පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

*********************************************

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

(22.04.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර සිය අසුනින් නැගිට ගියා.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම කථානායකවරයාගේ ඉල්ලිම් නොසළකා හරිමින් සභාව පවත්වාගෙන යාමට බාධා කරන බවට චෝදනා කරමින්.

කථානායකවරයා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අතරමැද අවස්ථා කිහිපයක දි තමන් සභාව කල් තබමින් සභාවෙන් ඉවත්ව යන බවට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා දිගින් දිගටම සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීම හේතුවෙන් කථානායකවරයා සභාව කල් තබමින් අසුනින් නැගිට ගියා.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් විසි එක්වන (21) ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සිය යෝජනා අද (22) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදෙනු ලැබුවා.

එම යෝජනා පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ, නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි.

එමඟින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර, බලතුලනයක් සහිතව රටේ පාලනය පවත්වාගැනීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා ෴

***************************************

ගාලු මුවදොර උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල් ගත කෙරේ

(22.04.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර විරෝධතා භූමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උන්වහන්සේ දින 5 ක කාලයක සිට උපවාසයේ නිරතවූ අතර, අද (22) පෙරවරුවේ උන්වහන්සේ ජාතික රෝහලට ගිලන් රථයකින් රැගෙන යනු ලැබුවේ තත්වය අයහපත් වීම හේතුවෙන්.

කෙසේ නමුත් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් වෙනුවට තවත් ස්වාමින් වහන්සේ දෙනමක් (2) උපවාසයට එක්වූ බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

***************************************

විජිත බේරුගොඩ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි

(22.04.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙස පසුගියදා (19) දිවුරුම් දුන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා මීට ටික මොහොතකට පෙර මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නැවත දිවුරුම් දෙනු ලැබුවා ෴

***************************************

පොහොට්ටුවේ දහයක් (10), විපක්ෂය ඇතුළත් කැබිනට් මණ්ඩලයක් ඉල්ලයි

(22.04.2022 – 12:14 +0530 – hirunews.lk/sinhala)

නිවැරදි ආර්ථික සහ දේශපාලනික වැඩපිලිවෙලකට එකඟ වන සෑම විරුද්ධ පක්ෂයකම නියෝජනයෙන් යුත් සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලයක් පත්කර අර්බුදයට විසඳුමක් ලබාදීමට කැපවන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස (10) දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

කේ.ඒ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් මෙම ලිපිය යොමුකර තිබෙනවා.

එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බරපතල ආර්ථික පරිහානියකින් පීඩා විඳින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනම් සාමුහික තීන්දුවක් ගත යුතු බවයි.

ආණ්ඩු පක්ෂය ලෙස බහුතරය ආරක්ෂා වීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නමුත්, බහුතරය අහිමිවීම සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව ප්‍රායෝගිකව පිළිගත යුතු බවද ඔවුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන් ෴

***************************************

මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වන්න – ඩලස්ගෙන් ජනපතිට සැර ලිපියක්

(22.04.2022 – 17:29 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම වහා සිදුකළ යුතු බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ ආනගතය සහ ස්ථාවර භාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවයි.

විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ බහුතර ආණ්ඩු බලය යන අතිශයින් වැදගත් මහජන වගකීම් මෙවැනි තීරණාත්මක අවස්ථාවක ආරක්ෂා කළ යුත්තේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් යටතේ බව ඔහු එමගින් සිහිපත් කරනවා.

එසේ නොකොට දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැදී සිටීමේ නග්න අපේක්ෂාවෙන් ගතානුගතික මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රමය මගින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ.

අස්වනු නෙලා ගත් පසු ගොවියෝ නිවෙස් බලා යන අතර පඹයෝ ගොවි බිම් මත ඉතිරි වන බවට වූ කියමන සිහිපත් කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රශ්න කරන්නේ පසුගිය දශක ගණනාවක විවිධ රාජ්‍ය පාලනයන් විසින් ඡන්දදායකයා හමුවේ ඉතිහාසය පුරා නැවත නැවතත් තහවුරු කළ මෙරට දේශපාලන යථාර්ථය මෙය නොවේ ද යන්නයි.

විවිධ හේතුන් මත බොහෝ දෙනා ඉතිහාසයේ එලෙස නිසොල්මන්වුව ද නූතන දූපුතුන්ගේ පරම්පරාව පඹයන් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටින බවයි ඔහු සිය ලිපියෙන් සිහිපත් කර ඇත්තේ.

ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයන් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ගත් තීරණය පැසසිය යුතු නමුත් එය ද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී අවසන්.

එම නිසා අප්‍රමාදව කළ යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හැකි සෑම පක්ෂයකම නියෝජනයකින් කුඩා කැබිනට් මණ්ඩලයක් උපරිම වශයෙන් වසරක කාලසීමාවක් සඳහා පත් කර ගැනීමයි.

රටේ ස්වෛරීභාවය සහ ජාතික සමගිය සඳහා ස්ථාවර පදනමක් සකස් කර ගැනීම මෙන්ම පොදු එකඟතාවයකින් රටේ ආර්ථික සහ දේශපාලන න්‍යාය පත්‍ර සකස් කර ගැනීම සහ නිෂ්චිත කාලවකවානුවක් තුල එය සාර්ථක කර ගැනීමේ අභියෝගය යෝජිත එම පාලනයේ ප්‍රමුඛම අරමුණ විය යුතු බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

***************************************

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක්

(22.04.2022 – 18:52 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) නිවේදනය කළා.

පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුට පමණක් එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමාවී තිබීම මෙම තීරණය සදහා හේතු වූ බවයි කථානායකවරයා නිවේදනය කළේ.

මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබන අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමානව එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොලැබෙන බවට එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයන් යොමු කරන ලද ලිඛිත හා වාචික ඉල්ලීම් පසුගිය දිනවල පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී විශේෂ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ලබන මැයි පළමු පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සිට මෙම නව ක්‍රමවේදයට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී අනුගමනය කරන නව ක්‍රමවේදය ද කථානායකවරයා සභාවට නිවේදය කළා.

කථානායකවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින් :

නිවේදනය

ගරු මන්ත්‍රීවරුනී,

පසුපෙළ මන්ත්‍රීවරයන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුට පමණක් එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමාවී තිබීම නිසා පාර්ලිමේන්තු ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබන අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සමානව එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොලැබෙන බවට එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී මෙන්ම පෞද්ගලිකව මා වෙත යොමු කරන ලද ලිඛිත හා වාචික ඉල්ලීම් 2022.03.16 හා 2022.04.08 යන දිනවල පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී විශේෂ අවධානයට යොමු කරන ලදී.

ඒ අනුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිණිස මතු දැක්වෙන මාර්ගෝපදේශ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලද බව මෙම ගරු සභාවට දැනුම්දීමට කැමැත්තෙමි :—

  1. එක් පාර්ලිමේන්තු රැස්වීම් දිනකදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10 කට පමණක් සීමා කිරීම;
  2. එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න භාර දී ඇති අනුපිළිවෙළ අනුව පළමුවැනි (1) ප්‍රශ්නයට ප්‍රමුඛතාවය ලබා දී පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන පළමුවැනි (1) දිනයේදී මුලින්ම නම් සඳහන් මන්ත්‍රීවරයන් දහදෙනා (10) ගෙන් එක් ප්‍රශ්නය බැගින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම;
  3. දෙවැනි (2) දිනයේදී ඊළඟට නම් සඳහන් මන්ත්‍රීවරයන් දහදෙනාගේ (10) ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සහ අනෙකුත් දිනයන් සඳහාද ඒ ආකාරයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම;
  4. පිළිතුරු ලබා දීම සඳහා කාලය ඉල්ලා සිටින ලද ප්‍රශ්න අදාළ මන්ත්‍රීවරයාට ඊළඟට එළඹෙන අවස්ථාවට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයේදී ඒ සඳහා යෝග්‍ය පරිදි ප්‍රමුඛතාවය ලබා දීම;
  5. මෙම නව ක්‍රමවේදය 2022 මැයි පළමු පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සිට ක්‍රියාත්මක කිරීම.

***************************************

ආබාධිත රණවිරුවන් පිරිසක් ගාලු‍මුවදොර අඛණ්ඩ සත්‍යග්‍රහයක

(22.04.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත රණවිරුවන් පිරිසක් අද (22) ගාලු‍ මුවදොර අරගල භූමියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි විසින් ආරම්භ කළ පා ගමන ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අද (22) පස්වරුවේ ළගා වුණා.

මේ අතර වෘත්තියකයන්ගේ ජාතික පෙරමුණද අද (22) විරෝධතා භුමියට පැමිණ අරගලයට සහය දැක්වූවා.

මේ අතර, රටේ අර්බුදකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව ප්‍රධාන පෙලේ සමාගම් 07 ක් අද අවධාරණය කළා. ඩයලොග්, ජෝන් කීල්ස්, හේමාස්, සී.බී.එල්, බ්‍රැන්ඩික්ස් ඇතුළු එම සමාගම් ප්‍රකාශ කර තිබුණේ ජනතා ඉල්ලීම් වෙනුවෙන් කරන අරගල වලට සහය ලබාදීමට ද සූදානම් බවයි.

***************************************

නව කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් කියයි

(22.04.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයක් සකස් කර සියලු පක්ෂ වල සහයෝගයෙන් අන්තර්වාර පාලනයක් බිහිකල යුතු බව පාරිලිමේන්තුවේ දී ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

ඔවුන් විසින් සම්පාදනය කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද 922) පෙරවරුවේ කතානායක වරයා වෙත භාරදුන්නා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *