සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

*********************************************

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(22.04.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala)

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (23) සෙනසුරාදා දින ABCDEFGHIJKLPQRSTUVW යන සියලුම කලාපවලට පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

හෙට (23) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුල පැය දෙකක් (2) සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයයි (1) මිනිත්තු 20 ක් වශයෙන් එම කප්පාදුව සිදුවනවා.

ලබන ඉරිදා (24) ABCDEFGHIJKLPQRSTUVW යන සියලුම කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3 ක කාලයක් පමණයි.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 05:20 දක්වා කාලය තුල පැයයි (1) මිනිත්තු 40 ක කාලයක් වශයෙන් සහ පස්වරු 05:20 සිට රාත්‍රී 09:20 දක්වා කාලය තුල පැයයි (1) මිනිත්තු 20 ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ ෴

***************************************

2021 පාර්ලිමේන්තුවේ සිදුවූ සිද්ධීන්ට අදාළ වාර්තාව කතානායකට

(22.04.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala)

2021 දෙසැම්බර් 03 සහ 04 යන දෙදින තුල පාර්ලිමේන්තු සභා ගර්භය තුල සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුල සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් වන සිද්ධීන් පිළිබඳ වන වාර්තාව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමුකර තිබෙනවා.

අදාළ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ කාර්ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කලේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියයි.

ඔහු සිය තනතුරේ අවසන් රාජකාරි ලෙස මෙම වාර්තාව කතානායකවරයා වෙත භාරදුන් බවයි නියෝජ්‍ය කතානායකවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ෴

***************************************

කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී ඉල්ලා අස්වූ සංස්ථා සභාපති නැවත කෝප් කමිටුවට

(22.04.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.

මෙලෙස එම සභාපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කැඳවා තිබූ අතර මේ සඳහා එම සංස්ථාවේ සභාපතිවරයා සහභාගී නොවන බව එදින පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මෙම සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින එනම් කෝප් කමිටුවට කැඳවීමට පෙර දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට තිබීමයි.

නමුත් මේ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යානුකූල නොමැති බවත් ඒ අනුව ඔහු නැවත කෝප් කමිටුවට කැඳවීමට කටයුතු කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුවයි මෙලෙස සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවා තිබුණේ.

විශේෂයෙන් මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ තමන් මෙම සභාපතිධූරයෙන් ඉවත් වූයේ මෙම සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ නිසාද යන්නයි.

නමුත් එය එසේ නොවන බවත් තමන් ව්‍යාපාරිකයෙකු නිසා කාර්යබහුල බැවින් මෙම සංස්ථාවෙන් ඉවත්වීමට තීරණය කළ බව මෙහිදී ඔහු සඳහන් කළා.

මෙහිදි කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මහජන මුදල් යටතේ පවතින ආයතනයක නිලධාරියෙක් ඕනෑම අවස්ථාවක කෝප් කමිටුවට කැඳවීමට හැකි බැවින් මෙසේ ඔහු කෝප් කමිටුවට කැඳවූ බවයි.

එසේම මෙම ඉල්ලා අස්වීම නිසි ක්‍රමවේදයට අනුව සිදුවී නැති බවද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

නාලක ගොඩහේවාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

(22.04.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී වැඩි දේශපාලන ස්ථාවරත්වයක් ගෙන එන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට නිර්දේශ කරමින් තමන් මීට දින දෙකකට (2) පෙර ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

එහෙත් ජනාධිපතිවරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.

***************************************

චීනයේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

(22.04.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික වී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති දුරකථන සංවාදයකදී යි.

“ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්” චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික වී තිබෙනවා.

නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, මෙරට වෙළඳ හිඟය අවම කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් චීන සංචාරකයින් ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්වුණා.

“දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා” යැයි චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

“මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා. එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන්ද අපි එක්ව කටුයතු කරන්නෙමු” යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා මෙහිදී කියා සිටියා.

චීන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කළ මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය පුද කර තිබෙනවා ෴

***************************************

චීන තානාපති පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරුන් හමුවෙයි

(23.04.2022 – 06:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුනුයි ෴

***************************************

IMF සමග සාකච්ඡා ගැන මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡාව මැයි 04

(22.04.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශයීය නිවේදන යටතේ මුදල් අමාත්‍යවරයා විසින් මැයි 04 වැනිදා සිදුකිරීමට නියමිත ප්‍රකාශයට අදාළව එදින පෙරවරු 11:00 සිට 05:30 දක්වා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියාසිටියේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වූ බවයි.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 04, 05 සහ 06 තෙදින (3) රැස්වීමට නියමිතයි.

මැයි 06 වැනිදා හැර අන් දෙදිනම (2) පෙරවරු 10 සිට 11 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

මැයි 05 වැනිදා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන අතර දිනට නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතයි.

අනතුරුව රජය ගෙනෙන යෝජනාවකට අනුව 2022 මාර්තු 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 11 පස්වරු 05:30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මැයි 05 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 05:30 දක්වා හිටපු මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකු‍ පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී තිබෙනවා.

මේ අතර කථානායකවරයා වෙත මේවන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ගේ රැස්වීමක් අප්‍රේල් 28 වැනිදා පෙරවරු 10 ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා ෴

***************************************

නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙන් ඉවතට

(22.04.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් නසීර් අහමඩ් පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රාවුෆ් හකීම් මේබව සඳහන් කළා ෴

***************************************

සතොස හාල් පෝලිම දැක හිත උණු වුණු යුදෙව්වා

(22.04.2022 – 23:42 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වැලිගම සතොස ආයතනය අසල පෝලිමක රැඳී සිටි ජනතාව දැක සංවේදී වූ ඊශ්‍රායල් ජාතික සංචාරකයකු එම පුද්ගලයින් හට වියළි සළාක ඇතුළත් පාර්සල් නොමිලේ ලබාදීමට පියවර ගත්තා.

සහන මිලට කැකුළු සහල් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිමක් වැලිගම සතොස ආයතනය අසල රැඳී සිටි අතර එම ස්ථානයෙන් මෝටර් රථයකින් ගමන් කළ ඊශ්‍රායල් ජාතිකයෙකු මෙම දිගු පෝලිම දැක මෝටර් රථය නවත්වා ජනතාව මෙතරම් දිගු පෝලිමක රැඳී සිටින ආකාරය පිළිබඳව තොරතුරු විපරම් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙහිදී සහල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි එකසිය විසිනව (129) දෙනෙකු සඳහා කැකුළු සහල් කිලෝ 5 බැගින් නොමිලේ ලබාදීමට ඊශ්‍රායල් ජාතික සංචාරකයා එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊට වැයවන සම්පූර්ණ මුදල වු රුපියල් 80,000 කට ආසන්න මුදල සතොස ආයතනය වෙත ගෙවා දැමීමට ඊශ්‍රායල් ජාතික සංචාරකයා පියවර ගත්තා.

මෙම සංචාරකයා ශ්‍රී ලාංකාවට සහ ජනතාවට විශාල ආදරයක් දක්වන අතර මීට අවුරුදු පහළොවක (15) පමණ කාලයක සිට බුදුදහම පිළිබඳව හැදැරීම සදහා ලංකාවට විටින් විට පැමිණ ඇති බව ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරා පවසා තිබෙනවා.

***************************************

අප්‍රේල් 30 සිට අනිවාර්යය වන පූර්ණ එන්නත්කරණය

(22.04.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ රට තුළ පවතින තත්වය හමුවේ යළි කොරෝනා ව්‍යාප්තියක් ඇති වුවහොතේ මෙම අර්බුදකාරී තත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම, පොදු ස්ථානවල මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමට ගත් තීරණය යළි අත්හිටුවීමට රජය ඊයේ (21) පියවර ගත්තා ෴

***************************************

තවත් කොවිඩ් මරණයක් සහ ආසාදිතයන් 50 ක් වාර්තා වෙයි

(22.04.2022 – 18:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් එක් කොරෝනා මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (21) තහවුරු කළ මෙම මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,500 ක් ලෙසටයි.

මේ අතර මෙරටින් තවත් ආසාදිතයන් 50 ක් ද වාර්තාවී තිබෙනවා.

අද (22) වාර්තා කළ මෙම ආසාදිතයන් 50 දෙනා ද සමගින් මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,63,091 ක් ලෙසටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *