2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

*********************************************

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

(21.04.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම, පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළවනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ෴

***************************************

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන වාර්තා ගැන කෝප් කමිටුවේදී තොරතුරු

(21.04.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තුළ 2016 වසරෙන් පසු කිසිදු මූල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස් කර නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

එම සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පරිගණක මෘදුකාංග ගැටළුවක් නිසා 2017, 2018 සහ 2019 වර්ෂවලට අදාළ දත්ත මැකී ගොස් ඇති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කර තිබෙනවා. මේ නිසා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ තොරතුරු නොමැති බවයි ඔවුන් කියා සිටියේ ෴

***************************************

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්

(21.04.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික හෙද විද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (20) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබුණා.

තමන් විසින් මීට පෙර යෝජනා කළ පරිදි හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17 ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර, සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා ෴

***************************************

අපරාධ කල්ලි නායකයෙකු වන කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

(21.04.2022 – 10:34 +0530 – hirunews.lk/sinhala)

මෝදර – මාදම්පිටිය ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කිඹුලා ඇලේ ගුණාගේ සමීපතමයෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගත් පිස්තෝලය රුසියාවේ නිෂ්පාදිත එකක් වන අතර ඒ සමග, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ දෙකක් (2) විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

ගාලුමුවදොර විරෝධතාවට සහය පළ කරමින් නෝර්වුඩ්හි වතු කම්කරුවෙකු ගසක් මත නැගී විරෝධතාවක

(21.04.2022 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවයට සහයෝගය දක්වමින් සහ රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාව අතරතුර පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් වතු කම්කරුවෙකු ගසක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ වතු යායක පිහිටි ගසක් මත නැගී 44 හැවිරිදි අයෙකු මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

ඔහුට සහය දක්වමින් තවත් වතු කම්කරුවන් පිරිසක් ද එම ප්‍රදේශයේම විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

ගාලුමුවදොර විරෝධතාවට සහය පළ කළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

(21.04.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව අතරතුර ඊට සහය පළ කරමින් ප්‍රකාශයක් ලබාදුන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

පසුගිය දා අදාළ පොලිස් සැරයන්වරයා විරෝධතාකරුවන් අතරට ගොස් ඊට සහය දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර එය සමාජ මාධ්‍ය ජාලවල ද සංසරණය වුණා.

පසුව ඔහු සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියාමාර්ග ද ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව අතරතුර ඊට සහය පළ කරමින් ප්‍රකාශයක් ලබාදුන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ශරීර ඇප 3 ක් මත මුදා හැරීමටයි පසුගියදා අධිකරණය නියෝග කළේ.

අදාළ පොලිස් සැරයන්වරයා සිරිපාගම පොලිසියේ විශේෂ රාජකාරී පදනම යටතේ රාජකාරී සිදුකර ඇති අතර එම පොලිස් ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් ගාලු මුවදොර වෙත පැමිණ ඇති බවටද අනාවරණ වුණා.

මෙම පොලිස් නිලධාරීයා කුට්ටිගල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන අතර, ඔහු 1989 වසරේ පොලීසියට එක්වූ අයෙක්.

මේ අතර, ගාලුමුවදොර විරෝධතාවය අද (21), 13 වන දිනටත් අඛන්ඩව පැවැත්වෙනවා. ඔවුන් එම ස්ථානයේ කළුකොඩි ඔසවා පාස්කු ප්‍රහාරයට සිය විරෝධය පළ කළා.

අදත් (21) විවිධ ප්‍රදේශවල ඉන්ධන මිල ඉහළ යාම, ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව තවත් විරෝධතා පැවැත්වුණා.

අම්බලන්තොට නගරයේ කළු කොඩි ඔසවා සියලු වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුණා.

ප්‍රදේශ කිහිපයක රාජ්‍ය සේවකයින් සහ බැංකු සේවකයින් ද විරෝධතාවල නිරතව සිටියා. වැලිමඩ ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් පැවති විරෝධතාවකට බීමත් පිරිසක් එක්ව තිබූ අතර, පොලීසිය මැදිහත් වී ඔවුන් විසුරුවා හරිනු ලැබුවා.

එමෙන්ම, පන්නල ප්‍රදේශයේ මෙන්ම ගිරාඳුරුකෝට්ටේ පැවති විරෝධතාවක් අතරතුර මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගනිමින් සිට පීඩාවට පත් පිරිස් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

***************************************

ඊශ්‍රායල සිනමාකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට

(21.04.2022 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකු (20) ගෙන් සමන්විත පිරිසක්, ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ‘ආරුගම්බේ’ නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සඳහායි.

මෙම සිනමා පටය, ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශය මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ භෞතික සෞන්දර්ය, ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බවයි මෙම සිනමාකරුවන්ගේ කණ්ඩායමේ ප්‍රකාශකවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කියාසිටියේ.

විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම (Serfin) ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බව ඔහු කියසිටියා.

එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් (Film Tourism Promotion) ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට, එම රටවල සිනමාකරුවන්, සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් පිරිස ලබන මැයි මස 22 දින දක්වා මෙරට රැඳී සිටිමින් මෙම සිනමා පටයේ රූ ගත කිරීම් සිදු කිරීමට නියමිතයි.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ සිනමාකරුවන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිනමා පටයේ තවත් කොටසක් ඊශ්‍රායලය තුළ ද රූ ගත කිරීමට නියමිතයි ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් කෝප් කමිටුව හමුවට

(21.04.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන 25 වැනි සඳුදා පෙරවරු 10ට කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම‍ට අදාළව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා ෴

***************************************

නිවාස මංකොල්ල කෑ 6 ක් අල්ලයි

(22.04.2022 – 06:28 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නිවාස මංකොල්ලකෑම් සිදුකළ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකු ඊයේ (21) පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ නිවාසවල භාණ්ඩ සොරාගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී කඩුවක් හා සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක් ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පුදුකුඩිරිඉරිප්පු, කොම්බාවිල්, දේවිපුරම් හා විශ්වමඩු ප්‍රදේශයන්හි නිවාස රැසක් මංකොල්ල කා මෙලෙස රන් භාණ්ඩ හා තවත් භාණ්ඩ රැසක් කොල්ලකා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලංකාවිල් හා සෙල්වපුරම් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා ෴

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 35 ක්

(21.04.2022 – 18:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,63,041 ක් ලෙසටයි ෴

++++++++++

මුහුණු ආවරණ නීතිය නැවතත්

(21.04.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 18 වැනිදා ලහි ලහියේ ඉවත් කෙරුණු මුහුණු ආවරණ අනිවාර්ය නොවන නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ මේ වනවිට රට පුරා තැන තැන සිදුවන ජන ඒකරාශී වීම හේතුවෙන් මෙම තීරණය ආපසු කැඳවීමට පියවර ගත් බවයි.

රට පුරාම විවිධ විරෝධතාවන්ට එක්වන ජන කණ්ඩායම් මුහුණු ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් නැවතත් රට තුළ කොවිඩ් 19 වෛරස රෝග ව්‍යාප්තිය හිස එසවීමේ අවදානමක් මේ හේතුවෙන් ඇති විය හැකි බවටයි ඔවුන් අවධාරනය කරන්නේ.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අද (21) සිට අනිවාර්ය කරන බව එම නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳව දීර්ඝ ලෙස සංවාදයට බඳුන් වූ අතර, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේ මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට කර තිබූ දැනුම් දීම යළි සමාලෝචනය කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *