ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන්

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන්

*********************************************

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන්

(21.04.2022 – 22:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

එහි දැක්වෙන්නේ ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450 ක මුදල ගෙවීම කල් දැමීමට බංග්ලාදේශ රජය එකඟතාව පළ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පැවසූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලැබීමට තවත් මාස 6 ක් පමණ ගතවනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ආධාර ලැබෙන තෙක් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් ආධාර සොයා ගත යුතු බවයි.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ඊයේ (20) ශ්‍රී ලංකාවට ළඟාවී තිබෙනවා.

ඉන්දීය සහයෝගය යටතේ මාස 2 කදී විවිධ ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා චීන රජය විසින් හදිසි මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම ආධාර පිළිබඳව තොරතුරු ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වුණේ.

***************************************

තවත් ගෑස් නැව් දෙකක් (2) දින 10 ක් තුළ දිවයිනට

(21.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ඊයේ (20) ළඟා වූ නෞකාවෙන් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් 1,400 බෙදා හැරීමේ කටයුතු අද (21) ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වැඩිම ඉල්ලුමක් සහිත ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

නෞකාවේ අන්තර්ගතව තිබූ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ (20) රාත්‍රියේ සිදු කෙරුණා.

එමෙන්ම, මෙම මස තුළ තවත් ඇණවුම් කළ ගෑස් අන්තර්ගත නෞකා 02 ක් මෙරටට ළඟාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

එම නෞකා බොහෝ විට ලබන 24 සහ 26 දිනවලදී මෙරටට ළඟා වනු ඇති. එමගින් රැගෙන ඒමට නියමිත මුළු ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 8,500 ක්.

මේ අතර, දිවයින පුරා විවිධ නගරවල මාර්ග අවහිරකරමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුව ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ ඒ හේතුවෙන් ඊයේ (20) දිනයේත් ඇතැම් ඉන්ධන බවුසර් නැවත ගෙන්වා ගැනීමට සිදුවූ බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී පිරවුම්හල් තුල ඉන්ධන හිඟතාවයක් ඇති විය හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉදිරි දින දහයකට (10) ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් තොගද සති 2 කට ප්‍රමාණවත් ඩීසල් තොගද සංස්ථාව සතුව පවතින බවයි.

කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක සුපුරුදු පරිදි ඊයේත් (20) දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශවලට අදත් පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි ෴

***************************************

අදත් (21) බස් ධාවනයේ අඩුවක් – පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළ යයි

(21.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා නොමැති ප්‍රදේශවල අද (21) දිනයේ බස් රථ සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තු රුපියල් දහසත් දෙදහසත් (1000-2000) අතර ප්‍රමාණයන්ගෙන් ඉහළ දැමෙන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.

මේ අතර, හෙට (22) දිනට පෙර ඉන්ධන මිල සහ බස් ගාස්තු අඩුකිරීමක් හෝ සේවයට වාර්තා කිරීම පහසුවන ක්‍රමවේදයක් සකස් කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන සඳුදා (25) සිට රාජකාරී සඳහා වාර්තා නොකරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළා ෴

***************************************

ජනතාවගේ ගැටලු විසඳන්නැයි මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දෙයි

(21.04.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අනවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බවයි.

ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ ෴

***************************************

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ශ්‍රී ලංකාවට

(21.04.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

ඉන්දීය ණය පහසුකම යටතේ එම ‍ඩීසල් තොගය ඊයේ (20) මෙරටට පැමිණියා.

මාස දෙකකදී (2) ඉන්දීය ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනැවිත් තිබෙනවා ෴

***************************************

මහමග අවුරා සිදු කෙරෙන විරෝධතා හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය අනතුරේ

(21.04.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ඉන්ධන මිල වැඩි කිරීම සහ ජීවන වියදම ඉහළ යාම කරුණු කොටගෙන රට පුරා සිදු කෙරෙන විරෝධතා හේතුවෙන් මෙරට සංචාරයේ යෙදෙන සංචාරකයින් බොහෝ විට අපහසුතාවයන්ට පත් වන අයුරු වරින් වර වාර්තා වුණා.

මෙම විරෝධතා හේතුවෙන් රටවල් කිහිපයකම සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමටත් ඇතැම් රටවල් කටයුතු කළා.

ඒ අතරෙන් කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය ඇතුළු යුරෝපාකරයේ රටවල් බොහොමයක් ද ඔවුන්ගේ රට වැසියන්ට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන අවස්ථාවල දී උද්ඝෝෂණ සිදුවන ස්ථාන හැකිතරම් මගහැර යන ලෙසයි.

කෙසේ වෙතත් මහමග අවුරා සිදුකෙරෙන මෙම උද්ඝෝෂණ හේතුවෙන් දිවයිනට පැමිණෙන සංචාරකයින්ට එම උද්ඝෝෂණ මග හැර යෑමේ අවස්ථාව සහමුලින්ම අහිමි වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාත්‍යන්තරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රේෂණය වන්නේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ.

මීට ආසන්නම සිදුවීම් කිහිපයක් ඊයේ (20) දිනය තුළ දී වාර්තා වුණා.

ඊයේ (20) හික්කඩුව ප්‍රදේශයෙන් කොළඹ ගාල්ල මාර්ගය අවහිර කරමින් රාත්‍රී කාලයේ ටයර් දල්වා සිදුකළ විරෝධතාව හේතුවෙන් ඒ මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ සංචාරක බස් බස් රථ කීපයක්ම දැඩි අපහසුතාවයට පත්වූ බවට වාර්තා පළවුණා.

එමෙන්ම ඊයේ (20) කන්ද උඩරට තලවකැලේ ප්‍රදේශයේ දීත් මේ ආකාරයටම මාර්ගය අවුරා සිදු කළ විරෝධතාවක් හේතුවෙන් නුවරඑළිය නගරයේ සිට තලවාකැලේ දුම්රිය පොළ වෙත පැමිණි සංචාරකයින් පිරිසක් අපහසුතාවයට පත්වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා.

මේ වන විට මෙරට සංචාරක කර්මාන්තයට බලපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ කියා සිටියේ මෙවැනි ක්‍රියා හේතුවෙන් මෙරටට වැඩිම විදෙස් විනිමයක් උපයා දෙන සංචාරක කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවයි ෴

***************************************

අදත් (21) තැන තැන විරෝධතා – සහන දෙන්නැයි රජයට දැනුම් දීමක්

(21.04.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් අදත් (21) ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, බෙලිඅත්ත, හාලිඇල, මාතර, මහියංගනය, මොණරාගල, නොච්චියාගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස විරෝධතා පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර ප්‍රදේශයේදී ටිපර් රථ රියදුරන් ඉන්ධන මිල ඉහල යාමට විරෝධය පළ කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයේ නිරත වුණා.

බදුල්ල – පස්සර තුනේ කණුව ප්‍රදේශයේ ජනතාව ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව විරෝධතාවයේ නිරත වුණා.

ගාලුමුවදොර ජනාධිපති කාර්යාලයට ඉදිරිපිට මහජන විරෝධතාව අද (21), 13 වන දිනටත් පැවැත්වෙනවා.

මේ අතර, මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බවයි.

ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ ෴

***************************************

විජිත හේරත් ලිට්‍රෝ සභාපති ධුරයට

(21.04.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන විජිත හේරත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙසට පත්කර තිබෙනවා.

ඒ ලිට්‍රෝ සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහායි ෴

***************************************

ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩ සහය ලබා දෙන බවට චීනයෙන් ප්‍රතිඥා

(21.04.2022 – 21:36 +0530 – hirunews.lk/sinhala)

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (21) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් හමුවුණා.

එහිදී දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළ බවයි එම අමාත්‍යාංශය කියාසිටියේ.

චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක පිළිබඳව ද ඔහු සිහිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද ඔහු විසින් තානාපතිවරයා දැනුම්වත් කළ බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපතිවරයා සහතික වී තිබෙනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000 ක්, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව ද නිවේදනය කර තිබෙනවා.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළා.

පුද්ගල හුවමාරු, බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම, දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු වී තිබෙනවා ෴

***************************************

ඉන්ධන මිල හා ජීවන වියදම ඉහළ යෑමට ප්‍රදේශ රැසක විරෝධතා

(21.04.2022 – 23:01 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීම හා ජීවන වියදම ඉහළ යෑමට විරෝධය පළ කරමින් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී ගාලු පාර අවහිර කරමින් ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළා.

එහිදී ගමනාගමනයට බාධා එල්ලවීම හේතුවෙන් පොලිසිය විකල්ප මාර්ග ඔස්සේ වාහන ගමන් කරවීමට කටයුතු කළා.

පෙරේදා (19) සිට හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුකරන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.

ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු එම ස්ථානයට ගොස් සාකච්ඡාවක නිරත වූ අතර එහිදි සම්බන්ධ කරගත් ධීවර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක දැනුම් දුන්නේ හෙට (22) දිනයේ එම ස්ථානයට සාකච්ඡා සඳහා පැමිණෙන බවයි.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ එම විරෝධතාව තවදුරටත් පැවැත්වෙන බවයි.

ඉහළ යන ජීවන වියදමට හා රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බගවන්තලාව නගරයේද වෙළෙඳ සැල් වසා දමා උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඊට එක් වූ වතු කම්කරුවන් පැවසුවේ තමන් ලබාගන්නා වැටුපෙන් ජීවත්වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

මහියංගණය – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙණියාය මංසන්ධියෙන් බස් රථ යොදා අවහිර කර විරෝධතාවක් පැවැත්වුණා.

එහිදී මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි නිවස අසල ද පිරිසක් විරෝධතාවයේ නියැලුණා.

***************************************

ජාතික පාරිභෝගික මිල දර්ශක මාසික උද්ධමන අනුපාතය සියයට 20 සීමාව ඉක්මවයි

(21.04.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් ගණනය කරනු ලබන මාසික උද්ධමන අනුපාත වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පළමුවරට සියයට 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර උද්ධමන දර්ශක අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% සීමාව ඉක්මවා ගිය ද ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙරට උද්ධමන දර්ශකය 20% සීමාව ඉක්මවා ගිය බව වාර්තා කළ පළමු (1) අවස්ථාව මෙයයි.

ඒ අනුව පෙබරවාරි මාසයේදී 17.5% ක්ව තිබූ මෙරට උද්ධමනය අනුපාතය අප්‍රේල් මාසයේදී දැක්වෙන්නේ 21.5% ලෙසටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *