සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි

සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි

*********************************************

සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි

(21.04.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ, ආර්ථික අර්බුද කඩිනමින් විසඳන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක දැක්වුණේ පසුගිය 04 වැනිදා පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමුකළ යෝජනා මාලාවට සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව කණගාටුව පළ කරන බවයි.

ජීවන අර්බුදයත් සමඟ දිවා රෑ දෙකෙහි අව් වැසි නොතකා පෝලිම්වල සිටින ජනතාව සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් වගකිව යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සිය යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කරන බවත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යොමුකළ ලිපියේ දැක්වෙනවා.

පවතින අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම තුළින් අර්බුද කිසිසේත් නොවිසඳෙන බව තමන් තරයේ විශ්වාස කරන බවයි එම ලිපියේ දැක්වුණේ.

එමෙන්ම, පසුගිය 19 වැනිදා මහජන විරෝධතාවක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳවද සිය සංවේගය පළ කරන ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යළිත් එවැනි තත්ත්වයක් රට තුළ ඇති නොවීමට වගබලා යුතු බවද අවධාරණය කර සිටිනවා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනයේ ඇතුළත්ව තිබූ සාධනීය කරුණු ප්‍රයෝජනයට ගනිමින් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මහජන නියෝජිතයින් යුහුසුළුව කටයුතු කළ යුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ.

සිය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටළු පිළිබඳව අසංවේදීව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට මෙම ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවද අදාළ ලිපියේ සඳහන් ෴

+++++++++

මේ ආණ්ඩුව මහනායක හාමුදුරුවෝ පිළිගන්නෙත් නෑ – අගමැතිතුමනි යන්න වෙලාව හරි

(21.04.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මතුව ඇති වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ අගමැතිවරයාට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට ධුරයෙන් ඉවත්වන ලෙසට මහනායක නාහිමිපාණන් වහන්සේලා ද දන්වා ඇති බවයි.

එබැවින් තවදුරටත් රැඳී නොසිටි අමාත්‍ය මණ්ඩලය ද ඉවත් කර ගනිමින් ඉල්ලා අස්විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද එහිදී අදහස් පළ කළා.

උන් වහන්සේ පෙන්වා දුන්නේ අගමැතිවරයා ජාතිය ඇමතීම මගින් සිදුකරනු ලබන්නේ තවදුරටත් බලයේ රැඳී සිටීමට ගන්නා අසාර්ථක උත්සාහයක් බවයි.

පවතින අමාත්‍ය මණ්ඩලය සමග යමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවිංශ ප්‍රකාශ කළා.

***************************************

විධායක ජනපති ධූරය අහෝසි කරන යෝජනාව සජබ භාරදෙයි

(21.04.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

අද (21) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබුවා.

අනතුරුව අද (21) පෙරවරුවේ අදාළ කෙටුම්පත සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතයි.

+++++++++

***************************************

අගමැති වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙයි

(21.04.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසදීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ප්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (20) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වර්තමානයේ පවතින අර්බුදය නිර්මාණය වූයේ සියලු දේශපාලන පක්ෂ අතීතයේ ගත් තීරණ නිසා බවත් එමගින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් දක්වා නිර්මාණය වී ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබෙනවා.

අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පිරිස් නිර්දෝෂීන් ලෙස පෙනී සිටිමින් වර්තමාන රජය සියලු චෝදනා එල්ල කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත්තේ ෴

***************************************

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට

(21.04.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ යෝජනාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරු 11:30 ට මෙම හමුව පැවැත්වුණා.

රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, ආණ්ඩුවේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි වාර්ථා වන්නේ.

මේ අතර දහනව (19) වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි (20) සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

***************************************

19 බලාත්මක කිරීමේ සංශෝධන ඇතුළත් කෙටුම්පතක් කතානායකට

(21.04.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වූ සාධනීය කරුණු ඇතුළත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් විසින් හෙට කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි.

අද (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඊට අදාළ දැනුවත් කිරීම කතානායකවරයා වෙත සිදුකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.

එම පක්ෂ නායක රැස්වීමේදී සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

නව සංශෝධන සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් අද (21) කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, පක්ෂ නායක රැස්වීමට එක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ රට තුළ පවතින තත්ත්වය හමුවේ විධායකය අහෝසි කිරීම ප්‍රයෝගිකව සිදුකළ නොහැකි තත්ත්වයක් බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවටයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අද (21) පාර්ලිමේන්තුවේදීද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, විජේදාස රාජපක්ෂ සහ උදය ගම්මන්පිල අදහස් පළ කළා ෴

***************************************

හිටපු මුදල් ඇමති බැසිල් පාර්ලිමේන්තුවට

(21.04.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (21) පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමකට සහභාගී වෙමින් සිටිනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

හිටපු මුදල් ඇමතිවරයා පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත්තා.

***************************************

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ සැලසුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි – මුදල් ඇමති අලි සබ්රි

(21.04.2022 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය පවත්වනු ලබන සාකච්ඡා මූලික් වශයෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වටා කේන්ද්‍රගත වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

මුදල් අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හිදී බ්ලූම්බර්ග් (Bloomberg) රූපවාහිනී සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය අලි ෂබ්රි කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව ඉදිරි වැඩ වැඩපිළිවෙළ සැලසුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේ අභිලාෂයෙන් පසුවන කණ්ඩායම් ශ්‍රී ලංකා දූත කණ්ඩායම හමු වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් තමන් ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ඔවුන් හමු වීමට සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම සාකච්ඡා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා නීති උපදේශකයන් පත් කිරීමට ශ්‍රී ලංකාව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද ඔහු මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම සංචාරය තුළ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන සීතා රාමන් මුණගැසුණු බවත් එමෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ඇමරිකානු භාණ්ඩාගාර ඉහළ නිලධාරීන් මුණගැසුණු බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ තවත් රටවල් කිහිපයක ම නියෝජිතයින් මුණගැසීමේ අභිලාෂයෙන් පසුවන බවත් ඔහු සඳහන් කළා.

රජයේ බදු මුදල් වැඩි කිරීමේ සූදානමක් හෝ රජයේ ආදායම් තර කර ගැනීමේ සැලසුම් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ නියත වශයෙන්ම රජයේ ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාදාමයන් කරා යොමු විය යුතු බවයි.

නමුත් එය සිදු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු බවත් මේ වන විටත් ඩොලරය පා කිරීමේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්වී ඇති බවත්, ඔවුන්ගේ මුදලේ අගය පහළ වැටී උද්ධමනය ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික ආදායමෙන් 8.6% පමණ වන බදු මුදල් ආදායම අවම තරමින් 13% හෝ 14% අතර ප්‍රතිශතයක පවත්වා ගත යුතු බවත් ඔහු අවධාරණය කළා.

මෙම කාර්යය සීරුමාරුවට සිදු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව චින්තන කණ්ඩායම් සමගත්, ආර්ථිකයට අනුබද්ධ අනෙකුත් කණ්ඩායම් සමගත් සාකච්ඡා සිදුකරන බවත් එය කිරීමේ අභිලාෂය ශ්‍රී ලංකා රජයට සහ මුදල් අමාත්‍යාංශයට ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන ණය ලබා ගැනීම් සඳහා මේ වන විටත් ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ එම සාකච්ඡාවන්ට අමතරව ඉන්දියාව, චීනය, ජපානය සහ පැරිස් සමාජයේ රටවල් සමග ද ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවයි.

මෙම සාකච්ඡා හරහා ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා ඵලදායි මාවතක් පාදා හැකි බවටත් ඔහු විශ්වාසය පළ කළා.

මෙහිදී චීනයෙන් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දුන් මුදල් අමාත්‍ය අලි ශබ්රි කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලීන ඓතිහාසික මිත්‍ර සම්බන්ධතාවක් ඇති බවයි.

එමෙන්ම පසුගිය කාලසීමාව තුළ දී චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වලට වැඩි වශයෙන් ආධාර කර ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මේ මොහොතේ දී චීන රජය සමග ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙහිදී නැවත නැවතත් චීන බැංකු සමග ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නේ ද යන්න පිළිබඳව කළ විමසීමට පිළිතුරු දුන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ මූලිකවම චීන රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා හරහා ණය ලබා ගැනීම සඳහා සම්බන්ධ කර ගත හැකි බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සලකා බලන බවයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා රජය පැමිණීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවේ, රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සමඟ ඉතා ඵලදායි සාකච්ඡා වට කිහිපයක් හමාර කළ බවයි.

එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි වාර්තා වන්නේ

මෙම සාකච්ඡා වටයන්හි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා නිලධාරීන් එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ මාවතක් සිතියම්ගත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ත් එකඟ වී තිබෙනවා.

“මෙම දුෂ්කර කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට පැමිණීම සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දන වීරසිංහ ඔබට ස්තූතියි. මෙහිදී අපි ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීම සඳහා මාවතක් සිතියම්ගත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමටත් අපි භාර ගත්තෙමු” ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් සටහන් කර තිබුණා.

++++++

බදු වැඩි කරන බව මුදල් ඇමති ඇමෙරිකාවේදී කියයි

(21.04.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින බදු ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී බදු වැඩිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

++++++

+++++++

***************************************

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(21.04.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ප්‍රකාශකර ඇත්තේ විපක්ෂයේ පක්ෂ ද ඇතුලුව සියලු පක්ෂ නියෝජනය වන ආකාරයෙන් කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙසටයි.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහා නිවැරදි දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එකඟ වන විපක්ෂයේ පක්ෂ ද ඇතුළත්ව නව සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *