විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි

විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි

*********************************************

විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි

(24.04.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහිව අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇති විශ්වාසභංග යෝජනාවට ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එහි කටයුතු මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන අතර, මේ වනවිටත් ඒ සඳහා මන්ත්‍රීවරුන් රැසක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමඟ සිදුකරන සාකච්ඡාවේදී විශ්වාසභංගයේ ඇතුළත් විය යුතු කරුණු මෙන්ම විශ්වාසභංගයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡා කෙරෙන බවයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, විශ්වාසභංගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී එකඟතාවයක් ඇති කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, සමගි ජන බලවේගය අනිද්දා (26) මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නිදහසේ අරගල ලෙස නම් කර ඇති එය දින 06 කින් කොළඹට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

++++++++++

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන, විසිඅට (28) වැනිදා පක්ෂ නායක රැස්වීමක්

(24.04.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

කතානායකවරයා වෙත මේ වනවිට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අප්‍රේල් 28 වැනිදා පෙරවරු 10 ට පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතියට අදාළව මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවයි.

ඒ අනුව එදින (මැයි 04) පෙරවරු 11 සිට සවස 05:30 දක්වා එම කරුණු විවාදයට ගැනෙනු ඇති.

කෝප් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය මැයි 05 වැනිදා පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුව ලබන මස 04, 05, 06 යන දින තුනෙහි (3) රැස්වන අතර, 06 වැනිදා ශෝක ප්‍රකාශ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

ස්වාධීන මන්ත්‍රීවරුන් තවත් පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා

(24.04.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන තවත් පාර්ශව කිහිපයක් සමඟ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් අවසන් කර ඇති බවයි එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙහිදී විශේෂයෙන්ම අන්තර්වාර පාලනයක් ගෙන ඒම සහ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවයි හිටපු අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර සමගි ජනබලවේගයේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාවට සහය ලබාගැනීම සහ පාර්ලිමේන්තුව තුළ දේශපාලන එකඟතාවන් පවත්වාගැනීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමුකර ඇති බවයි.

***************************************

සජිත්ගෙන් අභියෝගයක්

(24.04.2022 – 23:01 +0530 – hirunews.lk/sinhala)

නිදහසෙන් පසු බිහිවූ සෑම රජයක්ම සිදු කළේ රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් සංවර්ධනයේ නාමයෙන් නැවත මහජනතාවට ලබාදීම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අතර, රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ද විවිධ අදහස් පළ කළා.

***************************************

ඩීසල් හිඟයෙන් වරායේ බහාළුම් ප්‍රවාහනයට තවදුරටත් බාධා

(24.04.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩීසල් හිඟය හේතුවෙන් කොළඹ වරායේ ආනයන – අපනයන බහාලුම් ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඩීසල් හිඟයත් සමඟ මේ වනවිට ධාවනයේ යෙදෙන බහාලුම් ප්‍රවාහන රථ සංඛ්‍යාව සියයට 60 ක් දක්වා අඩුවී ඇති බවයි.

ඒ හේතුවෙන් ආනයනික භාණ්ඩ සහිත බහාලුම් රැසක් බෙදාහැරීමට නොහැකිව කොළඹ වරාය තුළ ගොඩ ගැසී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් පරිදි ගැටලුවකින් තොරව ඩීසල් ලබා දෙන්නේ නම් ඉදිරි සතියේදී සියලුම බහාලුම් ප්‍රවාහන රථ ධාවනයේ යෙදවීමට හැකි බවයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් කියා සිටියේ.

දිවයින පුරා ප්‍රදේශ රැසක ඇතැම් ඉන්ධන හල් ඊයේ (23) දිනයේත් වසා තිබුණු අතර විවෘත කර තිබූ ඉන්ධනහල්වල ඊයේ (23) රාත්‍රිය දක්වාම දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා අදත් (24) පැය 03 ක කාලයක් අවස්ථා දෙකකදී (2) විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර බස් ගාස්තු ඉහළ යාමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 40 කින් ඉහළ ගොස් ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, දුම්රිය ගාස්තු වැඩි නොකිරීම නිසා සියයට 30 ක් 40 කින් පමණ මෙලෙස දුම්රියෙන් ගමන් කිරීමට වැඩි නැඹුරුවක් ජනතාව තුළ පවතින බවයි.

යාල සහ බූන්දල වනෝද්‍යාන නැරඹීම සඳහා සංචාරක සේවා සැපයීම වෙනුවෙන් වන මිල ගණන් ඉහළ දැමීමට යාල ස්වාධීන ජීප් රථ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය නිවේදනය කළේ නව මිල ගණන් අනුව ටොයොටා සහ මිට්සුබිෂී වර්ගයේ සෆාරි රථයක පැය 04 ක සේවාවක් සඳහා රුපියල් 10,000 ක්ද, එක්දින සේවාවක් සඳහා රුපියල් 20,000 ක්ද අය කරන බවයි.

මහීන්ද්‍රා සහ ටාටා රථවල පැය 04 ක සේවා ගාස්තුව රුපියල් 9,000 ක්. එක්දින සේවාවක් සඳහා නව මිල ගණන් අනුව රුපියල් 18,000 ක් අය කෙරෙනවා.

***************************************

බහුදින ධීවර යාත්‍රා මුහුදු ගමන් නවතයි

(24.04.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හිඟය සහ මිල ඉහළයාම හේතුවෙන් බහුදින යාත්‍රා රැසක් මේ වනවිට මුහුදු යාමෙන් වැළකී සිටිනවා.

සමස්ථ ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, බලධාරීන් මේ සඳහා ධීවරයන්ට නිසි සහනයක් ලබා දිය යුතු බවයි ෴

***************************************

ජාත්‍යන්තර ඉන්ධන සැපයුම්කරුවන් ණය කොන්දේසි දැඩි කරයි

(24.04.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට එළඹෙන තුරු විදේශ ණය පියවීම් අත්හිටුවීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ මෙරටට බොරතෙල් සපයන ජාත්‍යන්තර සමාගම් සිය කොන්දේසි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් මෙරටට බොර තෙල් සපයන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු බොරතෙල් සැපයුම සඳහා ලබාදී තිබූ දින 200 ක ණය පහසුකම දින 80 දක්වා අඩු කර ඇති බව සඳහන්.

එම සැපයුම්කරු විසින් මෙට්‍රික් ටොන් 95,000 බැගින් වූ බොරතෙල් නෞකා හයක් (6) දිවයිනට ලබාදීමට එකඟ වී සිටි බවයි වාර්තාවන්නේ.

එමඟින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව උපරිම මට්ටමට ගෙන ඒමට සැළසුම් කර තිබූ නමුත් දැන් එම සැළසුම් ක්‍රියාත්මක කිරීම ගැටළුවක්ව තිබෙනවා.

අදාළ බොරතෙල් තොගය මගින් සපුගස්කන්ද පිරිපහදුව මාස හයක (6) කාලයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ අතර, එමඟින් නිෂ්පාදනය කරන ඩීසල් ආනයනික පිරිපහදු ඩීසල්වලට වඩා අඩු පිරිවැයකින් යුක්තයි.

මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය පියවීම අත්හිටුවීමේ තීරණය, සෞදි අරාබිය, කුවේටය, ඕමානය ආදී රටවලින් ණය පදනම මත තෙල් ලබාගැනීමට බලපානු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ ෴

***************************************

කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් ?

(24.04.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ කර්මාන්තශාලා 500 කට අධික ප්‍රමාණයක් වැසී ගොස් විශාල පිරිසකට රැකියා අහිමිවී ඇති බව යුක්තිය උදෙසා සේවක එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ප්‍රියන්ත නන්දසිරි මහනුවරදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජය, ව්‍යවස්ථා සංශෝධනයකට වඩා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

එමෙන්ම රැකියාවල නිරත තරුණ තරුණියන්ටද ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

***************************************

උත්සව ශාලා ගාස්තුත් ඉහළ නංවයි – සබන් මිලත් අහස උසට

(24.04.2022 – 18:06 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ඉහළ යෑමේ තත්වය තුළ සිය ඇණවුම් ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සපයන්නන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති අතුල කළුආරච්චි කියා සිටියේ මෙතෙක් ඇණවුම් ලබාදී ඇති අය වෙනුවෙන් සියයට විස්සකින් (20%) පමණක් ගාස්තු ඉහළ නංවන බවයි.

එමෙන්ම, අමුද්‍රව්‍ය ආනයන සීමා හේතුවෙන් ඡායාරූපකරණ කටයුතුවල මිල ගණන් සියයට 40 කින් ඉහළ දැමීමට සිදුව ඇති බවද ජාතික ඡායාරූප උපදේශක සභාව මීට පෙර සදහන් කළා.

මේ අතර, වෙළදපොළේ සබන් මිල ඉහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා මගින් අනාවරණ කර තිබුණා.

මේ පිළිබදව අප සොයා බැලීමක් කළ අතර එහිදී අනාවරණ වූයේ රුපියල් 70 ක්ව පැවති රෙදි සෝදන සබන් කැටයක මිල රුපියල් 100 ඉක්මවා ඇති බවයි.

එමෙන්ම ළදරුවන් සදහා භාවිත කරන සබන් කැටයක මිල රුපියල් 75 සිට 175 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව ඇග ගල්වන අනෙකුත් සබන් කැටයක මිල ද රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

ඇතැම් සුපිරි වෙළදසැලවල සහ සාමාන්‍ය වෙළදසැලවල්වල මේ වන විට අලෙවි කිරීම සදහා සබන් නොමැති බවට ද වාර්තා වනවා ෴

***************************************

ඉදිරි දින කිහිපයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(24.04.2022 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 25, 26 සහ 27 යන දිනවල පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා උදෑසන 09:30 සිට පස්වරු 05:30 දක්වා කාලය තුල පැය දෙකක් (2) සහ පස්වරු 05:30 සිට රාත්‍රී 09:30 දක්වා අතර කාලය තුල පැයයි (1) මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම CC කලාප සඳහා උදෑසන 6 සිට 9 දක්වා පැය 3 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා ෴

++++++++

***************************************

තේ නිෂ්පාදන පිරිවැය 30% කින් ඉහළට

(24.04.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

මේ වසර ආරම්භයේ පටන් තේ නිෂ්පාදන පිරිවැය සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බව වතු හාම්පුතුන්ගේ සම්මේලනය පවසනවා.

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් දළු ප්‍රවාහනයට බාධා පැමිණීම ඔවුන් මුහුණ දෙන නවතම අභියෝගය බව එහි ප්‍රකාශක රොශාන් රාජදුරෙයි ප්‍රකාශ කළා.

ප්‍රවාහන දුෂ්කරතා මෙන්ම විදුලිය කප්පාදුව ද විශේෂයෙන් ප්‍රාදේශීය වතු වැවිළි සමාගම්වල මෙහෙයුම්වලට බලපා ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

රසායනික පොහොර ආනයන තහනම තේ කර්මාන්තය සදහා ඉවත් කළ ද එම තහනමට පෙර රුපියල් 30,000 ක් වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක (1) මිල මේ වන විට රුපියල් 7,50,000 දක්වා 25 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය පෙන්වා දෙන්නේ ෴

***************************************

කලු කඩයේ විකිණෙන ගෑස්

(24.04.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala)

මාස කිහිපයක පටන් පවතින ගෑස් හිඟය හේතුවෙන් මෙරට ප්‍රදේශ රැසක ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ වනවිටත් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිව දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

ජනතාවගේ එම පීඩාව දඩමීමා කර ගනිමින් ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා කළු කඩ මිලක් නියම කරමින් ගෑස් අලෙවිකරන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුවයි එම දැන්වීමක සඳහන් වු දුරකථන අංකයකට ‘හිරු සි.අයි.ඒ.’ කණ්ඩායම දුරකථන ඇමතුමක් ලබා ගත්තේ.

***************************************

ඉන්ධන මිල වැඩිවීම ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි

(24.04.2022 – 23:08 +0530 – hirunews.lk/sinhala)

යළිත් ඉන්ධන මිල වැඩිවන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනුකරන බවයි සංස්ථාවේ සභාපතිවරයා කියාසිටියේ.

මේ අතර අද (24) රාත්‍රියේ ඉන්ධන මිළ ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇති වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා ෴

***************************************

කාදිනල් හිමිපාණන්ගෙන් වතිකානුවේ සිට ප්‍රකාශයක්

(24.04.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට කිසිදු රජයකින් සාධාරණයක් ඉටුනොවීම හේතුවෙන් ජාත්‍යන්තර සහය පැතීමට සිදුවූ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ආරාධනයක් මත වතිකානුව බලා ගිය කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යාඤා වැඩසටහනක් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හෙට ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී හෙට පැවැත්වෙන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *