රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23)

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23)

*********************************************

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23)

(23.04.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදු කිරීමට නියමිතයි.

ඒ පවුලේ සුසාන භූමියේදීයි.

චමින්ද ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පෙරේදා (21) පස්වරුවේ ඥාතීන් වෙත භාර දුන්නා.

මේ අතර පසුගියදා ඇතිවූ විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න බව ඊයේ (22) අධිකරණය හමුවේ අනාවරණ වුණා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත්කළ කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 04 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවයි.

සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා ෴

++++++++++++

රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය මහේස්ත්‍රාත්වරියගේ පරීක්ෂාවට – වෙඩිවැදීමෙන් මියගිය චමින්දගේ අවසන් කටයුතු අද

(23.04.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරෙනවා.

මේ අතර අදාළ සිද්ධිය වන ස්ථානයේ පැවති ඉන්ධන බවුසර් දෙක (2), ඊයේ (22) රාත්‍රියේ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

ඊයේ (22) රාත්‍රි 07:30 ට පමණ මහේස්ත්‍රාත්වරිය කෑගල්ල පොලිස් ස්ථානය භාරයේ පවතින මෙම ඉන්ධන බවුසර් දෙක (2) නිරීක්ෂණයට ලක් කළ බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම, පසුගියදා ඇතිවූ විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න බව ඊයේ (22) අධිකරණය හමුවේ අනාවරණ වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත්කළ කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 04 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවයි.

මේ අතර මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් එහි පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (22) පස්වරුවේත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන නගරයේ පසුගිය 19 වනදා පෙරවරුවේ ආරම්භ කළ මහජන විරෝධය පස්වරුව වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් බවට පත් වුණා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ පොලිසිය, අනතුරුව සිදු කළ වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් මියගිය අතර, තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.

එමෙන්ම පොලිස් නිලධාරීන් විස්සකට වැඩි පිරිසක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර රඹුක්කන – පින්නවලවත්ත – ධර්මපාල මාවත ප්‍රදේශයේ තරුණයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවනවා.

කෙසේ නමුත් රඹුක්කන සහ කෑගල්ල පොලීසිවලින් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීම්වලදී ඔවුන් සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

මේ අතර ගාලු මුවදොර ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද (23) 15 වන දිනටත් ක්‍රියාත්මකයි.

ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පිරිසක් අද (23), කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර විරෝධතා පරිශ්‍රය වෙත පැමිණියා.

++++++++++++

පැහැර ගත් බවට පැවසුණු රඹුක්කන තරුණයා සී.අයි.ඩී. භාරයට

(23.04.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පැහැරගත් බවට වාර්තා පළ වූ රඹුක්කන – පින්නවල ප්‍රදේශයේ පදිංචි තරුණයා විමර්ශන සඳහා සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔහු අද (23) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ෴

++++++++++++

රහස් පොලීසියේ 22 ක කණ්ඩායමක් රඹුක්කන සිද්ධිය ගැන විමර්ශනයේ

(23.04.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියට අදාළව මේ වනවිට ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් 22 දෙනෙකුගෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විමර්ශනය කරන බවයි.

එසේම විවිධ ලේඛන 10 ක් නඩු භාණ්ඩ ලෙස ඔවුන් භාරයට ගෙන ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

++++++++++++

බවුසරයට ගිනි තැබීමට තැත් කළ සිද්ධියට ඇප හිමිවූ තරුණයා රිමාන්ඩ්

(23.04.2022 – 19:11 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට හෝ ඊට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අදාළ තරුණයා අද (23) පස්වරුවේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් (2) මත සැකකරු මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් එම තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

රඹුක්කන සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් සමඟ සිටි තරුණයෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ ඔහු ගිනි ගනිමින් තිබූ තෙල් බවුසරය වෙත පැමිණ එහි රඳවා තිබූ අතු කැබැල්ලක් ඉවත් කර ආපසු යන ආකරයද රූගත වූ වීඩියෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගයි.

මෙම තරුණයාව නිවසේ සිටියදී නාදුනන පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවට අද (23) පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් අප අද (23) පෙරවරුවේ රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථාන වලින් කළ විමසීමකදී ඔවුන්සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් අප අදාළ තරුණයාගේ රඹුක්කන, පින්නවල වත්ත, ධර්මපාල මාවතේ නිවස වෙත ගොස් ඒ පිළිබඳව සොයා බැලුවා.

එහිදී 28 හැවිරිදි ඉන්දික ප්‍රසාද් නම් එම තරුණයාගේ මව සහ පියා සඳහන් කළේ පොලිස් නිලධාරීන් පැමිණ සිය ප්‍රත්‍රයා රැගෙන ගිය බවයි.

පසුව ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට රඹුක්කන පොලිසියට ගොස් තිබෙනවා.

මෙම සැකකරු කොළ පැහැති ටී ෂර්ටයක් සහ හමුදා කැලෑ ඇඳුමට සමාන කලිසමකින් සැරසී දුම්රිය මාර්ගය හරහා නතර කරගෙන තිබූ බවුසරයේ ඉදිරිපස ගිනි ගන්නා ස්ථානයේ රඳවා තිබූ යම් දෙයක් ඉවතට ගෙන විසිකොට එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරය පෙන්නුම් කෙරෙන ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට ද සමාජ මාධ්‍යයේ ඇතැම් වාර්තා පළව තිබූ බවයි.

ඒ අනුව, සැකකරු විමර්ශන සඳහා කොළඹට රැගෙනවිත් ඇති අතර ඔහු ආරක්ෂක අංශවලට හෝ පොලීසියට සම්බන්ධ දැයි සොයා බලා තිබෙනවා.

එහිදී තහවුරු වී ඇත්තේ ඔහු එවැනි කිසිදු සබඳතාවක් නොමැති පුද්ගලයෙකු බවටයි.

මේ අතර රඹුක්කන සිද්ධියට අදාළව මේ වනවිට ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් 22 දෙනෙකුගෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විමර්ශනය කරන බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුව නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ අදාළ විරෝධතාවට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වූ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

++++++++++++

මියගිය චමින්දගේ දේහය මිහිදන් කෙරේ

(23.04.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා. ඒ පවුලේ සුසාන භූමියේදී යි.

ඊට පෙර සිදුකෙරුණු ආගමික වතාවත් සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩම කර සිටියා.

අවසන් කටයුතු සිදුකිරීමට පෙර මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු දේශපාලනඥයින් කිහිපදෙනෙකු ද පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

++++++++++++

රඹුක්කන තරුණයා වෙනුවෙන් ගාලු මුවදොර සංකේතාත්මක අවමංගල්‍ය උත්සවයක්

(23.04.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන දී ඇති වූ නොසන්සුන්කාරී වතාවරණයේ දී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ අවසන් කටයුතුවලට සමගාමීව ගාලු‍ මුවදොර අරගල භූමියේ ද සංකේතාත්මක අවමංගල්‍ය උත්සවයක් පැවැත්වුණා.

විරෝධතාවට සහය පළ කරමින් අදත් (23) පාර්ශ්ව රැසක් එම ස්ථානයට පැමිණ සිටියා. ආබාධිත රණවිරුවන් පිරිසක් ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ද අද (23) විරෝධතාවයක නිරතවූ අතර, අනතුරුව ඔවුන් පාගමනින් පැමිණ ගාලු‍මුවදොර විරෝධතාවයට එක්ව සිටියා.

මේ අතර සිවිල් සංවිධාන 11 ක එකමුතුවෙන් සිදුකරන ‘මහජන නියෝජිතයන් වාර්ශිකව විගණනයකට ලක්කල යුතුයි’‍ යනුවෙන් මහජන පෙත්සම ජනගත කිරිම හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රධානත්වයෙන් අද (23) දහවල් සිදු කෙරුණේද ගාලු‍ මුවදොර අරගල භූමියේදියි.

මේ අතර, එහි උපවාසයක නිරත ව සිටියදී රෝගී වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් වෙනුවෙන් පසුව උපවාසයට එක් වූ පූජ්‍ය මාතර විමලරතන හිමියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ද කටයුතු කර ඇති බවයි.

***************************************

රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ සහයට පැමිණි මහින්ද දේශප්‍රිය

(23.04.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඊයේ (22) ගාලු මුවදොර පිටියට පැමිණියා.

ඔහු සිය ගමන ආරම්භ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගනිමින් අනතුරුවයි.

ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණි මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද එක්ව සිටියා.

ඒ හැඳල හන්දියටයි.

එහි ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වෙමින් පවතිනවා.

***************************************

තවත් කොවිඩ් මරණ දෙකක් (2)

(23.04.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කළ මෙම මරණ දෙකත් (2) සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,502 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ අවුරුදු 60 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවක් සහ පිරිමියෙක් ෴

+++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 40 ක්

(23.04.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 40 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,63,131 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළ මරණ 2 ක් ද අද (23) වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,502 ක් දක්වා ඉහළ ගියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *