අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

*********************************************

අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(24.04.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සරසවි කිහිපයක මහා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් ඇතුළු 16 දෙනෙකුට අදාළව නියෝගයක් ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) ප්‍රතික්ෂේප කළා.

පොලිසිය එහිදී පෙන්වා දී තිබුණේ අද (24) පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපළවලට හානි කිරීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඒ අනුව අදාළ 16 දෙනාට සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එවැනි නියෝගයක් පැනවීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ අතර, නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් පොලිස් ආඥා පනත අනුව පියවර ගැනීමේ බලය පොලිසියට හිමි බවද ප්‍රකාශ කළා.

+++++++++

අන්තරේ පාගමන සූදානම් කොළඹ මාර්ග කිහිපයක් කළින්ම වසයි

(24.04.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරනු ලබන විරෝධතා පාගමනක් අද (24) දහවල් කොළඹ – කොටුව දුම්රියපොළ ආසන්නයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේ වෙතත් ගාලු‍ මුවදොර පිටියට පිවිසෙන මාර්ග කිහිපයක් මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ අතර රටේ පවතින ගැටළු වලට විසදුම් ඉල්ලා ගාලු‍ මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාව අද (24) 16 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ගාලු‍මුවදොර පිටියට පිවිසෙන මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් විරෝධතා පැවැත්වෙන පරිශ්‍රයට පැමිණි පුද්ගලයින් මෙන්ම දෛනික කටයුතු සඳහා පැමිණ සිටි පුද්ගලයින් අපහසුතාවට පත් වුණා.

විරෝධතා භූමියේ පිරිස අතර සිට විවිධ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදීමටද විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

මේ අතර විරෝධතාවට සමගාමීව පැවැත්වෙන උපවාසය ද අදත් ක්‍රියාත්මකයි.

+++++++++

+++++++++

ගාලුමුවදොර අවට ආරක්ෂාව තර කෙරෙයි

(24.04.2022 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාහන ධාවනයට අවහිර කර ඇති බව අප වාර්තාකරු සඳහා කළා.

මේ වනවිට ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගය පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

+++++++++

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

(24.04.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මහජන ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ගිලන්රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා, අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සහ සේවා ප්‍රවාහනය සහ සංචාරකයින් භාවිතා කරන වාහනද විරෝධතා සහ පෙළපාළිවලදී බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි බවට සහතික වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++

අන්තරේ පා ගමන අතර අගමැති නිවස ආසන්නයේ උණුසුම් තත්ත්වයක්

(24.04.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිවස ආසන්නයට පැමිණීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ පා ගමන මේ වන විට බොරැල්ල හරහා විජේරාම පාර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම පාර ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ විශ්වවිද්‍යාල සිසුන් රැදී සිටින බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.

කෙසේ වෙතත්, මෙම පා ගමන හේතුවෙන් කොළඹ – ගාලුමුවදොර පිටියට පිවිසෙන මාර්ග කිහිපයක්ම පොලිස් මාර්ග බාධක දමා වසා දමා තිබුණා.

ඔවුන්ගේ මෙම විරෝධතාවට අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට මීට පෙර පොලීසිය කටයුතු කර තිබුණා.

මීට පෙර ඔවුන් කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දෙසට ගමන් කිරීමට නියමිතව තිබූ බව සදහන්. කෙසේ වෙතත් පසුව ඔවුන් මරදාන ඔස්සේ බොරැල්ල දෙසට ගමන් ආරම්භ කළා.

+++++++++

අන්තරේ විරෝධතාව විජේරාම පාරේ අගමැති නිවස අසළින් ඉවතට

(24.04.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ සිට පා ගමනින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් බොරැල්ල – විජේරාම පාර ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිවස ආසන්නයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

එහිදී සිසුන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ද මතු වූයේ සිසුන් නිවස ආසන්නයේ තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමගයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.

කෙසේ වෙතත්, මෙම පා ගමන හේතුවෙන් කොළඹ – ගාලුමුවදොර පිටියට පිවිසෙන මාර්ග කිහිපයක්ම පොලිස් මාර්ග බාධක දමා වසා දමා තිබුණා.

ඔවුන්ගේ මෙම විරෝධතාවට අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට මීට පෙර පොලීසිය කටයුතු කර තිබුණා.

මීට පෙර ඔවුන් කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දෙසට ගමන් කිරීමට නියමිතව තිබූ බව සදහන්.

මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට රැදී සිටි එම සිසුන් විරෝධතාව දක්වා අවසන් කොට එම ස්ථානයෙන් නික්ම වන බවටයි හිරු වාර්තාකරු සදහන් කළේ.

+++++++++++

විරෝධතා පුවරුවක් වූ අගමැති නිල නිවසේ තාප්පය

(24.04.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

විජේරාම මාවතේ පිහිටි අග්‍රමාත්‍ය නිල නිවසේ තාප්පය විරෝධතාකරුවන්ගේ ‘විරෝධතා පුවරුවක්’ බවට පත්ව තිබෙනවා.

එහි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ද හුවමාරු වෙමින් පවතිනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ පා ගමන අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වී විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණියා.

එහිදි අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල තිබු මාර්ග බාධක ඉවත් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

කෙසේවෙතත් පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලා සිටි වාරණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළ නමුත් අද (24) පෙරවරුවේ මෙම පාගමනට එරෙහිව නියෝගයක් නිකුත් කෙරුණා.

+++++++++

කොළඹ කොටුව අවට තවදුරටත් මාර්ග බාධක

(24.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ පා ගමන අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිටින් ආරම්භ වී විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට පැමිණියා.

විරෝධතා පාගමන හේතුවෙන් අද (24) පෙරවරුවේ සිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට මාර්ග සහ ගාලු‍ මුවදොර පිටියට පිවිසෙන මාර්ග අවහිර කරමින් පොලිසිය පොළවට සවි කළ මාර්ග බාධක යොදා තිබුණා.

මේ හේතුවෙන් කොළඹ – කොටුව ප්‍රදේශයේ සේවා ස්ථාන වෙත රාජකාරි සඳහා පැමිණි ජනතාවට මෙන්ම, ගාලු‍ මුවදොර විරෝධතා පැවැත්වෙන ස්ථානයට යෑමට පැමිණි ජනතාවට සහ විදේශිකයින්ට ද බාධා එල්ල වුණා.

ඇතැම් ස්ථානවල පොලිසිය සහ ජනතාව අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

පා ගමනට එරෙහිව පොලිසිය ඊයේ (23) අධිකරණ නියෝගයක් ඉල්ලා සිටිය ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. එහෙත් නීති විරෝධි ක්‍රියාවක් සිදුවන්නේ නම් පොලිස් ආඥා පනත යටතේ පියවර ගැනීමේ බලය පොලිසියට හිමි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

එහෙත්, අද (24) පෙරවරුවේ මෙම පාගමනට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබුණා. එහිදි අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල තිබු මාර්ග බාධක ඉවත් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේවෙතත් අද (24) පෙරවරුවේ කොටුව පොලිසිය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ගේ පා ගමනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබුණා.

එහි දැක්වුණේ විරෝධතාකරුවන් කොටුව ජනාධිපති මාවත, යෝර්ක්වීදිය, බැංකු මාවත ඇතුලු‍ නම් කරන ලද මාර්ග ගණනාවකට ඇතුලු‍වීම අද (24) සිට හෙට (25) උදෑසන 09 දක්වා කාලය තුළ වළක්වා ඇති බවයි.

විරෝධතාව ආරම්භයට පෙර ගාලු‍ මුවදොර රැඳි සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් හට එම අධිකරණ නියෝගය කියවීමට පොලිස් නිලධාරීන් කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේවෙතත් අද (24) පස්වරු 02 ට පමණ අදාළ පා ගමන කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වුණා.

එම පා ගමන ටෙක්නිකල් මංසන්ධිය ඔස්සේ මරදාන, බොරැල්ල හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිවස දෙසට ගමන් කළා. එම නිවස ඉදිරිපිට යොදා තිබු මාර්ග බාධක ඉවත් කිරීමට සිසුන් කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු අතර, එහි තාප්පය මත විරෝධතා පාඨ ද සටහන් කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම විරෝධතාකරුවන් කළු කොඩි කිහිපයක්ද දොරටුවේ ඉහල රැදවීමටද කටයුතු කර තිබුණා.

***************************************

අදත් (24) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ

(24.04.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

පවතින ගැටලු‍වලට විසඳුම් ඉල්ලා අදත් (24) ප්‍රදේශ කිහිපය විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

විදුලි කප්පාදුව, ඉන්ධන මිල ඉහළ යාම, භාණ්ඩ මිල ඉහල යාම සහ ගෑස් හිගයට විරෝධය පලකරමින් මෙම උද්ඝෝෂණ සහ විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

හැටන්, වැලිමඩ, රත්නපුර, පස්යාල, යක්කලමුල්ල, කුරුණෑගල ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මෙම විරෝධතා පැවැත්වුණා.

හැටන් නගරයේ අද (24) දහවල් විරෝධතාවක් පැවති අතර එහිදී නගරයේ ව්‍යාපාරිකයින් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොවන ආකාරයට විරෝධතාවයේ නිරත වන ලෙසටයි.

එමෙන්ම, වැලිමඩ ප්‍රදේශයේදීද අද (24) දහවල් විරෝධතා පා ගමනක් ද පැවැත්වුණේ ජීවන වියදම ඉහල යාමට විරෝධය පල කරමින්.

සමගි ජනබලවේගය ද අද (24) පෙරවරුවේ යක්කලමුල්ල නගරයේදී විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ. හම්ඹේගමුව ප්‍රදේශවාසීන් ද අද (24) පස්වරුවේ විරෝධතාවක ද නිරත වුණේ පවතින ආර්ථික ගැටළුවලට විසදුම් ඉල්ලමින්.

එමෙන්ම, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල – පුවක්ගහපිටිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලය ආසන්නයේ විරෝධතාවක් පැවැත් වුණා. හිරු වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාකරුවන් කාර්යාලය වෙත යාමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය එය වැලැක් වූ බවයි.

මේ අතර, රටේ පවතින ගැටලු‍වලට විසඳුම් ඉල්ලා ගාලු‍මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාවට සහභාගි වීම සඳහා උදෑසන සිටම පිරිස් එක්වෙමින් සිටිනවා. ගාලුමුවදොර විරෝධතාව අද (24) ක්‍රියාත්මක වන්නේ 16 වැනි දිනටයි.

එමෙන්ම, මෙම විරෝධතාවට සමගාමීව පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය ද අදත් (24) ක්‍රියාත්මක වනවා.

මේ අතර ගාලු‍ මුවදොර අරගලයට සහය පළ කරමින් දිවයිනේ තවත් ප්‍රදේශ රැසක අදත් (24) විරෝධතා පැවැත්වුණා ෴

***************************************

උද්ඝෝෂණ විරෝධතා මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර

(24.04.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණ සහ විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ගිලන් රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා, සංචාරකයින් ගමන් කරන වාහන මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරන වාහන සඳහා බාධාවකින් තොරව ගමන් කිරීමට පහසුකම් සැළසිය යුතුයි.

ඇතැම් අවස්ථාවලදී උද්ඝෝෂකයින් විසින් ඉහත සේවාවන් සපයන වාහනවලට බාධා සිදුකර ඇති බවට වාර්තාවී ඇති බැවින්, එවැනි අවස්ථාවල උද්ඝෝෂකයින් හා සාකච්ඡා කර ගමනාගමනයට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *