අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය

*********************************************

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය

(25.04.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද (25) ප්‍රතික්ෂේප කළා.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවත් එම පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නා.

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පලකරමින් යම් පිරිසක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේදී උද්ඝෝෂණයේ යෙදී ඇති බවත්, මේ හේතුවෙන් එම මාර්ගයේ පදිකවේදිකාව භාවිත කරන ජනතාවට මහත් හිරුහැරයක් සහ කරදරක් සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

+++++++++

කොළඹ ගාලු මුවදොර අරගලයේ හැඩයට ජර්මන් තානාපති ගේ ප්‍රසාදය

(25.04.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ෂෝබේ කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලය විරෝධතා ව්‍යාපාරයේ සාමකාමී ස්වභාවය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරනවා.

සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ජර්මානු තානාපති වරයා පවසන්නේ අභිමානවත් ශ්‍රී ලාංකික ජනතාව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාමකාමීව භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් තමන් ඉමහත් ප්‍රසාදයට පත්ව ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ අභිමානවත් ජනතාව තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙතරම් සාමකාමීව ක්‍රියාත්මක කරනවාද යන්න ගැන මම පැහැදෙනවා” යනුවෙන් ඔහුගේ පණිවිඩයේ සඳහන්.

රට තුළ ක්‍රියාත්මක වන මෙම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සහ සාමකාමී විරෝධතා 1989 වර්ෂයේදී ජර්මනිය නැවත ඒකාබද්ධ වීමට බලපෑම් කළ විරෝධතා ව්‍යාපාරයන් තමන්ට සිහි ගන්වන බව ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

දෙවන ලෝක යුද්ධය පරාජය වීමෙන් අනතුරුව නැගෙනහිර සහ බටහිර වශයෙන් සමාජවාදී සහ ධනවාදී කඳවුරු වලට බෙදී සිටි ජර්මනිය 1989 වර්ෂයේදී එක්සත් රාජ්‍යයක් ලෙස නැවත ඒකාබද්ධ වුණා.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ෂෝබේ අද (25) උදෑසන නිකුත් කළ මෙම ට්විටර් පණිවුඩය අවසන් කර තිබුනේ මෙම ජන අරගලයට එක්ව සිටින සියලු පාර්ශවයන්ට සාමකාමීව සිටීමට ශක්තිය ප්‍රාර්ථනා කරමින්.

++++++++++

අදත් (25) විසදුම් ඉල්ලා විරෝධතා සහ උද්ඝෝෂණ

(25.04.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින විවිධ ගැටළුවලට විසදුම් ඉල්ලමින් අද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

මේ අතර, කොළඹ – ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (25) 18 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

විරෝධතාකරුවන් එහිදී විරෝධතා වැකි සටහන් කල බැලුම් බෝල අහසට යවනු දක්නට ලැබුණා.

එමෙන්ම රට තුල පවතින අර්බුදයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද ගාලුමුවදොර විරෝධතා භූමියට අද (25) පැමිණියා.

ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (25) දිනයේදී දිවයින පුරා පාසල් රැසක් වසා තැබුනු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සිසුන්ගේ පැමිණීමේද අඩුවක් පැවති අතර වර්ජනය හේතුවෙන් පාසල් වල අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වුණා.

මේ අතර, ඉන්ධන ගැටළුව, ගෑස් හිඟය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල යාම ඇතුලු තත්වයන්ට විරෝධය පල කරමින් අදත් කුරුණෑගල, මීගමුව, කන්තලේ සහ කළුතර ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ වල විරෝධතා සංවිධානය කර තිබුණා.

රඹුක්කන නගරයේ සිට කොළඹ දක්වා අද (25) රථ පෙළපාලියක් ආරම්භ කෙරුණේ පසුගියදා රඹුක්කන වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින්.

පෙළපාලිය අතරතුර මහජන පෙත්සමක් අත්සන් තැබීමද සිදු කෙරුණා.

පවතින තත්වයන්ට විරෝධය පල කරමින් අද (25) රුහුණු – කතරගම දේවාල භූමියේදී පිරිසක් විසින් පොල් ගෑසීමක් සිදු කළා.

මේ අතර, රත්නපුර – කලවාන නගර මධ්‍යයේ ටයර් ගිනි තබමින් පැවැත්වුනු විරෝධතාවයක් හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වුනා.

හැටන් නගරයේ පැවැත්වු විරෝධතාවයකදී ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පැමිණ වාහන ගමනාගමනයට බාධා එල්ල වන බව පවසමින් ඊට එරෙහි වීමත් සමග ඇතිවුනේ උණුසුම් තත්වයක්.

පොලොන්නරුව ප්‍රදේශයේ ගොවි ජනතාව ද අද (25) විරෝධතාවයක නිරත වූ අතර මහනුවර නගරයේ ජනතාව ඊයේ (24) රාත්‍රියේ විරෝධතාවයක නිරත වුනේ පහන් දල්වමින්.

එමෙන්ම වාද්දූව සහ ගාල්ල නගර වල ඊයේ (24) රාත්‍රියේ ප්‍රාසාංගික අයුරින් දේශාභිමානී ගීත ගායනා කරමින් විරෝධතා පැවැත්වුණා.

මේ අතර, ඊයේ (24) පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනට මාර්ග අවහිර කරමින් බාධා කිරීම සම්බන්ධයෙන් අද (25) ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා.

මේ අතර, අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන් ඉවත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කල ඉල්ලීම අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් අද (25) ප්‍රතික්ෂේප කළා.

+++++++++++

***************************************

අදත් (25) ප්‍රදේශ කිහිපයක විරෝධතා

(25.04.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ගාලු‍ මුවදොර පැවැත්වෙන විරෝධතාවට සහාය පලකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් (25) විරෝධතා සංවිධානකර තිබුණා.

අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, ගාල්ල, මීගමුව, වාද්දුව, හෝමාගම, බදුල්ල, හොරණ, සහ මහනුවර යන ප්‍රදේශවල මෙම විරෝධතා සංවිධානය කර තිබු බවයි.

පසුගිය 09 වැනි දා ගාලු‍ මුවදොර දී ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ (24) රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.

එම විරෝධතාව අද (25) පැවත්වෙන්නේ 17 වැනි දිනට යි.

මේ අතර කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට මාර්ග සහ ගාලු‍ මුවදොර පිටියට පිවිසෙන මාර්ග අවහිර කරමින් ඊයේ (24) යොදා තිබූ ස්ථීර මාර්ග බාධක අද (25) දින ඉවත් කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

රට මුහුණ දී ඇති අර්බුදවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ද විරෝධතා සංවිධාන කර තිබුණා.

***************************************

කපුටු නදට වෙනස් වුණු යකඩ යකාගේ නලාව

(25.04.2022 – 18:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) රාත්‍රියේ ධාවනය වූ දුම්රියක නලා හඬ නාද කිරීම වෙනස් ආරක් ගෙන ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම දුම්රිය විසින් මේ දිනවල දේශපාලනික ව්‍යාකූල තත්ත්වයක රට පසුවන මොහොතක අරගලකරුවන් විසින් කෑ කෝ ගසන තේමා පාඨයක් වම ‘කපුටු කාක් කාක්’ නමැති තේමා පාඨය නාදවෙන අයුරින් සිය දුම්රියෙහි නලාව නාද කරන අයුරු දක්නට ලැබෙනවා.

සෑම ස්ථානයක දී ම මෙම දුම්රිය සිය නලාව නාද කරන්නට උත්සාහ ගනුයේ, කපුටෙකු නද දෙන ආකාරයටයි.

***************************************

විශ්වාසභංගයට සහයට මන්ත්‍රීවරුන් 120 ක් – උදය ගම්මන්පිල

(25.04.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා සමගි ජන බලවේගය සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මූලික එකඟත්වයකට පැමිණ තිබෙනවා.

අදාල එකඟත්වයට පැමිණ ඇත්තේ එම දෙපාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර කොළඹ දී අද (25) පැවති සාකච්ජාවකදියි.

එම සාකච්ඡාව සඳහා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් සහභාගි වී තිබෙනවා.

එමෙන්ම අදාල සාකච්ජාවට සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටි බව සදහන්.

මේ අතර, ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුල කතානායකවරයාට භාර දෙන බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120 ක බහුතරයක් පවතින බවයි.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් අප කල විමසීකදී සදහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සදහා මේ වන විට මන්ත්‍රීවරුන් 120 කගේ කැමැත්ත ලැබී ඇති බවයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලු පක්ෂ වෙතින් ඉල්ලීමක් කළා.

එමෙන්ම, ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් ප්‍රකාශ කළා.

පෙරේදා පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ජීවන් තොන්ඩමාන්ට සහ පි. රාමේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඒ අනුව විශ්වාසභංගයට මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 ක් සහාය හිමිවනු ඇති.

පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් ගෙන් පෙරේදා (23) දිනයේදී ලේඛනයකට අත්සන් ගැනීම ආරම්භ කළ අතර, ඊට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකර ඇති ලිපියට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

දැනට භාරදී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂ නායක රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත්තේ.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, විපක්ෂ නායකවරයා වෙත යොමු කළ සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ලබන 28 වනදා පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියම කර ඇති බවයි.

එමෙන්ම, ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා අග්‍රාමාත්‍යවරයාට, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට, නීතිපතිවරයාට ඉදිරිපත් කළ බවත් අද (25) රැස්වන කැබිනට් මණ්ඩලයේදි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

අදාල තීරණය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම කැබිනට් ලේකම්වරයාගේ නිත්‍යානුකූල වගකීම බවයි කථානායකවරයා එමගින් දන්වා ඇත්තේ.

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් හමුව අද (25) පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදි වත්මන් දේශපාලන අර්බුදය මෙන්ම නව ව්‍යවස්ථා සංශෝධන අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

අද (25) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හෙට (26) පැවත්වෙන මාධ්‍ය හමුවට ජනාමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාද සහභාගිවීමට නියමිතයි.

මේ අතර, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවංකවම රටට හා ජනතාවට ආදරය කරන්නේ නම් සහ අවංකවම වත්මන් අර්බුදයට විසදුමක් ලබාදීමට කැපවන්නේ නම් සියලු භේද පසෙකලා එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද (25) රාත්‍රියේ පැවැත්වෙනවා.

***************************************

ජනපතිගෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත ලිපියක්

(25.04.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, රජයටත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ ලිඛිතව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන විසින් මහනාහිමිවරුන් වෙත ඊයේ (24) පිළිගැන්වූ බවයි වාර්තාවන්නේ.

අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පසුගිය 4 වනදා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ඒකාබද්ධව ගනු ලැබූ තීරණයකට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා ෴

***************************************

21 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

(25.04.2022 – 21:08 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින ඉල්ලීම් සපුරාලීම සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ සමඟින් 20 සහ 19 සංශෝධන පදනම් කර ගනිමින් 21 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ සඳහා අනු කමිටුවක් ද පත් කර තිබෙනවා.

ඒ අද (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ෴

***************************************

ගැටලු විසඳීමට අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න – පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලීමක්

(25.04.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අප්‍රේල් 19 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රට තුළ දැනට උද්ගත වී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය කඩිනමින් සමනය කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ සිට ස්වාධීන වූ 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ලිපියක් භාරදෙනු ලැබුවා.

නමුත් ඔවුන් පෙන්වාදෙන්නේ තම ලිපිය සම්බන්ධයෙන් තවමත් එතරම් අවධානයක් යොමු වී නොමැති බැවින් කඩිනමින් ඊට අවධානයක් ‍යොමු කළ යුතු බවයි.

ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රකාරව එහි දක්වා ඇත්තේ පොදු, පළල් දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසය උපරිම වශයෙන් තැබිය හැකි සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක් ස්ථාපිත කර දැනට රටේ උද්ගතව ඇති ඉන්ධන, විදුලිය, බෙහෙත් සහ ආහාර ආදි බිඳ වැටුණු සැපයුම් යාන්ත්‍රණය නිමා කිරීමට විසඳුම් යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවයි.

එහිදී ඔවුන් විසින් කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම මෙරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීම පිළිබඳ ව ද ඔවුන් අදහස් පළ කර තිබෙනවා.

මේ අර්බුද සකසා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බැවින්, සිය යෝජනාව වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නව අන්තර්කාලීන සර්වපාක්ෂික කැබිනට්ටුවක් පත් කළ යුතු බව ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම ලිපිය නැවතත් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, උදයකාන්ත ගුණතිලක ද මේ අතර ප්‍රධාන වනවා.

***************************************

ශාන්ත බණ්ඩාරගේ සහ සුරේන් රාඝවන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(25.04.2022 – 22:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමතිධූර ලබාගත් ශාන්ත බණ්ඩාරගේ සහ සුරේන් රාඝවන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ඒ අද (25) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (25) තීරණය කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *