ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි

*********************************************

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි

(23.04.2022 – 21:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය සහ මෑත කාලීන දේශපාලනික කරුණු හමුවේ වූ අවිනිශ්චිතතාවය හේතුවෙන් ණය ගැටලුවලට මුහුණ දෙන රටවල් ඉන් මුදා ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අවධාරණය කරනවා.

විශේෂයෙන්ම ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වන බවයි අය පෙන්වා දෙන්නේ.

එය පෙර නොවූ විරූ ආර්ථික තත්වයක් බව මුදල් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මැල්පාස් සමඟ පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරිය පැවසුවේ වර්ධනය වී ඇති තත්ත්වයන් හමුවේ ඉහළ යන අවිනිශ්චිතතාවය හේතුවෙන් ගෝලීය ප්‍රකෘතියේ අවදානම පිළිබඳව ඉන්දියාව ද සැලකිලිමත් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සාකච්ඡා ආරම්භ වූ පසු අනෙකුත් රටවල් හා චීනය සැළකීමේදී වෙනසක් නොතිබිය යුතු බව ඉන්දියාව පවසනවා.

එරට මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය සඳහන් කලේ තමා මේ බව ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද දැනුම් දුන් බවයි.

එහිදී විනිවිදභාවය උපරිමයෙන් ආරක්ෂා විය යුතු බවද ඉන්දීය මුදල් අමාත්‍යවරිය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යාධාරයක් සැපයීමට ඇති හැකියාව විමසා බලන්නැයි තමන් ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කල බවද නිර්මලා සිතාරාමන් මහත්මිය වොෂින්ටන් නුවරදී මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ වූ පසු අනෙකුත් ඕනෑම රටකට මෙන් චීනයට ද සැලකිය යුතු බවයි ඉන්දීය මුදල් අමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ අර්බුදයට කාලෝචිත විසඳුමක් දෙන බව IMF කියයි

(23.04.2022 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වී එම පියවරට එළඹෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මුල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ.

වොෂින්ටන්හි පැවති IMF සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර, IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva සහ IMF කළමනාකාරිත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමු වූ බව එම නිවේදනයේ දැක්වෙනවා.

ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව සඳහා වූ IMF කණ්ඩායම අදාළ නියෝජිත පිරිස සමඟ IMF සහාය දක්වන වැඩසටහන් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki විසින් අද නිකුත් කළ නිවේදනය :

අප්‍රේල් 18-22 අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ IMF කණ්ඩායම IMF සහාය දක්වන වැඩසටහනක් සඳහා බලධාරීන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ වත්මන් ආර්ථික අර්බුදයේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල්වල වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි. IMF කණ්ඩායම ඔවුන්ගේ ණයහිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරත වීමට බලධාරීන්ගේ සැලැස්ම සාදරයෙන් පිළිගත්තේය.

ඉදිරියට, IMF කණ්ඩායම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇත ෴

***************************************

රටම ඉවරයි; කම්පැනි ටිකක් ලාබ ලබයි – රට මාස දෙකක් (2) දුවන්න බෑ – රතු නිවේදනයක් ! (23.04.2022)

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 186 කට ණයවර ලිපි නිකුත් කළ බව සෞඛ්‍ය ඇමති කියයි

(23.04.2022 – 07:07 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 186 ක් ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 19.2 ක ණයවර ලිපි නිකුත් කර ගැනීමට හැකිව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව පවතින ඖෂධ හිඟය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

පවතින තත්වය හමුවේ මේ වනවිට වෛද්‍ය සැපයුම් ඒකකයේ මධ්‍යම ගබඩාව තුළ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 2 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ 148 ක් ඇතුලු ඖෂධ වර්ග ගණනාවක හිඟයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා ෴

+++++++++

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක් – ඉන්දියාවේ ඖෂධ පරිත්‍යාගය ඉදිරි සතියේ දිවයිනට

(23.04.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 101 ක් ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ලබන බදාදා (27) දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එමෙන්ම ඉන්දුනීසියානු රජය විසින්ද රුපියල් මිලියන 340 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදෙන අතර, ඒවා ලබන සතියේ දිවයිනට ළඟාවීමට නියමිතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1.37 ක වෛද්‍යාධාර ලබන මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති.

එමෙන්ම තායිලන්ත රජය ද රුපියල් මිලියන 340 ක් වටිනා ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇති.

එම ඖෂධ තොගය ලබන මස පළමු සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

මීට අමතරව සිංගප්පූරු රතු කුරුස සංවිධානයද ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 340 ක් වටිනා ඖෂධ ලබාදීමට ප්‍රතිඥා දී තිබෙනවා.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා වොෂින්ටනය ගොස් සිටින මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ හදිසි ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 21.7 ක් නිදහස් කර ඇති බවයි.

මේ අතර මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තාවනවා.

රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ රුධිර ඇසුරුම්වල තොගයේ අඩුවක් පැවතුනද එය කළමනාකරණය කරගනිමින් කටයුතු කරන බවයි.

***************************************

ඩොලරයක් රුපියල් 340 යි

(23.04.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව මගින් නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (22) රුපියල් 340 ක් ලෙස සටහන් වූ අතර, එහි ගැනුම් මිල වූයේ රුපියල් 334 ක්.

එමෙන්ම වානිජ බැංකු මගින් ඩොලර් හුවමාරු සඳහා භාවිත කළේ රුපියල් 330 ත් 340 ත් අතර අනුපාතිකයක් ෴

***************************************

මාර්තු මාසයේ තේ අපනයනය පහත වැටේ

(23.04.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මාර්තු මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17 ක් වූ අතර, එය, පසුගිය වසරේ මාර්තු මාසයට වඩා කිලෝග්‍රෑම් මිලියන 2.64 ක පහත වැටීමක් බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

එමෙන්ම වසරේ මුල් මාස 3 සැළකූ විට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 63.7 ක් අපනයනය කර ඇති අතර, එය, පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 6.19 ක පහත වැටීමක් ලෙස සැළකිය හැකියි.

මේ අතර කොළඹ තේ වෙන්දේසිය සඳහා ලැබෙන තේ සැපයුම පහත වැටී ඇති අතර, පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ තේ කිලෝග්‍රෑම් මිලියන 5 ක් පමණයි ෴

***************************************

විවාහ උත්සව ශාලා ගාස්තු 40% කින් ඉහළට ?

(23.04.2022 – 11:17 +0530 – hirunews.lk/sinhala)

විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40% කින් ඉහළ දමන බවයි.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් (23) පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40% ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි ෴

***************************************

අර්බුදයන්ට විසඳුම් ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා

(23.04.2022 – 20:09 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අර්බුදයන්ට විසඳුම් ඉල්ලා අද (23) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුනා.

අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවීන් ද විරෝධතාවක නිරත වුයේ පවතින අර්බුදයන්ට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර පසුගියදා වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්, එස්. අරවින්ද් කුමාර්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණේ තලවාකැලේ ළිඳුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටයි.

***************************************

අර්බුදයෙන් ගොඩ එන්න නීතිඥ සංගමයෙන් යෝජනා 13 ක්

(23.04.2022 – 20:30 +0530 – hirunews.lk/sinhala)

රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැංවීමකින් තොරව ආර්ථීක ස්ථාවරත්වයක් හෝ පවතින ආර්ථීක අර්බුදයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නීතිඥ සංගමය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කරුණු 13 කින් සමන්විත යෝජනාවලිය ක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළා.

එම යෝජනාවන් අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ආයතන ශක්තිමත් කරමින් දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම ප්‍රධාන කොට දැක්වෙනවා.

එම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු වශයෙන් නීතිඥ සංගමය පවසන්නේ ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු බවයි.

මාස 15 ක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික එකඟතාවයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීම, 15 දෙනෙකුගෙන් යුත් ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක්.

මීට අමතරව රට තුළ පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, ණය අර්බුදය වැනි කරුණු මෙන්ම විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පොදු වැඩසටහනක් සකස් කිරීම ද නීතිඥ සංගමය යෝජනා කරනවා ෴

***************************************

ඉදිරි සතියේ සිමෙන්ති මිල ඉහළට ?

(23.04.2022 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේදී සිමෙන්ති මිල යළි ඉහළ නැංවීමට සිදුවන බව සිමෙන්ති ආනයනකරුවන් පවසනවා.

සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේල ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මේ වන විටත් රුපියල් 2350 ක මිලක පවතින සිමෙන්ති මිල යළි ඉහළ යනු ඇති බවයි.

මේ වනවිට සිමෙන්ති මිල වැඩි කළ යුතු අගය තීරණය කිරීමට අදාළ ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් ඇති බවත්, පාරිභෝගිකයින් විශාල අපහසුතාවකට පත් නොවන ආකාරයට කටයුතු කිරීමට උත්සාහා ගන්නා බවත් සිමෙන්ති ආනයනකරුවන් ප්‍රකාශ කළා.

සිමෙන්ති කොට්ටයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 2350 ක මිලකටයි.

මේ අතර අදත් (23) ගෑස් හා ඉන්ධන හිඟය හේතුවෙන් තවමත් ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.

හිඟුරක්ගොඩ – සමූපාකාර ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ගොවීන් අපහසුතාවට පත්වුණේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉන්ධන බූලීවලට ලබා ගැනීමට අවශ්‍ය කරන අවසර ලිපි සකසා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

අදාළ ඉන්ධන පිරවුම්හලේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති බවටත් ජනතාව චෝදනා කළා.

මේ අතර අදත් (23) දිවයින පුරා ඉන්ධන හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා.

පවතින තත්ත්වයට විරෝධය පාමින් බදුල්ල නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් බදුල්ල ඔරලෝසු කණුව අසල තිබූ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා.

ඉන් වෙළෙඳසැලකට සුළු හානි සිදුවූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

පොළොන්නරුව – වැලිකන්ද සේනපුර ගොවි සංවිධාන එකමුතුව වැඩිවන ඉන්ධන මිලට එරෙහිව වැලිකන්ද නගරයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් මේවන විට දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර දිවයින පුරා කලාප වශයෙන් අද (23) සහ හෙට (24) පැය තුනයි (3) මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ සැපයුමටද බාධා එල්ලවී ඇති පසුබිමක මධ්‍යම ලේ බැංකුවෙහි රුධිර ඇසුරුම්වලද හිඟයක් පවතින බවට වාර්තාවනවා.

රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *