පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි

පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි

*********************************************

පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි

(21.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට (21) වසර 3 ක් ගත වනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

එමෙන්ම, කොළඹ, තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268 ක්.

තවත් 500 කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා.

අද (21) වැනි දිනෙක එල්ල වූ මෙම කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය සිහිපත් කරමින් සහ ඊට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තෙවර්ෂ (3) පූර්ණයේ ප්‍රධාන සැමරුම අද (21) පැවැත්වෙන්නේ ප්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් වන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදියි.

මෙම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති හිමිපාණන්, පූජා ප්‍රසාදීවරුන්, මහා සංඝරත්නය, ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තුවාල වූ අයගේ පවුලේ සාමාජිකයන් සහභාගිවීමට නියමිතයි.

ඉටි පන්දම් දැල්වීම සහ දේවස්ථානයේ සීනු නාද කිරීමෙන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් මෙහිදී පැවැත්වෙන්නේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම තවත් සැමරුමක් කටුවාපිටිය – ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වෙන අතර මඩකලපුව – සියෝන් දේවස්ථානයේ ද සැමරුමක් සංවිධාන කර තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඊට අදාළව පරීක්ෂණ ආකෘතීන් කිහිපයක් ක්‍රියාත්මක වූ අතර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ අතර ප්‍රධානයි.

එහි වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර චූදිතයන්ට නීතිය නිසි පරිදි ඉටුවූයේ දැයි වාද විවාද පවතිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් (3) සපිරෙන අද (21) දිනයේ මළවුන්ට යුක්තිය ඉටු වන තුරු ජීවත් වන්නවුන් උපේක්ෂාසහගතව බලා සිටින අතර යුක්තිය වෙනුවෙන් ශක්තිය ගොඩනගන බැතිමතුන්ගේ උත්සාහයට ද අදට (21) වසර 3 ක් ගත වනවා.

++++++++++++++

සියල්ල රතු පලස මත සඟවන්නට උත්සහයක් – කාදිනල් හිමි

(21.04.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් (3) සපිරෙන අද (21) දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් අදහස දක්වා සිටියා.

සාහරාන් අත් අඩංගුවට නොගැනීම තුලින් හිටපු ජනපති තම ක්‍රියාමාර්ග අත පසු කරවා ඇති බව එහිදී පෙන්වා දුන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.

වැඩිදුරටත් සඳහන් කලේ, ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා’ යයි කියමින් සහාරාන් ඇතුළු කණ්ඩායම අත් අඩංගුවයට ගැනීමට ක්‍රියා නොකිරීම කතෝලික ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වන කාරණයක් බවයි.

එසේම මේ කරුණු ගැන නෑසුණු කන් ඇතිව සිටීම කතෝලික ජනතාව හෙලා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ විනාශය පසුපස සිටියේ කවුද ? නිරන්තරයෙන් අප අසන පැනය එයමයි.

එසේම මේ අපරාධයට සම්බන්ධ වූ සියලුම දෙනාට වැඩිකල් නොගොස් දඩුවම් ලැබෙන බවද අපගේ විශ්වාශයයි.

++++++++++++++

පාස්කු ප්‍රහාරයේ තෙවර්ෂ (3) පූර්ණ සැමරුම කොච්චිකඩේ දේවස්ථානයේදී

(21.04.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට කොමිසමේ නිර්දේශ පරිදි වත්මන් අණ්ඩුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (21) පෙරවරුවේ පැවති ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින්.

පුද්ගලයන් 268 දෙනෙකුට දිවි අහිමි කරමින් 2019 වසරේ අප්‍රේල් මස 21 වන ඉරුදින කතෝලික දේවස්ථාන 03 ක සහ කොළඹ තරුපහේ හෝටල් 03 ක් ඇතුළු ස්ථාන 07 ක සිදුවූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සිහිපත් කොට උදෑසන 08:45 ට සෑම දේවස්ථානයකම සීනුව නාද කරමින් දේව මෙහෙයන් සිදුකරනු ලැබුවා.

අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ දේවස්ථානයේ පැවති සැමරුම සඳහා සර්ව ආගමික නායකයින් සහ මෙරට වතිකානු අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු විදෙස් රටවල කිහිපයක තානාපතිවරුන් ද එක්ව සිටියා.

ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කිරීම සදහා ඉටි පන්දම් දල්වමින් විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවක් එහි පැවති අතර ඉන් පසු විශේෂ දේව මෙහෙය ආරම්භවුණා.

මේ අතර බදුල්ල සෙන්බ්‍රිජ් මධ්‍යස්ථානයේදී පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් සහ වින්දිතයන්ට සෙත් පතා සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වුණා.

එමෙන්ම කළු කොඩි සහ ඉටි පන්දම් අතැතිව දේව මෙහෙයක් ද පැවති අතර පසුව එම මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.

හැටන් – ශ්‍රී කුරුස දේවස්ථානයේ ද පාස්කු ප්‍රහාරය සිහි කරමින් සීනුව නාද කිරීම සහ දේව මෙහෙයක් පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ගාලුමුවදොර අරගල භූමියේ ද පාස්කු ප්‍රහාරය සිහි කරමින් විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරනු ලැබුවා.

මඩකලපුව සියොන් දේවස්ථානයේ ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ පාස්කු ප්‍රහාරය සිහි කරමින්.

++++++++++++++

පාස්කු ප්‍රහාරය සමරමින් කටුවාපිටිය දේවස්ථානයේත් විශේෂ සැමරුමක්

(21.04.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට (21) වසර 3 ක් සපීරීමත් සමග ඉන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම වෙනුවෙන් ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය – ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද අද (21) පස්වරුවේ විශේෂ සැමරුමක් සිදු කෙරුණා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයෙන් තෙවර්ෂ (3) පූර්ණයේ ප්‍රධාන සැමරුම අද (21) පෙරවරුවේ පැවැත්වුනේ ප්‍රහාරයට ලක්වූ තවත් දේවස්ථානයක් වන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදියි.

ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී මිය ගිය පිරිස සිහිකරමින් පහන් දල්වනු ලැබුවා.

මීට අමතරව ප්‍රහාරයට ලක්වූ මඩකලපුව – සියෝන් දේවස්ථානයේ දීද සැමරුමක් සංවිධාන කර තිබුණා.

එමෙන්ම, මෙම ප්‍රධාන සැමරුමට සමගාමීව පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් අද (21) පෙරවරු 08:45 ට දිවයින පුරා සෑම දේවස්ථානයකම සීනුව නාද කරමින් දේව මෙහෙයන් පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම වින්දිතයන්ට සාධාරණය ඉටුකරමින් ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

එහි ප්‍රධාන විරෝධතාවයේ අද (21) පස්වරුවේ පැවැත්වුණේ මීගමුව නගරයේදීයි. කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට සිට විරෝධතාකරුවන් පාගමනින් මීගමුව නගරය මධ්‍යය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත වීමටයි කටයුතු කළේ.

එමෙන්ම, කටුවාපිටිය නගරයේදී කලු ඇදුමින් සැරසී ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් පැවැත්වූයේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

එසේම, පාස්තු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් අද (21) පාර්ලිමේන්තුවේදීද මිනිත්තුවක නිශ්ෂබ්දතාවයක් සිදු කළා ෴

++++++++++++++

ගාලු මුවදොර දානමය පුණ්‍ය කර්මයක්

(21.04.2022 – 19:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීම සඳහා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවත්වෙන විරෝධතා භූමියේ අද (21) දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණා.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස අනුස්මරණයට ද විරෝධතාවට එක්ව සිටි පිරිස කටයුතු කළා.

රට තුළ පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව සදහා ඊයේ (20) රාත්‍රීයෙත් ජනතාව එක්ව සිටියා.

එහිදී පසුගියදා රඹුක්කන ඇතිවූ ගැටුමෙන් මිය ගිය තරුණයා සිහිපත් කිරීමට සහ අදාළ සිද්ධියට විරෝධය දැක්වීමට ද විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබුවා.

විරෝධතාව අද (21), 13 වෙනි දිනටත් ක්‍රියාත්මක වෙද්දී, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරමින් විරෝධතාවට එක්ව සිටි පිරිස අද (21) පෙරවරුවේ කටයුතු කළා.

පාස්කු ප්‍රහාරයට තෙවසරක් ගතවීම සිහිපත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කළු කොඩි ඔසාවා ඔවුන් විරෝධය පළ කළා.

අනතුරව ගාලුමුවදොර ආසන්න බණ්ඩාරණායක පිළිරුව ආසන්නයේදී පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිංපැමිණවීම සඳහා සියක් නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් පැවැත්වුණා.

මේ අතර, ගාලු මුවදොර විරෝධතාවයට සමගාමීව අරගල භූමියේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ද අද (21), 7 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

අරගල භූමියට කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්ව අද (21) දිනය පුරා එක්ව සිටියා.

මේ අතර, ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් එහිදී මාධ්‍ය සාකච්ඡාවකට ද එක්වුණා.

මේ අතර පසුගියදා ගාලු මුවදොර විරෝධතාවට සහය පළකරමින් ප්‍රකාශයක් ලබාදුන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ සැරයන්වරයා විරෝධතා භූමියට පැමිණි පසුගිය 14 වැනිදා සිටම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

++++++++++++++

පාස්කු ප්‍රහාරය ගැන කියන අනුර

(21.04.2022 – 22:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලා ජාතික ජනබලවේගය සංවිධාන කළ පාගමනක් අද (21) මීගමුවේදී පැවැත්වුණා.

අනතුරුව එහිදී ජන රැළියක් ද පැවැත්වු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ද එක්වූ අතර ඔහු එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

++++++++++++++

බලෙන් ඉල්ලා ගත් ‘සභාවේ නිහඬතාව’

(21.04.2022 – 22:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට (21) වසර 3 ක් ගතවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පැවැත්වූවා.

එමෙන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (21) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී සිටියේ කළු ඇඳුමින් සැරසීගෙනයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *