“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

*********************************************

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

(26.04.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala)

තමන් අග්‍රාමාත්‍ය තනතුර අතහැර නොයන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇත්තේ අද (26) පැවති පළාත් සභා මන්ත්‍රී සංසදය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වන විට රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් උද්ගතවී ඇති බවත් එයට වහාම පිළියම් සොයා ගැනීම සිය රජය කාර්ය බවයි.

එය එය වහ වහා ඉටු කිරීමට සිය රජය සහ තමන් කැපවන බවත්, එමෙන් ම මේ අවස්ථාවේදී පක්ෂය කෙරෙහි විශ්වාසය තබා පක්ෂයට ඡන්දය දුන් සෑම සියලු දෙනා ගම් මට්ටමින් ආරක්ෂා කර ගැනීම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අග්‍රාමත්‍යයවරයා පවසා ඇත්තේ තනතුරෙන් ඉවත් නොවන ලෙස මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම තමා පිළිගන්නා අතර තමන් තනතුර අත්හැර නොයන බවයි.

ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් නව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පාර කැපීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

මාධ්‍ය නිවේදනය : පිටුව [01][02][03][04]

++++++++

අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්විය යුතුයි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ජනපති හමුවී කියයි

(26.04.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

ඊට අදාළව බෙහෙවින්ම වැදගත් වනුයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම බවද එහි තවදුරටත් දැක්වෙනවා. ඒ සඳහා නිශ්චිත කාලරාමු තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා අටක්ද මැතිවරණ කොමිෂන් සභාව දක්වා තිබුණා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම සහ රටට විදේශ විනිමය ලබාගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති අමාත්‍යාංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යාංශ ඇති කිරීම වැදගත් වනවා.

මහජන නියෝජිතයන්ට ලබාදෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීමද එහි ඇතුළත්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්, පළාත් සභා මන්ත්‍රී සංසදය සමඟ අද (26) අරලියගහ මන්දිරයේදී හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ සියලු පක්ෂ ඇතුළත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ජනපතිට දැනුම් දුන් බවයි.

මෙවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අතර ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද (26) ජපාන තානාපතිවරයා හමුවී වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර චීන සහ රුසියානු තානාපතිවරුන්ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.

++++++++++

***************************************

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

(26.04.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

ඊට අදාළව බෙහෙවින්ම වැදගත් වනුයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම බවද එහි තවදුරටත් දැක්වෙනවා.

ඒ සඳහා නිශ්චිත කාලරාමු තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා අටක් (8) ද මැතිවරණ කොමිෂන් සභාව දක්වා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම සහ රටට විදේශ විනිමය ලබාගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති අමාත්‍යාංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යාංශ ඇති කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදාහැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, මහජන නියෝජිතයන්ට ලබාදෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීම වැනි යෝජනා එහි ඇතුළත් ෴

***************************************

අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

(26.04.2022 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී අලි සබ්රි අධිකරණ අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා. අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

(26.04.2022 – 19:05 +0530 – hirunews.lk/sinhala)

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙතයි එය නිකුත් කර ඇත්තේ.

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සඳහා මුලික කරුණු සිදුකර තිබුනද මෙතෙක් තනතුරු සඳහා කර නොමැති පත්වීම් අත්හිටුවීමට ද එමගින් නියෝග කර තිබෙනවා.

***************************************

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක්

(26.04.2022 – 19:13 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 400 ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
චියෝ කැන්ඩා (Chiyo Kanda) පවසනවා.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිතයි.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළා.

***************************************

විදුලි ගාස්තු වැඩිකිරිම සදහා අවසර දී නැහැ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

(26.04.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු වැඩිකිරීම සදහා කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළා.

විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වනවා.

එමෙන් ම ගාස්තු සංශෝධනයක් කෙරෙන්නේ නම් සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත්කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වනවා.

එම මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පවත්වනු ලබනවා.

***************************************

අදත් (26) කොටස් වෙළඳපොල බිඳවැටේ – ගණුදෙනු මිනිත්තු පහයි (5)

(26.04.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය කොළඹ කොටස් හුවමාරුවට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

අඛණ්ඩව අද (26) දෙවැනි (2) දිනටත් කොටස් හුවමාරුවේ ගණුදෙනු අත්හිටුවීමට සිදු වුණා.

අද (26) පෙරවරු 10:30 ට කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළත් මිනිත්තුවක් (1) තුළ කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ස්වයංක්‍රීයව නතර වුණේ ප්‍රධාන පෙලේ සමාගම් නියෝජනය කරන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය පෙර දිනයට සාපේක්ෂව සියයට 5 කින් පහළ යෑම හේතුවෙන්.

යළි පෙරවරු 11:01 ට ගනුදෙනු ආරම්භ වුවද ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය සියයට 7.5 කින් පහළ යෑමත් සමග දිනයේ ගනුදෙනු දෙවන (2) වරටත් නතර වුණා.

පෙරවරු 11:32 ට නැවත ගනුදෙනු ආරම්භ වීමෙන් පසුවද තවදුරටත් දර්ශකය පහළ යෑම හේතුවෙන් පෙරවරු 11:35 ට ගනු දෙනු අත්හිටවනු ලැබුවා.

ඒ අනුව අද (26) කොටස් වෙළෙඳ පොලේ ගනුදෙනු සිදු කෙරුණු සමස්ත කාලය මිනිත්තු 5 කට සීමා වුණා.

එම කාලය තුළ සියලු‍ කොටස් මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව සියයට අටයි දශම එකකින් (8.1) ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය සියයට නවයයි දශම හතයි පහකින් (9.75) පහළ ගොස් තිබුණා.

මේ අතර, ‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්’ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් මෙරට දීර්ඝ කාලීන ණය ගෙවීමේ හැකියාව ‘බංකොලොත්වීමට නියමිත’ කාණ්ඩය දක්වා පහත හෙළා ඇති බවද අද (26) වාර්තාවුණා.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්ශවයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මාරි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව බදු අනුපාත ඉහළ දැමීම, නිදහස් විදේශ විනිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ මුල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවට ණය පියවීම සඳහා තවත් ණයක් ලබාදීමට සූදානම් බව චීනය දන්වා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

මහබැංකුව අද (26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49 ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 333.88 ක් ලෙසයි.

කෙසේ වෙතත්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (26) රුපියල් 348 ක් දක්වා ඉහළ දමා තිබුණා.

***************************************

රට අරාජික වීමට කිසිසේත් ඉඩ තබන්නෙ නැහැ – මහින්ද රාජපක්ෂ

(26.04.2022 – 22:49 +0530 – hirunews.lk/sinhala)

රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අද (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අගමැතිතුමා මේ බව කියා සිටියා.

මහා නායක හිමිවරුන් නිකුත්කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරනු ලැබුවා.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කර තිබෙනවා.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළා.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *