කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !

*********************************************

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !

(23.04.2022 – 12:35 +0530 – lankaleadnews.com)

කොටියා පරාද වූ මැයි 19 දිනය තම ජීවිතයේ කනගාටුදායකම දිනය යැයි වරෙක පැවසූ නළුවෙක් අද සහරාන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පාරට බැස ඇත.

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනවල මාසයක් දෙකක් ගතවන තුරු ඇඳන් යට සැඟවී සිටි විකල්ප කල්ලි අද මේ නළුවාගේ කුරුස පා ගමන ගැන කවි කතා වැහි වස්සන්නට පටන් ගෙන තිබේ.

කෙසේ හෝ වේවා ප්‍රභාකරන් අතින් ඝාතනය වූ අයට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවට ප්‍රභාකරන්ගේ මරණය වෙනුවෙන් හඬා වැළපුණ මේ නළුවාට සහරාන් අතින් මියගිය ජනයා ගැන සිහිපත් වීම සතුටට කරුණකි.

එහෙත් අද මේ නළුවාට අවශ්‍ය වී ඇති යුක්තිය කුමක්ද?

වින්දිතයන්ට යුක්තිය අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ සහරාන්ලාගේ අන්තවාදයට එරෙහි වීමය. එහෙත් ගෝල්පේස් ගොස් නළුවා පවසන්නේ බලය ලබාගැනීමට රාජපක්ෂලා කරන බලු වැඩ රටටම පැහැදිලි බවය.

දේශපාලන අනාථයන් විසින් ගොතනු ලදුව අද ආගමික නායකයන් පවා කර තබාගෙන යන කිසිදු පදනමක් නැති ඒ මුග්ධ ප්‍රලාපයේ අරමුණ පාස්කු ප්‍රහාරයට අදාළ ම්ලේච්ඡ අන්තවාදය ගැන වචනයක් කතා නොකර, එහි වගකීම වෙනත් පාර්ශ්වයක් මත පටවමින් සහරාන්ලා ආරක්ෂා කිරීමය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අට දෙනෙකු (8) අද ජීවතුන් අතර නැත. ඊට සම්බන්ධ විශාල පිරිසක් තවම අත්අඩංගුවේ පසුවෙති. නඩු කටයුතු තවම සිදුවන අතර, මෙවැනි නඩුවක තීන්දුව දීමට වසර තුනක් (3) ගතවීම අමුතු දෙයක් නොවේ.

පාස්කු ප්‍රහාරය හා ඒ සමග බැඳුණු අන්තවාදී ජාලය ගැන ඒ දිනවල පුවත්පත් පෙරළා බැලූ නොදරුවෙකුට වුවද තොරතුරු කන්දරාවක් සොයාගත හැකිය.

ඊට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් යහපාලන රජය විසින්ම පත්කළ පාස්කු කොමිසමේ වාර්තාව තුළ දක්නට ලැබේ.

පිටු හත්සීයකට (700) වැඩි ඒ වාර්තාව තුළ බලය ලබාගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන වචනයක්වත් සඳහන් වී නැත.

වසර තුනක් (3) තිස්සේ රහස් පොලීසිය, බුද්ධි අංශ, ජනාධිපති කොමිසන් හරහා හෙළිදරව් කරගත් තොරතුරු සම්භාරයේ නැති දෙයක් නළුවා විසින් සොයාගෙන තිබේද?

එසේ නම් ඔහු කළ යුත්තේ කුරුස උස්සාගෙන නරි නාටක රඟදැක්වීම නොව තමාගේ විස්මිත සොයාගැනීම පිළිගත හැකි කරුණු කාරණා සහිතව රටට හෝ රහස් පොලීසියට ඉදිරිපත් කිරීමය.

මේ ආණ්ඩුව අන්තවාදය මැඩලීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බව සත්‍යයකි. එසේ වුවද පාස්කු ප්‍රහාරය ආණ්ඩුවේ වැඩක්ය යන වඳුරු කුණුහරපයට එයින් හිමිවන වලංගුභාවය කුමක්ද?

එසේ වුවද අභූත චෝදනා සම්බන්ධව මේ ආණ්ඩුවේ විකාරසහගත නිහඬ බව නිසාම අද ඒ මතය සැලකිය යුතු ලෙස සමාජගත කිරීමට නළුවෝ සමත්ව සිටිති. එහි ඇති බිහිසුණු කාරණය වන්නේ මේ ඇස් කන් නැති ආණ්ඩුව අපකීර්තියට පත්වීම නොව අන්තවාදයේ සැබෑ අනතුරට එයින් මනා ආරක්ෂාවක් සැපයීමය.

යම් හෙයකින් කිසියම් රජයක් මෙරට ඉස්ලාම් අන්තවාදය ගැන දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නම් ඊට එරෙහිව මුස්ලිම් ජනයාගේ නිදහස ගැන කියමින් කාටත් පෙර පාරට බහින්නේ මේ කල්ලියේම නළුවන් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ නළුවාට කවි සීපද ලියන කල්ලිය පසුගිය කාලය පුරාම සහරාන්ලාගේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියේ කෙසේද යන්න අවශ්‍ය නම් මූලාශ්‍ර සහිතව පෙන්වා දිය හැකිය.

පසුගිය කාලයේදී දේශපාලන වශයෙන් බිමට සමතලා වී සිටි මේ පිරිස වත්මන් ආණ්ඩුවේ ගොන්කම්වල පිහිටෙන් නැවත අළු ගසාදමන්නට පටන් ගෙන තිබේ.

කෙසේ හෝ වේවා මේ නළුවා රගපෑමට නම් අති දක්ෂයෙකි.

ව්‍යාජත්වය, බොරුව හා තක්කඩිකම පිරුණු ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිවලට ආදරය, අරගලය, මිනිස්කම වැනි සෝබන වචන අලවන ගොබ්බයන් පිරිසක් තාවකාලිකව මත් කිරීමට අද ඔහුගේ රංගනය සමත් වී තිබේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිටීමේ නාමයෙන්, පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් ආරක්ෂා කරන නින්දිත දේශපාලන රංගනය දෙස ඇස් නිලංකාර වී බලා සිටින අයට කිව යුත්තේ මෙපමණකි.

මේ කල්ලියේ තක්කඩි මතවාද යම් දිනක මේ රටේ ජයග්‍රහණය කළහොත් සැබෑ ජාතිවාදයේ අනතුර කෙතරම් බරපතළද යන්න නුඹලාට සියැසින්ම දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

එන්න. එතෙක් අපි අරගල වින්දනයෙන් මත් වී කවි ලියමු.

ඉසුරු ප්‍රසංග
අනාගතය අපි තරුණ ව්‍යාපාරය

***************************************

ව්‍යයවස්ථා සංශෝධන ගැන හිතන්නවත් එපා – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍යය මණ්ඩල සභික දේශප්‍රේමී ජාතික පෙරමුණ

(23.04.2022 – 09:42 +0530 – lankaleadnews.com)

දෙශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල දායකත්වය ලබා දිය යුතු බවත්ය.

නිශ්චිත කාල වකවානු සහ නිශ්චිත වැඩසටහනක් පාර්ලීමේන්තුව විසින් සකස් කර ජනතාව ඉදිරියේ තැබිය යුතු බව පවසන ඒ මහතා ජනාධිපතිධූරය අහෝසි කරන හෝ වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේත්ම නොකළ යුතු බව අවධාරණය කළේය.

‘ගෝඨා ගෝ හෝම්’ යන විරොධතාවය පිටුපස සියලු දුෂ්ඨ බලවේග ඒකාරාශී වී සිටින බව පවසන ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා එලවා දැමීමෙන් රට මුහුනදෙන බරපතල ප්‍රශ්නය විසඳ ගත හැකිනම් තම පක්ෂයද ඊට එකතු වන බව පැවසුවේය.

***************************************

21-04-2022

***************************************

පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමන්නැයි මන්ත්‍රීවරයෙකු ඉල්ලයි

(23.04.2022 – 07:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමා දිවා විවේකය සඳහා වන කාලයද ජනතා ගැටලු වලට විසඳුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් යොදා ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඊයේ (22) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ සඳහා දැනට අනුගමනය කරන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පමණක් එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා වීම මෙම තීරණය සඳහා හේතු වූ බවද කතානායකවරයා එහිදී සඳහන් කළා ෴

***************************************

ඇමති ධුරයක දිවුරුම් දුන් නසීර් අහමඩ්, මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවතට

(23.04.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නසීර් අහමද් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කළා.

එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (22) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට පෙර අමාත්‍ය නසීර් අහමද් අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඔහු 20 වන සංශෝධනයටද සහයෝගය ලබා දී තිබෙනවා.

මොහු පක්ෂයෙන් ඉවත් කිරීමට, එය මූලික හේතුවක් වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සිය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති නමුත් එය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ ෴

***************************************

මැති ඇමතිවරු අධීක්ෂණයට විද්වත් පිරිසක් අවශ්‍යයි – අස්ගිරි අනු නාහිමියන්ගෙන් ප්‍රකාශයක්

(23.04.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මැති ඇමතිවරුන් අධීක්ෂණයට විද්වත් පිරිසක් අවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක, පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් අවධාරණය කරනවා.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, උන්වහන්සේ බැහැදැකීමට ඊයේ (22) පැමිණි අවස්ථාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට මුදල් එවීම සඳහා මෙරට තුළ විශ්වසනීයත්වයක් ගොඩනැගිය යුතු බවයි ෴

***************************************

තමා සුපුරුදු සුවෙන් සිටින බව අගමැති කියයි

(23.04.2022 – 17:44 +0530 – hirunews.lk/sinhala)

තමන් සුපුරුදු සුවයෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අගමැතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

රෝගියෙකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව අසනීප තත්ත්වයකින් අගමැතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර අන්තර්වාර පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුත්තේ තමන්ගේ නායකත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංගයට සහය පළකිරීමට හෝ නව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම කෙරෙහි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැංවීමකින් තොරව ආර්ථීක ස්ථාවරත්වයක් හෝ පවතින ආර්ථීක අර්බුදයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නීතිඥ සංගමය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කරුණු 13 කින් සමන්විත යෝජනාවලිය ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවන් අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම ප්‍රධාන කොට දැක්වෙනවා.

එම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු වශයෙන් නීතිඥ සංගමය පවසන්නේ ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු බවයි.

මාස 15 ක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමල ජාතික එකඟතාවයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීම, 15 දෙනෙකුගෙන් යුත් ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක්ද ඊට ඇතුළත්.

***************************************

සජිත් විශ්‍රාම ගැනීමට සූදානමින් ?

(23.04.2022 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ජනමතයකින් තොරව ජනාධිපති ධුර හෝ අගමැති ධුර භාර ගැනීමට තමන්ට බලකරන්නේනම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන තම රජයක් යටතේ පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු සියල්ලට විසදුම් සලසන බවයි ඔහු අවධාරණය කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා අද (23) මෙම අදහස් පළ කලේ ඇඹිලිපිටියේදී පැවති ජන රැළියකට එක්වෙමින්.

තමාට වඩා වැඩියෙන් සේවයක් කළ හැකි අයෙකු වේ නම් විපක්ෂ නායක ධුරය පරිත්‍යාග කිරීමට සූදානම් බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

***************************************

පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමති ධුර

(23.04.2022 – 18:16 +0530 – hirunews.lk/sinhala)

පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව,

  1. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  2. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ෴

***************************************

පක්ෂ 11 විශ්වාසභංගයකට එක්වන ලකුණු – එන සතියේ තීරණාත්මක තීන්දුවක්

(23.04.2022 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට හෝ වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් වනවා.

ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රකාශ කළේ විපක්ෂයේ විශ්වාසභංගය පිළිබඳ එකඟත්වයක් නොමැති නම් සිය පාර්ශවය තුලින් විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙටින් අවසන් වන සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ එකොලහ (11) ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව පවතින අර්බුදකාරි තත්ත්වයට විසඳුම් ලබා ගැනීමේ සහය සඳහා විදේශීය තානාපතිවරුන් හමුවීමට ද ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් චීන තානාපතිවරයා සහ රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Neither of these two reports mention anything about all the robbing and stealing of national assets banked in foreign accounts by the family of rogues mentioned, as if the writers are in the payroll if those criminals. Here are the people that are blind to corruption and now engaged in religious and ethnic division. Despicable conspirators, divide and rule policy, must have learned from the British. GHo home, we had enough of you lot. That is waht the people are demanding. Duh!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *