චීන තානාපතිගෙන් සහතිකයක්

චීන තානාපතිගෙන් සහතිකයක්

*********************************************

චීන තානාපතිගෙන් සහතිකයක්

(25.04.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

චීනය විසින් ශ්‍රී ලකාවට ලබාදෙන සහය එක් නිශ්චිත පක්ෂයක් හෝ ආණ්ඩුවක් පදනම් කරගෙන සිදු නොකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළා.

බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බව ඔහු අවධාරණය කළා.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද (25) පැවැත්වූ සාකච්ඡාවකදියි.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය සහය ලබාදීම සඳහා වූ සාකච්ඡා මන්දගාමී වූයේ ලක් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං කියා සිටියේ.

විදේශ ණය පියවීම් තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.

එහෙත් එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ද්විපාර්ශවික ණය වැඩසටහන සඳහා ඉදිරියේදී බලපෑම් ඇති කරන බව චීනයේ අදහසයි.

ධනාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – චීන නිදහස් වෙළද ගිවිසුම පිළිබද සාකච්ඡා වට 6 ක් මේ වන විට අවසන් වී තිබෙනවා.

නිදහස් වෙළද ගිවිසුමෙන් වැඩි වාසි ලැබීම චීනයේ අපේක්ෂාව නොවන අතර එමගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළේ.

චීනයෙන් පමණක් නොව ලොව අන් සෑම දෙසකින්ම ඉහළ අයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සාධාරණ අන්දමින් කටයුතු කරනු දැකීම චීනයේ අපේක්ෂාවයි.

චීන තානාපති චී චෙන්හොං වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා චීනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 500 ක් වටිනා ඉන්ධන මෙට්‍රික් ටොන් 7,30,000 ක් සපයා ඇති බවයි.

ශ්‍රී ලංකාව මෙතෙක් ගෙවීම් සිදුකර ඇත්තේ ඉන්ධන නෞකා හතකට (7) පමණක් වන අතර, තවත් ඉන්ධන නෞකා 12 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 390 ක් ගෙවිය යුතු බවයි චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ.

***************************************

දින 3 ක් පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්

(25.04.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

අද (25) සිට අනිද්දා (27) දක්වා දින 3 ක් සියළුම කලාපවලට පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව පෙරවරු 09:30 සිට පස්වරු 05:30 දක්වා කාලය තුළ පැය 2 ක් සහ පස්වරු 05:30 සිට රාත්‍රි 09:30 දක්වා කාලය තුළ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව අදාළ දින තුන (3) සඳහා පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා පැය 3 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යලි ඉහළ නංවන බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා ෴

***************************************

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගැනීමට තැත් කරයි

(25.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කර සියදිවි නසාගැනීමට තැත් කළ සැමියෙකු පිළිබඳව වැලිවේරිය වෑබඩ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඊයේ (24) රාත්‍රියේ නිවසේ සිටි බිරිඳ ඇයගේ සොහොයුරිය සහ මිතුරියකට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පසුව ඔහු නිවස අසළ ළිඳට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය මරණකාරියගේ වයස අවුරුදු 33 ක්.

ඇය, 2019 වසරේ සිට විදේශගතව සිට පසුගිය 22 වනදා මෙරටට පැමිණ තිබෙනවා.

විදෙස්ගතව සිටි කාලය තුළ දී සැකකරු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මොවුන් අමනාපයෙන් සිට ඇති අතර, එම සිද්ධිය මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සිදු කළ අවුරුදු 37 ක් වයසැති මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරු එම තියුණු ආයුධයෙන්ම ගෙළ පිටුපස කපාගෙන ළිඳට පැන සිටිය දී ගොඩටගෙන පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා (2) රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

***************************************

රන් මිලේ සුළු අඩුවීමක්

(25.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ඒ අනුව, අද (25) දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 1927.25 ක් ලෙස සටහන් වනවා.

මාස හයක් (6) තුළ රන් මිල 6.84% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ ෴

***************************************

තවත් 15 දෙනෙකු ඉන්දියාවට පලා යයි

(25.04.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala)

තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු (3) සිටින බව සඳහන්.

මේ වනවිට ඔවුන් කඳවුරුගත කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

මෙරට පවතින වත්මන් ආර්ථික තත්වය මත මෙලෙස පසුගිය මාස දෙකක කාලසීමාවේ 50 කට ආසන්න පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් ෴

***************************************

ආර්ථික පීඩා නිසා හෘද රෝගීන් ඉහළට

(25.04.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික, දේශපාලන අර්බුදය හේතුවෙන් හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.

ඒ, අනුව බස්නාහිර පළාතේ පමණක් හෘද රෝගීන් වාර්තා වීම සියයට 30 ක් 40 ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙම තත්ත්වයට අවබෝධයෙන් මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොමැති බව හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් සදහන් කළා.

***************************************

ගාල්ලේ අනතුරකින් අඹුසැමි යුවළක් මියයයි

(25.04.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උඩුගම ප්‍රධාන මාර්ගයේ හියාරේ මංසන්ධිය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් 15 හැවිරිදි පාසල් දරුවෙකු සහ කාන්තාවක්ද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

මියගිය අඹුසැමි යුවළ, බූස්සේ සිටින සිය දියණියගේ නිවසේ පැවති අලුත් අවුරුදු සාදයකට සහභාගිවී ත්‍රිරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

මියගිය පුද්ගලයින් අක්මීමන – අමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෝටර් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

කබ්රාල්ට එරෙහි ව තවත් අධිකරණ නියෝගයක්

(25.04.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශ ගතවීම වළක්වාලමින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේ, අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පුජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව යි.

ලබන ජුනි 07 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු මහබැංකු අධිපතිවරයාට සිතාසි ද නිකුත් කෙරුණා.

2006 වසරේ 2015 දක්වා කාලය තුළ මහබැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ඇමරිකානු ජාතික සුබේරි නැමැති පුද්ගලයෙකුට ගෙවීම තුළින් සාපරාධි විශ්වාසය කඩකිරීම සහ සාපරාධී පරිහරණයක් සිදු කර ඇති බවට පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කරුණු ඉදිරිපත් කළා.

***************************************

වතිකානයේ දී පාස්කු තෙවර්ෂය සැමරේ – පාප් වහන්සේගෙන් වින්දිතයන්ට ආශිර්වාද

(25.04.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ දී අද (25) පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට ආශිර්වාදය පළ කිරීමට එක්වුණා.

ඒ, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ සිංහල බසින් ගීතිකා ගයමින් පැවැත්වූ දිව්‍යා පූජාවකින් අනතුරුවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, රදගුරු හිමිවරුන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූයේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ඇරයුමෙන්.

මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් ද සහභාගි වී සිටීම විශේෂත්වයක්.

මෙරට කතෝලික පදවිය නියෝජනය කරන රදගුරු හිමිපාණන් වහන්සේලා, පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනෙකු මෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් 3000 කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී දිව පූජා යාගය සිංහල බසින් මෙහෙය වූයේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් විනිස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් විසින් විශේෂ දිව්‍ය පුජා යාගයේ දේශනය ද පවත්වනු ලැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේදී කටුවාපිටිය දේවාස්ථානයේ ලේ තැවරුණු උත්ථානයේ කිස්තුස් වහන්සේගේ පිළිමය ද මෙම විශේෂ දිව්‍ය පූජා යාගය සඳහා ගෙන ගොස් ඇති අයුරු දක්නට ලැබුණා.

විශේෂ දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවට සම්ප්‍රාප්ත වුණා.

එහිදී පාප් වහන්සේ පැමිණ සිටි පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනා වෙන වෙනම ආශිර්වා කිරීමට ද කටයුතු කළා.

වින්දිතයින් සිහි කරමින් උත්ථානයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් සමරු සටහන් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමිපාණන් විසින් පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි සියළු දෙනා ආශිර්වාද කිරීමට ද පාප් වහන්සේ කටයුතු කළේ.

+++++++++

සැවොම බලා සිටිය දී ෆ්‍රැන්සිස් පාප්තුමන්ගෙන් විශේෂ ක්‍රියාවක්

(25.04.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පිරිසට නිසි සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් වන ලෙස අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලා සිටියේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්.

ඒ අනුව අද (25) පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ පාස්කු වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව කේන්ද්‍ර කරගනිමින් විශේෂ දේව මෙහෙයක් සහ යාඥාවක් පැවැත්වුණා.

එහිදී කැමරා කාචයේ සටහන් වූ පාප් වහන්සේ විසින් සිදු කරන ලද විශේෂ ක්‍රියාවක් ද දක්නට ලැබුණා.

එනම්, එම දේව මෙහෙයට එක් වී සිටි බැතිමතෙකු විසින් පැළඳ සිටි සිය හිස්වැස්ම ගලවා පාප් වහන්සේ වෙත ලබාදීමයි.

ඔහු එය ලබා දී ඇත්තේ, තම කතෝලික දහමේ ආසිරි ලැබ ගනිමින්, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආසිරි යෙහෙන් ලබා ගැනීමටයි.

කිසිදු පැකිළීමකින් තොරව ඉතාමත් ආදරයෙන් සිය බැතිමතා ලබාදෙන හිස් වැස්ම අතට ගන්නා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තම හිසෙහි පළඳා සිටි හිස් වැස්ම ගලවා බැතිමතා ලබාදුන් හිස්වැස්ම පැළඳ ආශිර්වාද ගන්වා යළි ඔහු අතට එය පත් කිරීම අතිශය සුවිශේෂියි.

ඕනෑම අයෙකුට නොලැබෙන මෙම අවස්ථාව තුළ ආගමික නායකයෙකු සතු විය යුතු අව්‍යාජ බව , අනතිමානිත්වය මනාවට ගම්‍ය කරලමින්, පැමිණ සිටි බැතිමතුන්ගේ හිත සනසාලන්නට මෙම ආගමික නායකයාගේ ක්‍රියා කලාපය බෙහෙවින් අගය කළ යුතු වනවා.

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුවට

(25.04.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවේ අද (25) පෙනී සිටියා.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ගුවන් යානා 21 ක් බදු පදනම යටතේ මිල දී ගැනීම සදහා මිල ගණන් කැඳවීමට අදාළව කරුණු විමසීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවන බවයි.

ඒ අනුව පසුගිය 20 වන දා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණද අසනීප තත්වයක් හේතුවෙන් එදින පෙනී සිටීමට නො හැකි බව ගුවන් සමාගමේ ප්‍රධානීන් දැනුම් දී තිබුණා.

++++++++++

ගුවන් යානා කුලියට ගැනීම තෙමසකට කල් දමන්න – කෝප් කමිටුවෙන් උපදෙස්

(25.04.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නිර්දේශ කර තිබෙනවා.

ඒ, පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් අද (25) එය රැස්වූ අවස්ථාවේදියි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් 2022 ත්, 2025 ත් අතර කාලය සඳහා ගුවන් යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව මීට පෙර දැනුවත් කර තිබුණා.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබදව සමාලෝචනය කරන ලෙසත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේ ද යන්න සොයා බලන ලෙසත් කෝප් කමිටුව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

***************************************

ITN ඊළඟ සිංදුවට එකතු කරන්නේ නාකි මයිනෙකුයි තටු හැලිච්ච කපුටෙකුයි

(26.04.2022 – gossiplankanews.com)

ස්වාධීන රූපවාහිනී සේවයේ දහවල් කාලයේ විකාශය වන ‘මියුසික් ඇට් 11’ සජීවී වැඩසටහනට සම්බන්ධවූ ප්‍රේක්ෂකයෙකු පළ කළ අදහස් දැක්වීමක් ආන්දෝලනයට තුඩුදී තිබේ.

ගීත ඉල්ලීම් වැඩසටහනක් වන මෙය නිවේදිකාවක හා නිවේදකයෙකු ඉදිරිපත් කරන අතර එයට ගීතයක් ඉල්ලීම සඳහා සම්බන්ධවූ පුද්ගලයෙකුගෙන් නිවේදිකාව විමසන්නේ දැන් සැප සනීප කොහොමද කියාය. ඔහු ඊට දැන් නම් හොඳටම සැපයි කියන්නේය.

ඊළඟ සිංදුවට ඔබ කාවද එකතු කරන්නේ කියූ විට එම පුද්ගලයා පවසන්නේ ‘නාකි මයිනෙකුයි.. තටු හැලිච්ච කපුටෙකුයි..’ ලෙසිනි. ඔහුට ඉන් එහාට දේවල් කියන්න නොදී දුරකථන ඇමතුම අභ්‍යන්තරයෙන් විසන්ධි කෙරෙන අතර මේ කිසිවක් සිදු නොවූ ගාණට නිවේදිකාව හා නිවේදකයා ඊළඟ සිංදුවට යොමුවේ.

අදාළ වීඩියෝ කොටස :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *