’ ශ්‍රේණිගතකිරීමද දිගින් දිගට ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පහත හෙළා තිබුණා.

***************************************

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 48% කින් පහළට

(26.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ පසුගිය මාර්තු මාසයේ දී පෙර වසරට සාපේක්ෂව සියයට 47.9 කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ දී ඔවුන් මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 318.4 ක්.

මාර්තු මාසයේ ප්‍රේෂණ, පෙබරවාරි මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් ඉහළ ගිය ද සාමාන්‍යයෙන් ඕනෑම වසරක මාර්තු මාසයේ ප්‍රේෂණ ඉහළ යන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු මාසයට පෙර ඔවුන් මෙරට නෑ හිතවතුන්ට මුදල් එවීම හේතුවෙන්.

කෙසේ නමුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තවදුරටත් හවාලා සහ උන්ඩියාල් වැනි සාම්ප්‍රදායික ක්‍රම යටතේ මුදල් එවීමට පෙළඹී සිටින බව විශ්වාස කෙරෙනවා ෴

***************************************

විදුලි බිල 100% කින් ඉහළට

(26.04.2022 – 09:06 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල 100% කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා.

විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි කිරීමකට අවසරය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ පිලිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මහජන උපයෝගිතා කොමිසම සූදානම් බව අරාංචි වනවා.

***************************************

විදේශිකයන්ට වසර 10 ක දීර්ඝ කාලීන වාස වීසා

(26.04.2022 – 10:46 +0530 – hirunews.lk/sinhala)

වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් (100,000) තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10 ක ‘වාස වීසා’ නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

‘රන් පරාදීස වීසා’ වැඩසටහන ලෙස එය නම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ.

එමෙන්ම, ස්වාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විදේශිකයින්ට විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

අද (26) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවේ දි මේ බව ප්‍රකාශ වුණේ.

මේ අතර, තෝරාගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් (2) දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන් ෴

***************************************

මෙරට ණය ගෙවීමේ අලුත් ම කලාවක් ගැන ආර්ථික විශේෂඥයන්ගෙන් හෙළිදරවුවක්

(26.04.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala)

චීන රජයෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීන පාර්ශවයෙන් එතරම් සාධනීය ප්‍රතිචාර හිමි වී නොමැති බව වාර්තා වනවා.

අද (26) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් අඛණ්ඩ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව යි.

කෙසේ වෙතත් මෙතෙක් පැවති සාකච්ඡාවල දී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එතරම් සාධනීය ප්‍රතිචාරයක් හිමි වී නොමැති බවත් ඔවුන් ඒ වෙනුවට ණය වාරික ගෙවා දැමීම සඳහා තවත් ණය මුදලක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවත් පවසා සිටියා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ශ්‍රී ලංකා යෝජනාවට ප්‍රතිචාර දක්වමින් චීන රජය පවසා ඇත්තේ, චීනය ලොව පුරා බොහෝ රටවලට ද්ව්පාර්ශවික ගිවිසුම් හරහා ණය ලබා දීම් සිදු කරන බවත් එබැවින් එක් රටකට පමණක් මෙලෙස විශේෂත්වයක් දැක්වීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරන්නක් විය හැකි බව යි.

මේ අතර, ඊයේ (25) ජනමාධ්‍යවේදින් පිරිසක්, චීන තානාපති චී චෙන්හොං සමඟ පැවති හමුවක දී සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යොමුවීම සම්බන්ධයෙන් එතරම් දැඩි ප්‍රසාදයකින් අදහස් පළ කළේ නෑ.

මෙම සාකච්ඡාවේ දී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා රජය විසින් චීන රජයෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.5 ක ණය මුදල සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

එයට ප්‍රතිචාර දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ, එම ණය මුදල සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා අතරමඟ නවතා දමා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වූ බව යි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශේෂඥයන් සඳහන් කරන්නේ, යම් රටක ණය මුදලක් ගෙවා දැමීම සඳහා එම රටට ණය අධාරය ලබා දුන් රට විසින් ම පෙරලා තවත් ණය මුදලක් ලබා දීමට යෝජනා කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව යි.

***************************************

ඩොලරය තවත් ඉහළට

(26.04.2022 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව අද (26) දින නිවේදනය කළ පරිදි ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 333.88 ක් ලෙස සටහන් වනවා.

ඩොලරයක මිල දී ගැනීම සටහන් වන්නේ, රුපියල් 333.88 ක් ලෙස යි ෴

***************************************

මිල වැඩි නොකර ගෑස් දෙන්න බෑ – ලිට්‍රෝ සභාපති

(26.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (26) දිනයේ දී තීරණයක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 3600 ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගිය දා කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 ක් දක්වා එනම් රුපියල් 2500 කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.

කෙසේ වෙතත් මිල වැඩි කිරීමකින් තොර ව ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට නො හැකි බව යි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ.

***************************************

පලිබෝධනාශකවලට තිබූ කෝටා ක්‍රමය අහෝසියි

(26.04.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය ලත් පලිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබූ කෝටා ක්‍රමය අද (26) සිට අවලංගු කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

මෙම තීරණයත් සමඟ මේවායේ මිල අඩුවී වෙළඳපොල තුළ සුලබකිරීම මෙහි අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

යල කන්නය ද ගොවියාට අහිමි වන ලකුණු

(26.04.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ දී ද රජය ගොවීන්ට පොරොන්දු වූ පරිදි පොහොර, කෘමි නාශක ආදී දෑ නොදීම හේතුවෙන් රුපියල් කෝටි 2 ක පමණ අස්වැන්නක් අහිමි වීමේ අවාදනමක් මතු ව ඇති බව ගොවීන් පවසනවා.

මහවැලි බී කලාපයේ ගොවි අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ අදහස් පළ කළා.

***************************************

ඇමරිකානු තානාපතිනිය දෙමළ දේශපාලඥයන් සහ තරුණ ප්‍රජාව හමුවෙයි

(26.04.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ සංචාරයකට එක්ව සිටින මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ දේශපාලඥයන් හමු වී තිබෙනවා.

එමෙන්ම ඊයේ (25) එම ප්‍රදේශයේ තරුණ නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් හමු වී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය නගරයේ දී පැවති මෙම සාකච්ඡාවේදී තරුණ තරුණියන් මුහුණ පා ඇති ගැටලු හා ඊට අදාළ විසදුම් පිළිබදව කරුණු හුවමාරු වී තිබෙනවා.

එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ආයෝජන සිදු කිරීම සහ ආර්ථික ගැටලු විසදා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයින් සමග ඇමරිකානු තානාපතිනිය සාකච්ඡා පවත්වනු ලැබුවා.

මේ අතර ඇමරිකානු තානාපතිනියගේ යාපනය සංචාරය අතරතුර නල්ලූර් කෝවිලේ පැවති පූජාවකට ද එක්ව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *