උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’

*********************************************

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’

ලැසිල් ද සිල්වා, මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ – චමුදිත සමරවික්‍රම සමග (22.04.2022)

***************************************

රඹුක්කන ගැටුමේ විමර්ශන සඳහා පොලිස්පති අද (22) මානව හිමිකම් කොමිසමට

(22.04.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රිපුද්ගල (3) කමිටුවක් පත් කරනු ලැබුවා.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සදහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අද (22) දිනයේ එම කොමිසම හමුවට කැඳවා තිබෙනවා

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ.බි. චමින්ද ලක්ෂාන් මියගිය අතර, දේහය පිළිබද අවසන් කටයුතු අද (22) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ද ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව 2022.04.23 දින දක්වා දේවාලේගම, රඹුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබෙනු ඇති ෴

++++++++++++

රඹුක්කන සිද්ධියේදී T56 ගිනි අවි හතරක් සහ උණ්ඩ 35ක් භාවිත කර ඇති බව අධිකරණයේදී හෙළිවෙයි

(22.04.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිදුවීමට අදාළව පොලිස්පතිවරයා පත් කළ කණ්ඩායම සිදුකළ විමර්ශන වාර්තාවක් අද (22) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, සිද්ධියට අදාළ නඩුව දෙවන (2) දිනටත් කැඳවූ අවස්ථාවේදියි. සිද්ධිය වූ පසුගිය 19 වනදා පොලිසිය විසින් ටී-56 ගිනි අවි හතරක් (4) භාවිත කර ඇති බව එම වාර්තාව මගින් දක්වා තිබෙනවා.

එහිදී එම ගිනි අවි හතරෙන් උන්ඩ 35 ක් භාවිත කර ඇති බවද විමර්ශන වාර්තාවේ දැක්වෙනවා.

සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 51 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ දැක්වෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම්කාරි සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ (21) යළිත් වරක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණක් ‘ටිපෙක්ස්’ කර මකා දැමීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් සමාව ගනු ලැබුවා.

ඒ, මීට අදාළ නඩුව ඊයේ (21) කෑගල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවූ අවස්ථාවේ අගතියට පත් නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ දෙවන (2) දිනටත් කැඳවනු ලැබුවා.

එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 6 දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී සාක්ෂි සටහන් කර ගැණුනා

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයින් 43 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා නැතැයි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝග කළා.

එමෙන්ම හෙට (23) දිනම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශන කටයුතු සිදු කරන ලෙස නියෝග කල මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල ගිනිඅවි පිළිබඳ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

සිද්ධිය පිළිබඳ විමර්ශන මීට වඩා කාර්යක්ෂමව සිදු විය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අනෙක් බී-වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වරදක් කරන ලදැයි වූ චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටින අතරවාරයේ පොලිසිය විසින් ‘ටිපෙක්ස්’ කර මකා දමා තිබෙනු අධිකරණයේ දී නිරීක්ෂණයට ලක්වුණා.

එම වගන්තියේ ඇතුලත් වන්නේ ‘නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද’ යි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ වූ අතර අධිකරණය භාරයේ තිබූ එම බී-වාර්තාව අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටියා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ද පොලිසිය පොරොන්දු වුණා.

++++++++++++

විරෝධතාවලට වෙඩි තැබීමට උපදෙස් දී නැතැයි පොලිස්පති කියයි

(22.04.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

මහජන විරෝධතාවලට වෙඩි තැබීමට තමන් උපදෙස් ලබාදී නොමැති බව මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පොලිස්පතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අද (22) මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.

ඒ, එම කොමිසම කළ කැඳවීමක් අනුවයි.

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණෙන අවස්ථාවේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා.

මේ අතර රඹුක්කන සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය, අද (22) අලුයම ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

ඒ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (21) පස්වරුවේ දේහය ඥාතීන්ට භාරදීමෙන් පසුවයි.

චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) නාරන්බැද්ද – හිරිවඩුන්න ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට ගත් උත්සහයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමින් 42 හැවිරිදි චමින්ද ලක්ෂාන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී තුවාල ලැබූ 14 දෙනෙකු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් 11 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ තුන්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර, එක් අයෙකු මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.

මේ අතර රඹුක්කන සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද එම ගැටුම ඇති වූ ස්ථානයට ගොස් තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඊයේ (21) කළ නියෝගයක් අනුවයි.

එමෙන්ම සිද්ධියට අදාළ නඩුව අදත් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++

බී-වාර්තාවේ ‘ටිපෙක්ස්’ කර මකා දැමුවේ වෙඩි තැබීමට නියෝග දුන් නිලධාරියාගේ නම ද ?

(22.04.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේ වෙඩි තැබීමට අණදුන් නිලධාරියා මේවන තුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙවැනි අවස්ථාවකදී වෙඩි තැබීමට අණදීම සඳහා නීතියෙන් අවසර ඇත්තේ ජ්‍යෙෂ්ඨම නිලධාරියාට බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවල ‘ටිපෙක්ස්’ කර මකා දැමුණු කොටස් සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් ඔහු පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායකයා කියාසිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වූ හදිසි ණය ආධාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා නොමැති බවට මේවන විට හෙළිවී ඇති බවයි.

එබැවින් ඉදිරි සති කිහිපයේදී මෙරටට මුහුණදීමට සිදුවන ආර්ථික ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් තෙල් ඖෂධ සහ ආහාර සඳහා අවශ්‍ය කරන හදිසි මූල්‍ය ප්‍රතිපාදන සපයා ගත යුතු ආකාරය පිළිබඳවත් සොයා බැලිය යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියාසිටියේ යම් හෙයකින් විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුතුව ඇත්තේ මුදල් අමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවේදී සිදු කරන කතාවෙන් පසුව බවයි.

එමෙන්ම පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පටු දේශපාලන පරාමර්තවලින් බැහැරව සමස්ත පාර්ලිමේන්තුවම එක් ඒකකයක් ලෙස කටයුතු කළ යුතු බවට පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂ නායකයා වැඩිදුරටත් කියාසිටියේ 113 ක් ලබාගෙන ආණ්ඩු පිහිටුවීම මේ අවස්ථාවේ සිදු නොකළ යුත්තක් බවයි.

දැනට රට තුල උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය ගැටලු නිරාකරණය සඳහා තමන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂ ඉදිරපිත් කර ඇති විවිධ යෝජනා සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සියල්ල පිළිබඳ අවධානය යොමු කර ඒ අතරින් වඩාත් සුදුසු පියවරට එළඹීම සිදුකළ යුතු වන බවයි.

++++++++++++

වෙඩි තැබීමට නියෝග කළ බව කෑගල්ලේ හිටපු SSP පිලිගනී – තමන් උපදෙස් නොදුන් බව පොලිස්පති මානව හිමිකම් කොමිසමේදී කියයි

(22.04.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පසුගියදා ඇතිවූ විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න බව අද අධිකරණය හමුවේ අනාවරණ වුණා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත්කළ කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 04 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවයි.

සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් භාවිත කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසිය නිකුත් කළ ගිනි අවි පමණක් බවද ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියේ සිදුවීම අතරතුර බව්සරයට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයා හඳුනාගෙන තිබේද යන්නයි.

ඊට පිළිතුරු දුන් පොලිසිය කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳ හඳුනාගැනීමක් සිදුව නොමැති අතර, ප්‍රකාශ සටහන් කරගත් තුවාල ලැබූවන් අතර එවැනි අයෙකු නොසිටි බවයි.

අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේ කෑගල්ල කොට්ඨාසය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්නයි. සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ කිහිප දෙනෙකු ගිනි පෙට්ටි සහ ලයිටර් අතැතිව බවුසරයට ගිනි තැබීමට ඒ දෙසට පැමිණි බවයි.

එම අවස්ථාවේදී කඳුළු ගෑස් එල්ල කර ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කළත්, අවසානයේ එය අසාර්ථක වූ බැවින් දණහිසෙන් පහළට වෙඩි වාර කිහිපයක් තැබීමට තමන් නියෝග කළ බවයි ඔහු පැවසුවේ.

එම නියෝගය සද්භාවයෙන් සිදුකළ බවත්, මෙම සිදුවීමේදී තමන් ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකු පමණ තුවාල ලැබූ බවත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියා.

මේ අතර, රඹුක්කන විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්කාරී සිද්ධීය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අද මානව හිමිකම් කොමිසම වෙත කැඳවනු ලැබුවා.

එහිදී පැමිණ සිටි සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පොලිස්පතිවරයාට විරෝධය පළ කළ බව ද අප වාර්තාකරුවන් කියා සිටියා.

***************************************

කුඩා පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ට මූල්‍යාධාර

(22.04.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට කුඩා පරිමාණ සංචාරක ව්‍යවසායකයන් සඳහා මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි.

යුරෝපා සංගමය මගින් සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ යටතේ කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක්වූ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් එවැනි ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියනය බැගින් ලබා දීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

එහි පළමු ව්‍යවසායකයන් තිදෙනාට (3) මූල්‍යාධාර ලබාදීම ඊයේ (21) සිදු කෙරුණා.

ඒ මෙරට යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස දෙක (2) තුළ සංචාරක ක්‍ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යසායකයන් 60 දෙනෙකුට රුපියල් මිලියනය බැගින් මූල්‍ය සහය ලබාදීමට නියමිතයි ෴

***************************************

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(22.04.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

අලව්ව දුම්රිය ස්ථානය අසලදි ලොරි රථයක් දුම්රියක ගැටී සිදු වු අනතුරක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ලවී තිබෙනවා.

අද (22) පෙරවරුවේ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ලොරි රථය ගැටී ඇත්තේ අලව්ව දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයේදියි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ ෴

***************************************

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වැල්ලම්පිටියේ දී අල්ලයි

(22.04.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා,හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටිය දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) වැල්ලම්පිටිය පොලිස් වසමේ දී සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 172, හෙරොයින් ග්‍රෑම් 14 යි මිලි ග්‍රෑම් 340, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාර් රථයක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සතුව තිබී රුපියල් 410,000 ක මුදලක් ද පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *