පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට

*********************************************

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට

(22.04.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (22) උදෑසන රෝමය බලා පිටත්ව ගියා.

අද (22) අලුයම 05:02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 659 දරණ ගුවන් යානයෙන් උන් වහන්සේ ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් දෝහා බලා පිටත්ව ගියා.

මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිතයි .

මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටිනවා.

එම පිරිස රැගත් ගුවන් යානය උදෑසන 10:05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියා.

පසුව මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි.

කාදිනල් හිමිපාණන්ගේ මෙම විශේෂ රෝම සංචාරය සඳහා 2019 අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතව පත් වු පුද්ගලයින් 60 දෙනෙකු ගේ සමීප ඥාතීන් පිරිසක් ද එක්ව සිටිනවා.

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් අනුස්මරණ කරමින් ඊයේ (21) මීගමුව බස් නැවතුම්පොල අසලදී පැවති සැමරුම් උත්සවයකදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පාප්වහන්සේගේ දැනුම්දීම සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළා.

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදාවේ කොළඹ කතෝලික පල්ලි දෙකක් (2) සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් (3) ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල උනා.

ඊට අමතරව මඩකලපුවේ සියොන් ක්‍රිස්තියානි දේවස්ථානයට ද මෙම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් ඉලක්ක කෙරුණා.

ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාර හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් පිරිස 223 ක්.

ඊට අමතරව රටවල් 14 ක ට අයත් විදේශකයින් 46 දෙනෙකුටද මෙම ප්‍රහාරය හේතුවෙන් ජීවිතය අහිමි වුණා.

මෙලෙස මියගිය වැඩිම විදේශිකයින් පිරිසක් වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්.

ප්‍රහාරය හමුවේ මිය ගිය ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව එකොළොස් දෙනෙක් (11).

මීට අමතරව ඕලන්ද ජාතික බිලියනපතියෙකු වන අන්ඩ්‍රෙස් හොල්ෂ් ඔල්සන් (Anders Holch Povlsen) ගේ දරුවන් තිදෙනාට (3) ද මෙම ප්‍රහාරය හේතුවෙන් අකාලයේ සිය දිවි ගමනෙන් සමුගන්නට සිදු වුණා

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 269 ක්.

ඊයේ (21) දිනය වනවිට මෙම ප්‍රහාරය එල්ල කර අවුරුදු තුනක් (3) ගත වුවද මේ වනතුරුත් මෙම ප්‍රහාරයට වගකිවයුතු හෝ සැලසුම් කල කිසිවකු හෝ හඳුනාගෙන නොමැති අතර කිසිවෙකුට චෝදනා එල්ල කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වන විට බලයේ සිටි සහ ඉන්පසු බලයට පත් වූ කිසිදු රජයක් මෙතෙක් පියවර නොගැනීම ද විශේෂ සිදුවීමක්.

මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට වසර තුනක් (3) පිරීම නිමිත්තෙන් ඊයේ (21) දිනයේ දිවයින පුරා කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණා.

***************************************

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

(22.04.2022 – 11:44 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ දී සිදු වූ වෙඩිතැබීමකින් අවුරුදු 28 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොස්ගොඩ දෙල්ගහ කැලේ ප්‍රදේශයේදී මෙම මළ සිරුර හමු වූ බවටයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශනකටයුතු කොස්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

***************************************

කටාරයේ සිර දඬුවම් විඳි ශ්‍රී ලාංකිකයන් විසි දෙනෙකුට (20) නිදහස

(22.04.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් සිර දඬුවම් විඳින පුද්ගලයන් රැසකට එරට රජය මගින් රාමසාන් මාසය වෙනුවෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරට බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් විසි දෙනෙකු (20) ද නිදහස් කර ඇති අතර, ඔවුන් එරට අධිකරණය වෙත ගෙවිය යුතු මූල්‍ය දඩ මුදල්වලින් ද නිදහස් කිරීමද විශේෂත්වයක්.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා ෴

***************************************

මිරුසුවිල් දුම්රිය හරස් මගේදී කැබ් රථයක් දුම්රියේ ගැටී දරුවෙකු මරුට

(22.04.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මිරුසුවිල් දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටී අද (22) පෙරවරුවේ සිදුවූ අනතුරකින් වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී කැබ් රථයේ ගමන් ගත් එම දරුවාගේ පියා සහ සහෝදරයාද තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

දුම්රිය සංඥා නාදවද්දී මෙම කැබ් රථය දුම්රිය මාර්ගයට යොමුකර ඇති බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

***************************************

පොලිස් කැබ් රියකට ගන්දර දී ප්‍රහාරයක්

(22.04.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ගන්දර පොලිස් ස්ථානය අයත් කැබ් රථයට (21 ) දින රාත්‍රි දෙවුන්දර නගරයේදී කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී අලාභහානි කර ඇතැයි පොලිසිය පවසනවා.

ගන්දර පොලිස් ස්ථානයේ නිළධාරීන් දෙදෙනෙකු (2) රාත්‍රී -ජංගම මුර සංචාරයේ නිරතව සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරකින් එම කැබි රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදුවි තිබෙනවා.

මෙම සිද්ධිය වන අවස්ථාව වන විට ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී තිබු බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවිමට පෙර එමස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් කෑ කෝ ගසමින් මාර්ගයේ ගමන් කර ඇති බවට ද වාර්තා වනවා.

එම යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කර දෙවිනුවර ඔරලෝසු කණුව මාර්ගය දෙසට අදාළ යතුරු පැදිය නොනවත්වා ගමන් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටක් පවසන්නේ.

සිද්ධියෙන් කිසිවකුට අනතුරක් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා ෴

කෙසේ වෙතත් මෙය කවුරුන් හෝ විසින් සිදුකළාද නැතහොත් වීදුරුව ස්වභාවිකව කඩා වැටුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි ගන්දර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ෴

***************************************

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි කුඩා ඔරන්ඔටන් පැටියා වතුර වළකට වැටී මිය යයි

(22.04.2022 – 14:34 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඉතාම වටිනා ‘ඔරන් ඔටන්’ පැටවෙකු අද (22) අලුයම මිය ගොස් තිබෙනවා.

ඒ එම සත්ත්ව කුඩුවේම ජල පොකුණකට වැටීමෙන්. මේ වනවිටත් එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරමින් පවතිනවා.

ඔරන් ඔටන් යනු වඳවීමේ පියස්ස මත සිටින මුළු ලෝකයේම අවධානය දිනා සිටින සත්ත්ව කොට්ඨාසයක් වන අතර ඔවුන් මේ වනවිට ඉතාම දුර්ලබම සතුන් ලෙස සැලකෙනවා.

එවැනි සතුන් පිළිබඳ දෙහිවල සත්ත්වෝද්‍යාන බලධාරින් කටයුතු කර තිබෙන ආකාරය ඉතාම කනගාටුදායක බවයි පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේ.

මෙවැනි මාරක සහිත ස්ථානයක මේ සතුන් තැබීමත් නිසි ලෙස රැක බලා නොගැනීමත් පිළිබඳ වහාම විධිමත් විද්‍යාත්මක හා ස්වාධීන පරීක්ෂණයක් කිරීම දැන්වත් සිදු විය යුතු බවද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළා.

එයින් වැරදිකරුවන් වන සියලු දෙනාට තරා තිරම නෙබලා නිසි දඬුවම් ලබා දීම ද වහාම කළ යුත්තක් බවද එහි දී ඔහු අවධාරණය කර සිටියා.

ඔරන් ඔටන් වැඩිහිටි ගැහැණු සතා ද මීට මාස කිහිපයකට පෙර මරණයට පත්ව තිබෙනවා.

ඒ අනුව ගෙවුණු මාස 5 ඇතුළත මෙවැනි අති දුර්ලබ ඔරන් ඔටන් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

***************************************

පහරදීමකට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා ලබන 28 තෙක් රිමාන්ඩ්

(22.04.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් පිරිසක්ට පහරදී දේපල හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ඊයේ (21) පස්වරුවේ ආරච්චිකට්ටුව – නගුලෙලිය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අද (22) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

අදාල පහරදීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබූ අතර, ලොරි රථ දෙකකට (2), වෑන් රථයකට (1), යතුරුපැදි දෙකකට (2) සහ ත්‍රීරෝද රථයකට (1) හානි සිදුවී තිබුණා.

සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේ ෴

***************************************

කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 5175 දක්වා ඉහළට

(22.04.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම සඳහන් කළේ ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175 ක් දක්වා ඉහළ යන බවයි.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සමාගම දිනකට කෝටි 25 ක පාඩුවක් ලබන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

එක් (1) ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බව පෙන්වා දෙන ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසරේදී රුපියල් බිලියන 250 ක පාඩුවක් ලබා ඇති බවයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වැනිදා දක්වා අත්හිටුවීමටයි පසුගියදා තීරණය කර තිබුණේ.

එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙරටට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 1700 ක නෞකාවේ ඇති ගෑස් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබාදෙන බවයි.

මේ අතර ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් ඊයේ (21) පත්කරනු ලැබුවා.

ඒ තෙෂාර ජයසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහායි ෴

++++++++

ලිට්‍රෝ වැඩි කළ ගෑස් මිල රජය බස්සයි

(22.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 ක් දක්වා ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.

රජය ප්‍රකාශ කලේ ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

පවතින මූල්‍ය අර්බුදයත් සමග ලිට්‍රෝ සමාගම ලබන පාඩුව හමුවේ අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට සිදුවන බවයි ලිට්‍රෝ සමාගම කියා සිටියේ.

සමාගම සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සමාගම එක් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.

ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා ලිට්රෝ ගෑස් අලෙවි මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති අතර ඇතැම් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට තවදුරටත් දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, කර්මාන්තශාලා, රෝහල් ආදාහනාගාර වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

ගෑස් අර්බුදය සහ ගෑස් මිල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.

මේ අතර, දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදුවන බැවින් ඉදිරි දින 2 තුල පිරවුම් හල් තුල පවතින ඉන්ධන හිඟය පහව යනු ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවා.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වැනිදා දක්වා අත්හිටුවීමටයි පසුගියදා තීරණය කර තිබුණේ.

එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙරටට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 1700 ක නෞකාවේ ඇති ගෑස් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබාදෙන බවයි.

මේ අතර ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් ඊයේ (21) පත්කරනු ලැබුවා.

ඒ තෙෂාර ජයසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහායි.

***************************************

2021 උසස් පෙළ නර්තන සහ සංගීත විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණවලට දින නියම වෙයි

(22.04.2022 – 17:42 +0530 – hirunews.lk/sinhala)

2021 උසස් පෙළ විභාගයේ නර්තන හා සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 29 වනදා සිට මැයි මස 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *