අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති

*********************************************

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති

(23.04.2022 – 20:45 +0530 – hirunews.lk/sinhala)

අන්තර්වාර පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුත්තේ තමන්ගේ නායකත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංගයට සහය පළකිරීමට හෝ නව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම කෙරෙහි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැංවීමකින් තොරව ආර්ථීක ස්ථාවරත්වයක් හෝ පවතින ආර්ථීක අර්බුදයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නීතිඥ සංගමය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කරුණු 13 කින් සමන්විත යෝජනාවලිය ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවන් අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම ප්‍රධාන කොට දැක්වෙනවා.

එම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු වශයෙන් නීතිඥ සංගමය පවසන්නේ ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු බවයි.

මාස 15 ක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමල ජාතික එකඟතාවයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීම, 15 දෙනෙකුගෙන් යුත් ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක්ද ඊට ඇතුළත්.

***************************************

කොස්ගොඩ ඝාතනය ගැන තවදුරටත් විමර්ශන

(23.04.2022 – 07:05 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ – දෙල්ගහකැලේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කුරුඳු ඉඩම් සහිත ප්‍රදේශයක අතුරු මාර්ගයකදී ඔහුගේ හිසට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණා.

තරුණයා අහුන්ගල්ල – පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විවාහ වී ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි.

වෘත්තීයෙන් ධීවර කර්මාන්තයේ නිරත මෙම තරුණයා එම ස්ථානයට කිසියම් පිරිසක් විසින් කැඳවාගෙන විත් ඝාතනය කරන්නන්ට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ ෴

***************************************

ඔරංඔටං පැටවකු ජල පොකුණකට වැටී මියයයි

(23.04.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ‘ඔරන් ඔටන්’ පැටවකු සත්ත්ව කූඩුව තුළ තිබූ ජල පොකුණකට වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

ලෝකයේ අවධානය දිනා සිටින ඔරන් ඔටන් සත්ත්ව කොට්ඨාසය මේ වන විට වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටිනවා.

***************************************

උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(23.04.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

හෙම්මාතගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ නිවස වෙත ගමන් කරන මාර්ගය හරහා වැසි ජලය ගමන් කිරීමට කාණුවක් කැපීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සැකකරු විසින් පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ 54 හැවිරිදි හෙම්මාතගම – දුම්බුළුවාව ප්‍රදේශයේ පදිංචිකරු හෙම්මාතගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි අයෙක් වන අතර, ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

දුම්රියකදී කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

(23.04.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සූදානම් වූ දුම්රියක සිටි කාන්තාවක පැළඳි රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ (22) දහවල් සැකකරු රන් මාලය කොල්ලකා පලායන අවස්ථාවේ ඔහු පසුපස දුම්රිය ස්ථානයේ සිටි මගීන් ලුහුබැඳ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සොයාගත් රන් මාලය සහ පෙන්ඩන්ට් දෙකෙහි (2) වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරකට (3,50,000) ආසන්න බව සඳහන්.

කොල්ලකෑම සිදුකළ 24 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද (23) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

හෝමාගම පිටිපන සපත්තු කර්මාන්තශාලාවක ගින්නක්

(23.04.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක අද (23) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් (2) ගින්න නිවා දැමීම සඳහා යොදා ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන් ෴

***************************************

තෙල් බෙදන්න බවුසර් ඕන නැති විනාශ වන පොළොන්නරුවේ සම්පත

(23.04.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

මේ පොළොන්නරුව – කදුරුවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන ගබඩාකර බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි.

1970 දී ස්ථාපිත කෙරුණු මෙම ඉන්ධන ගබඩාව අද වන විට කිසිදු භාවිතයකින් තොරව විනාශ වෙමින් පවතිනවා.

මෙහි එකවර ඉන්ධන ලීටර් ලක්ෂ 5 ක් ගබඩා කළ හැකියි.

2014 වසර වනවිටත් භාවිතයට ගනිමින් පැවති මෙම ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය අත්හැර දමා දැනට වසර 8 කට ආසන්නයි.

ගබඩා පහසුකම් නොමැතිවීමෙන් දෛනිකව කොළඹ සිට ඉන්ධන ලීටර් ලක්ෂයක් දුම්රියෙන් මඩකලපුව දක්වා මෙම ස්ථානය පසුකරමින් තවමත් යනවා.

නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඉන්ධන ප්‍රවාහනය කෙරෙන්නේ බවුසර් මගින්.

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය මගින් ඉන්ධන ලීටර් ලක්ෂයක් රැගෙන යාම සඳහා වැයවන මුදල රුපියල් 60,000 ක් පමණයි.

බවුසර් රථයකින් ඉන්ධන ප්‍රවාහනය කරන්නේනම් ඒ සඳහා වැයවන මුදල රුපියල් 50,000 ක් වන අතර, ඉන් රැගෙන යා හැක්කේ ඉන්ධන ලීටර් 19,000 කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ජාතික සම්පත නිසි ආකාරයෙන් ප්‍ර යෝජනයට ගතහැකි පරිදි ප්‍රතිසංස්කරණය කළහොත් දැනට පවතින ඉන්ධන පෝලිම් සඳහා කදිම විසඳුමක් වන බවයි.

කදුරුවෙල ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඉන්ධන ගබඩාව නැවත ක්‍රියාත්මක කර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදාහැරීම විධිමත් කීරීමට විසඳුමක් ලබාදෙන ලෙසයි.

***************************************

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ 29 වනදා සිට

(23.04.2022 – 15:54 +0530 – hirunews.lk/sinhala)

2021 උසස් පෙළ විභාගයේ නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 29 වනදා සිට මැයි මස 10 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අයදුම්කරුවන් 4160 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් නාට්‍ය හා රංග කලාව, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත අතර, දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටින අයදුම්කරුවන් ගණන 2558 ක්.

එසේම, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් වලට අදාළ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර, එම දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ ෴

***************************************

ජම්බු ගෙඩියක් සිරවී දැරියක් මියයයි

(23.04.2022 – 20:41 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කුරුණෑගල – කොස්වත්ත – හම්මාලිය ප්‍රදේශයේ සිය සීයාගේ නිවසට නෑගම් ගිය 8 හැවිරිදි දැරියක්, ආහාරයට ගනිමින් සිටි ජම්බු ගෙඩියක් සිරවීමෙන් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇය කුරුණෑගල – දංගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි.

ජම්බු ගෙඩිය සිරවීමෙන් සිහිසුන්ව ඇද වැටුනු දැරිය කුරුණෑගල රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මිය ගොස්ව සිටි බවටයි වාර්තා වන්නේ ෴

***************************************

සබන් කැටයක මිල රුපියල් 200 ට ළංවෙයි

(24.04.2022 – 07:07 +0530 – hirunews.lk/sinhala)

දේශිය වෙලදපොලේ සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන ද්‍රව්‍ය වලට විශාල ඉල්ලුමක්.

සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන ද්‍රව්‍යයන් සදහා මේ දිනවල වෙලදපොලේ විශාල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

සබන් නිෂ්පාදන සමාගම් විසින් ඉදිරි සතිය තුල සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වල මිල ඉහල දමන බවට වෙලදුන්ට මේ වන විට කර ඇති දැනුම් දිමක් මත පාරිභෝගිකයන් විසින් මිල වැඩි වීමට ප්‍රථම සබන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන තොග රැස් කරන බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන 200% කින් පමණ ඉහල යන බවට එම සමාගම් විසින් ව්‍යාපාරිකයන්ට මේ වන විට දැනුම් දී තිබෙනවා.

++++++++++

දේශීය සම්බා සහල් හිඟයක් ?

(24.04.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා.

හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් සහල් මෝල් මගින් දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 220 ක මිලකට නිකුත් කෙරෙන බවටද වාර්තා වනවා.

මෙම මිල ඉහළ යාමත් සමග දේශීය සම්බා සහල් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේද අඩුවක් පවතින බවයි වෙළදුන් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෙළඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ දේශීය සම්බා සහල් හිඟයක් සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අද (24) දින සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

***************************************

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(24.04.2022 – 09:24 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත – තාරපේරිය- නිහිලුව ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයෙකු නිවසකට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ සැකකරු යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණ, මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තැබීම හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරු සොයා මේ වනවිටත් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

මියන්ඇල්ලේ ඉවුරෙන් ළමයෙකු ඇදවැටී මියයයි

(24.04.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසළ ඇති මියන්ඇල්ලේ ඉවුරෙන් ඇදවැටුනු 17 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කුණ්ඩසාලේ – පන්සලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා තවත් ළමයින් අටදෙනෙකු (8) සමඟ ඊයේ (23) දහවල් කාලයේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයට පැමිණ මියන්ඇල්ල නරඹමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව සඳහන්.

හදිසියේම ඇල්ලේ ඉවුරෙන් පහලට ඇද වැටී බරපතල තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පුදුකුඩිඉරිප්පුහිදී අත්අඩංගුවට

(24.04.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුදුකුඩිඉරිප්පු – මණ්ඩවිල් හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 455 ක් හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

26 හැවිරිදි සැකකරු මුලතිව් – අලම්පිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

මහවැලි සී කලාපයේ ගොවීන්ගෙන් චෝදනා

(24.04.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පොහොර සහ කෘමිනාශක ලබාදී නොමැති පසුබිමක වගා කටයුතු වෙනුවෙන් අනවශ්‍ය ලෙස ජලය නිකුත් කර ඇති බවට මහවැලි සී කලාපයේ ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටින්නේ ජලය නිකුත් නොකරන ලෙස තමන් ලිඛිතව සිදුකළ ඉල්ලීම් නොතකා නිලධාරීන් අත්තනෝමතික ලෙස ජලය නිකුත් කිරීමෙන් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය විශාල වශයෙන් අපතේ යන බවයි.

මේ අතර මෙවර දේශීය ලොකු ලූණු වගාව සියයට 90 කින් පමණ අතහැර දමා ඇති බව දඹුල්ලේ ලූණු ගොවීන් පවසනවා.

ඔවුන් කියා සිටින්නේ ඉන්ධන, පොහොර, වල්නාශක, බීජ සහ නිෂ්පාදන වියදම් අධිකවීම මීට හේතුව බවයි.

වැඩි වශයෙන් ලොකු ලූණු වගා කෙරෙන මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන් රැසක් මෙවර ලොකු ලූණු වගාවෙන් ඉවත්ව සිටිනවා.

එමෙන්ම වෑවල වැව ප්‍රදේශයේ වගා සඳහා අවශ්‍ය ජලය ළිං මගින් ලබාගන්නා අතර ඒ සඳහා අවශ්‍ය මෝටර්වලට යොදාගැනීමට ඉන්ධන ලබාගැනීමේ ගැටළුවකට ද මුහුණපා සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *