අරගල බිමෙන් කොටු වූ සොරා

අරගල බිමෙන් කොටු වූ සොරා

*********************************************

අරගල බිමෙන් කොටු වූ සොරා

(24.04.2022 – 21:28 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක අරගලය 16 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

එම අරගලයට සහය පළ කරමින් විවිධ ප්‍රදේශවලදී මෙන්ම විදෙස් රටවලදීද ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේ රැදී සිටින විරෝධතාකරුවන් ඊයේ (23) රාත්‍රීයේත් සිය විරෝධය පළ කළා.

අරගල භූමියේ පිරිස අතර සිට විවිධ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදීමටද විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

16 වැනි දිනටත් ආරම්භ වූ අරගලය සඳහා උදෑසන සිටම විරෝධතාකරුවන් සහභාගී වී සිටියා.

අරගල භුමියට පැමිණෙන පිරිසට සිය සිතුවම් නිර්මාණ තුළින් විරෝධතාව පළ කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණා.

මේ අතර විරෝධතාවට සමගාමීව පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසයද අදත් ක්‍රියාත්මක වනවා.

මීට අමතරව තවත් ස්ථාන කිහිපයක ආරම්භ කළ උපවාසද අදත් (24) ක්‍රියාත්මකයි.

රට තුළ උද්ගතව ඇති තත්ත්වයට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් පිරිසක් කුරුණෑගල – විල්ගොඩ ප්‍රදේශයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ’කාර්යාලයක් දක්වා විරෝධතා පා ගමනක නිරත වුණා.

මේ අතර ගාලුමුවදොර පිටියට පිවිසෙන මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් අරගල භූමියට පැමිණි පුද්ගලයින් සහ දෛනික කටයුතු සඳහා පැමිණි සිටි පුද්ගලයින් අපහසුතාවට පත් වුණා.

මේ අතර ගාලු මුවදොර අරගලයට සහය පළ කරමින් දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක විරෝධතා පැවැත්වුණා.

මේ අතර ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට සහය කිරීම සඳහා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට එක්ව සිටියා.

මේ අතර රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ සිදු කරන උද්ඝෝෂණවලට සහය පළ කරමින් විදෙස් රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් ද සිය විරෝධය පළ කළා.

***************************************

ගෝඨාගෝගමට අනුබල දෙනවා කියා නාගාට බරපතල චෝදනා (25.04.2022)

***************************************

“නූගත් කාලකණ්ණි පාර්ලිමේන්තුවේ ඉන්නේ”අරගලයේදී දුලීකා මාරපනට යක්ෂාවේශ වෙයි..!! (22.04.2022)

***************************************

ඊයේ (24) රියල් නින්දිත ගෝඨා එලියට ආවා – අරගලයේ ප්‍රතිපල මැයි 01 බලාගන්න – ආරක්ෂක ඇමති GL තුවක්කුවක් උස්සන්න බෑ (25.04.2022)

https://www.youtube.com/watch?v=Sn3ybn60gPY

***************************************

120 ක බහුතරයක් සිටින බව ගම්මන්පිල කියයි

(25.04.2022 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120 ක බහුතරයක් තමන් සතුව ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ආණ්ඩුවට එරෙහි ව ගෙන එනු ලබන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් කියා සිටියේ, පෙරේදා (23) පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගෙන් පෙරේදා (23) දිනයේ දී ලේඛනයකට අත්සන් ගැනීම ආරම්භ කෙරුණු අතර, ඊට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලැබී නො මැති බව වාර්තාවනවා.

එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් හමුව අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ඒ වෙනුවට සකස් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව, කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

ඒ, එම වාර්තාව සකස් කළ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින්.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජය මෙම වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කිරීමට සූදානම් බවයි.

මේ අතර දැනට භාර දී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම සඳහා වහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබෙනවා.

ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ, අදාළ රැස්වීමට නීතිපතිවරයා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද කැඳවන ලෙසයි.

මේ අතර සමගි ජනබලවේගය හෙට (26) මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙනවා.

පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම මධ්‍යම කාරක සභා හමුවේ දී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී සඳහන් කළේ.

+++++++++++

***************************************

නව කැබිනට්ටුවේ පළමු (1) රැස්වීම පස්වරුවේ

(25.04.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය 18 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම, නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද (25) අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගය විසින් ද කථානායකවරයා වෙත භාර දුන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනා දෙක (2) ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේ දී ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත ඉදිරියේ දී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි ෴

***************************************

අන්තර්කාලීන ආණ්ඩුවකට කැමතියි – ජනපති

(25.04.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා.

පසුගිය දා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබූ අතර, ඊට පිළිතුරු ලිපියක් ඊයේ (24) ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත යොමුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ, අන්තර්වාර පාලනයකට ඇති කැමැත්ත පිළිබඳවත් ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා පිළිතුරු ලිපියේ දක්වා ඇති බවයි.

පවතින ආර්ථික අර්බුද හමුවේ අන්තර්කාලීන් ආන්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව දිගින් දිගට ම ඇති වුණා.

කෙසේවෙතත් විරෝධතාවල නිරත දහස් ගණන් පුරවැසියන්, එකහෙලා ම ප්‍රකාශ කරන්නේ, ජනපති ඇතුළු සියලු නියෝජිතයින්ට ඉවත් වන ලෙස යි.

***************************************

ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට තීරණය කරයි

(25.04.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ ‍අභ්‍යන්තරයේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසය විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමාන් පවසන්නේ, පක්ෂයේ විධායක මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණය ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවයි.

එමෙන්ම විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළ කිරීමේ සිය පක්ෂ තීන්දුව විපක්ෂ නායකවරයාට දැනුම් දුන් බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ වන විට ආණ්ඩුවට සහයෝගය පළ කරන ලංකා කම්කරු කොංග්‍රසය පාර්ලිමේන්තුවේ ආසන දෙකක් (2) නියෝජනය කරනවා.

++++++++++

විශ්වාසභංගයට ආසන 120 කට වැඩි සහායක් ලැබෙන බවට තහවුරුවක්

(25.04.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහි ව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ශ ව මේ මොහොත වන විට මන්ත්‍රීවරුන් 120 කට ආසන්න පිරිසකගේ සහයෝගයක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයකු පැවසුවේ, අද (25) එම ගණන තවත් ඉහළ යනු ඇති බව යි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන මන්ත්‍රීවරුන්ගේ අස්සන් ලේඛනයක් ද ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සකස් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බව යි වාර්තා වෙන්නේ.

නමුත් ඒ සඳහා මේ වන විට අස්සන් තබා ඇත්තේ, මන්ත්‍රිවරුන් 67 ක් පමණ යි.

මේ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 අතරින් 187 කගේ පාර්ශවීයභාවය තහවුරු වී තිබෙනවා.

මේ නිසා ඉතිරි මන්ත්‍රීවරුන් 38 දෙනාගේ පාර්ශවීයභාවය ‍යම් තරමකට පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට බලපානු ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

***************************************

අර්බුද විසඳීමට පොදු යෝජනාවලියක් සකස් කෙරේ

(25.04.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණදී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසදුම් ලෙස ඉදිරිපත් වී ඇති ප්‍රතිසංස්කරණ රැස් කර පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට හා අරගලකරුවන්ට ඉදිරිපත් කිරිමේ කටයුතු හෙට (26) ආරම්භ වනවා.

ඒ, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහගේ සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දියි.

***************************************

මෙම අර්බුදයට දින 3 න් විසදුම් දිය හැකියි – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්

(25.04.2022 – 16:24 +0530 – hirunews.lk/sinhala)

රට යළි ගොඩනගා ගැනීම සඳහා ජනතාව ඉල්ලන වෙනස සිදු කිරීමට ඉතා කඩිනමින් කළ යුත්තේ අන්තර් කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම බව දේශය සුරැකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමයන් පවසනවා.

අද රට මුහුණ දී සිටින ආරාජිකත්වය හා ආර්ථික අර්බුදය පිළිබඳව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත විශේෂ සංදේශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටිනවා

පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යස්තාව ට අනුව දින 3 ක ඇතුළත විසදා ගත හැකි බවද උන්වහන්සේ සඳහන්කර සිටිනවා.

දේශපාලන නායකයින් මෙවැනි මොහොතක පක්ෂ පාට අත්හැර ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *