පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

*********************************************

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

(22.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිසිය මගින් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම කොළඹ වෛද්‍ය සැපයිම් අංශය තුළ ඖෂධ වර්ග 525 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන් බව ද රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ වෛද්‍ය සැපයිම් අංශය තුළ තිබිය යුතු වෛද්‍ය සැපයිම් වලින් සියයට 50 ක තොග මේවනවිට අවසන් බවයි.

එහිදී වෛද්‍ය සැපයුම් අංශය තුළ තිබිය යුතු තොගවලින් සියයට 38.7 ක් මේ වනවිට අවසන් වී ඇති අතර, ශල්‍ය ද්‍රව්‍යවලින් සියයට 62.9 ක්ද අවසන් වී ඇති බවයි ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එම ඖෂධ අතර, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6 ක්, හෘදයාබාධ සඳහා භාවිතා කරන ඖෂධ, ජලභිතීකාවට ලබා දෙන එන්නත් වර්ග සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239 ක් මෙන්ම, අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721 ක් ඇතුළත් බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අතුල අමරසේන සඳහන් කළේ ෴

+++++++++

ඖෂධ හිඟය උග්‍ර අතට

(22.04.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික හා රජයේ රෝහල්වල මේ වනවිට උද්ගතව ඇති ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඖෂධ ආනයනකරුවන් හා සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සමග අද (22) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සාකච්ඡාවේදී නව මිල පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, ඖෂධ ආනයනය සඳහා වන ණයවර ලිපි වලට ප්‍රමුඛතාව ලබාදීමටත් කඩිනම් පියවර ගන්නා බවටත්, සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පොරොන්දු වූ බවයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ.

මේ අතර, පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දී තිබුණේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

කොළඹ වෛද්‍ය සැපයිම් අංශය තුළ ඖෂධ වර්ග 525 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන් බව ද රජයේ ඖෂධවේදින්ගේ සංගමය ප්‍රකාශ කළා.

+++++++++

ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 21.7 ක් – මුදල් ඇමති කියයි

(22.04.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 21.7 ක මුදලක් ලබාදීමට එකඟත්වය පළකර ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ වොෂිංටන් නුවරට ගොස් සිටින අතරතුර සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාව මෙම වසර මුළදී මෙරටට ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමේ කාලය දීර්ඝ කිරීමට ඉන්දීය සංචිත බැංකුව පියවර ගෙන ඇති බව මෙරට ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

***************************************

සිපෙට්කෝ පිරවුම්හල් 350 කට මේ මාසයේ ඉන්ධන නැහැ

(22.04.2022 – 09:25 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ පිරවුම්හල් 350 කට ඉන්ධන ලබාදීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කර නොමැති බව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ශාන්ත ද සිල්වා ඊයේ (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මාර්ග අවහිර කරමින් පැවති විරෝධතා නිසා ඉන්ධන බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පිරවුම්හල් රැසක ඉන්ධන හිඟයක් පවතින බවයි.

කෙසේ වෙතත්, තොග ගබඩා පර්යන්තය තුළ ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඉන්ධන තොග පවතින බැවින්, එම ඉන්ධන බෙදාහැරීමත් සමඟ, ඉදිරි දින 03 තුළ පිරවුම්හල් තුල දැනට පවතින ඉන්ධන හිඟය පහව යනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඊයේත් (21) රාත්‍රිය දක්වාම දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (21) එම ස්ථානයට පැමිණියා.

එමෙන්ම මාර්ග අවහිර කිරීම් සහ විරෝධතා හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නතරවී තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ (21) යළි ආරම්භ කෙරුණා.

එහිදී බවුසර් 600 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්රිය පහක් මගින් ඉන්ධන ප්‍රවාහන කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා පැය විසි හතර පුරා බෙදාහැරීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

***************************************

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අධිකරණයට ?

(22.04.2022 – 09:51 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය යටතේ කොන්දොස්තරවරුන් ඉවත් කර භෞතික මුදල් හුවමාරුවකින් තොරව පෙරගෙවුම් කාඩ්පතක් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ඉල්ලා අධිකරණ කටයුතුවලට එළැඹීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ඊයේ (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් මගීන්ට බස් ගාස්තුවලට අදාළව යම් සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි බවයි.

එමෙන්ම පවතින ඩීසල් හිඟය හේතුවෙන් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය අද දිනයේදී සාමාන්‍ය ධාවනයෙන් සියයට 40 ක් දක්වා සීමා කිරීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

ආර්ථිකය ගොඩගන්න එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය

(22.04.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය හිමි වී තිබෙනවා.

වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා ගොස් සිටින මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක අචිම් ස්ටෙයිනර් මුණගැසී සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයටයි එම සහාය හිමි වි ඇත්තේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ වර්තමාන ණය අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලක් රජය වෙත සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැපවී සිටින බවයි.

ආර්ථිකයේ ඍණාත්මක ප්‍රවණතාව අවම කිරීමට සහ විශේෂයෙන් අවදානම් කාණ්ඩය ඇතුලු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට සහතික වන බවද ඔහු සඳහන් කර තිබෙනවා ෴

***************************************

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි – අලි සබ්‍රි IMF කඩඉම ජයගනියිද?

(22.04.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ‘හදිසි මූල්‍ය ආධාර සපයන ලෙස’ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින මොහොතකයි. මුදල් අමාත්‍ය සීතාරාමන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර වොෂින්ටනයේ පැවති සංවාදයේ අවධානය යොමු වූ ප්‍රධාන කාරණ අතරට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයද ඇතුලත් වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල-ලෝක බැංකු (IMF-WB) වසන්ත රැස්වීම්ට සහභාගී වීමට ඉන්දීය ඇමතිවරයා ඇමරිකානු අගනුවරට පැමිණ සිටිනවා.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නිර්මලා සීතාරාමන් මහත්මිය ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහය විය යුතු බවත්, කඩිනමින් මූල්‍ය ආධාර සැපයිය යුතු බවත්’ පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ දිගටම ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, මුදල් අමාත්‍යවරියට සහතික වූ බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රැස්වීම අතරතුර, දුෂ්කර ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති උපකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාවගේ පැසසුමට ද ලක් වුණා.

පසුගිය මාස තුන (3) තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක පමණ ආධාර ලබාදී ඇත. එයට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ඩොලර් බිලියන 1 ක ගැනුම් හිමිකම් පහසුකම්, ඩොලර් මිලියන 400 ක් ස්වැප් පහසුකමක් සහ ආසියානු නිෂ්කාශන සංගමයේ ඩොලර් මිලියන 515 ක් ආපසු ගෙවීමට කල් ලබා දීම ඇතුළත්.

ණය වාරිකයේ කොටසක් ලෙස ඩීසල්, පෙට්‍රල් සහ සහල් මේ වන විටත් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරුන් සාකච්ඡා පැවැත්වූ දිනයේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

මේ වන විට වොෂින්ටනයට ගොස් සිටින මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡාවක නිරත වුණා.

සීතාරාමන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට අමාත්‍ය අලි සබ්රිට සහතික වී තිබෙනවා.

විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය අලි සබ්රි අමාත්‍යවරයා වෙත පැවසූ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළා.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ට්විටර් සටහනක් මගින් අමාත්‍ය සීතාරාමන් කියා සිටියේ ‘සමීප මිත්‍රයෙකු සහ හොඳ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගීතාවයක් සහ සහයක් ලබා දීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකාවට සහතික වූ’ බවයි.

ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුරදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එක්සත් ජනපදයේ සංචාරයට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමු ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ආර්ථික ගැලපුම් වැඩසටහන සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ඉන්දියාවට සහය විය හැකි ආකාරය පිළිබඳව මහ කොමසාරිස්වරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡා කර තිබෙනවා.

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවට සිය ණය තිරසර මාවතක් කරා ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන්නේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මේ අතරතුරයි.

සුවිශේෂී මූල්‍ය ආධාරයකින් හෝ පැහැරහැරීමකින් තොරව වත්මන් සහ අනාගත ගෙවීම් වගකීම් ඉටුකිරීමට රජයකට හැකි නම්, එරට රාජ්‍ය ණය තිරසර බව සලකනු ලැබේ.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බවද එම අරමුදල සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍ය අලී සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙතින් හදිසි මූල්‍ය උපකාරයක් (RFI) සඳහා ඉල්ලීමක් කල අතර, හදිසි මූල්‍ය ආධාරයක් සඳහා ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමාත්‍ය අලී සබ්රි වෙත දන්වා ඇතැ යි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ණය තිරසරභාවයේ පූර්ව කොන්දේසිය හදිසි මූල්‍යකරණය සඳහා ද අදාල වන බව යි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කේන්ද්‍රගතව ඇතැයි සිය වොෂින්ටන් සංචාරය අතරතුර බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසුවා.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනකට යොමු වීමට ද බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සකාච්ඡා කළ බවද මුදල් අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අනාවරණය කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අදාල පාර්ශ්ව සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බව අලි සබ්‍රි මහතාගේ අපේක්ෂාවයි.

මුදල් අමාත්‍ය අලි සබ්රි මීට පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විදේශීය මුලාශ්‍රයන් වෙතින් ඩොලර් බිලියන 4 ක් අපේක්ෂා කරන බව යි.

2021 වසරේ සිව්වන (4) කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,589.37 ක් වනවා. ඉන් විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,492.15 (ඇමෙරිකානු ඩොලර් බිලියන 51) ක්. 2021 දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119% ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා.

මේ වසරේ ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් 12 වනදා නිවේදනය කළා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා සිටියේ මේ අවස්ථාවේදී විදේශ ණය ආපසු ගෙවීමට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ අනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.

පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරන ලද IV වගන්තියට අදාල වාර්තාව මඟින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කළ යුතු බවට අදාල වාර්තාව නිර්දේශ කළා.

පවතින උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බව ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට වසර දෙකකට (2) පමණ පෙර සිට පෙන්වා දුන්නද ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවට චෝදනා එල්ල වනවා.

එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ආර්ථිකය ගොඩගැනීමට මාර්ග සැලැස්මක් ඉදිරිපත් කරමින් දිගින් දිගටම පවසා සිටියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බවයි ෴

***************************************

ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු තමිල්නාඩුවේ රැකවරණය පතයි

(22.04.2022 – 11:59 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පුද්ගලයින් 18 දෙනෙකු අද (22) උදෑසන බෝට්ටු මගින් ධනුෂ්කොඩි වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

මන්නාරම ප්‍රදේශයෙන් පවුල් 3 කට අයත් පුද්ගලයන් 13 දෙනෙකු, යාපනය ප්‍රදේශයෙන් එක් පවුලකට අයත් පුද්ගලයින් 4 දෙනෙකු සහ එක් (1) පුද්ගලයෙකු මෙලෙස තමිල්නාඩුව බලා ගොස් තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 42 දෙනෙකු බෝට්ටු මගින් තමිල්නාඩුව බලා පිටත්ව ගොස් ඇති අතර මෙම පිරිසත් සමග එම සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගියා ෴

ඉන්දියාවට පළාගිය ලාංකිකයන් 18 ක් එරට ආරක්ෂක අංශ භාරයට

(22.04.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට පවතින ආර්ථික අර්බුද තත්වය හේතුවෙන් ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 18 ක් එරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.

ධනුෂ්කොඩි වෙරළ තීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ ඔවුන් මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා ළමුන් පිරිසක් ද මේ අතර වන බව සඳහන් ෴

***************************************

ඉන්දියාව ලබාදුන් ඩොලර් මිලියන 400 විනිමය පහසුකමේ කාලය දීර්ඝ කෙරේ

(22.04.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමෙහි කාලය දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ අඛන්ඩ සහ බහුවිධ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි ෴

***************************************

ඉන්දියාවෙන් ගෙන්වූ සහල් සතොසෙන් සහන මිලට

(22.04.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කරන සහල් සතොස අලෙවිසැල් හරහා සහන මිලට අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 කටත්, නාඩු සහල් – කිලෝවක් රුපියල් 145 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කටත් ලබාගැනීමට හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍යාංශය කියාසිටියේ.

මෙම සහල් අලෙවි කරනු ලබන්නේ ලබාගත හැකි උපරිම ප්‍රමාණය කිලෝ 5 ක ප්‍රමාණයකට යටත්වයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *