රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

*********************************************

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

(21.04.2022 – 06:00 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද (21) අලුයම 5 සිට ඉවත් කර තිබෙනවා.

විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේයි පෙරේදා (19) රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

විරෝධතාව අතරතුර හටගත් උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 32 ක්.

මේ අතර රඹුක්කන සිද්ධිය විමර්ශනයට පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පැය 15 කට අධික කාලයක් විරෝධතාවයේ නිරතවූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය පෙරේදා (19) පස්වරුවේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී නොසන්සුන් වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක්ද එල්ල කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවත්, ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළා.

සිද්ධියෙන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගියා.

සිද්ධියෙන් මියගියේ කුරුවිටගේ දොන් චාමින්ද ලක්ෂාන් නැමැති 42 හැවිරිදි අයෙක්.

ඔහුගේ දේහය කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

++++++++++++++

පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන් හෙට මානව හිමිකම් කොමිසමට

(21.04.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (22) මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ රඹුක්කන ඇති වූ සිද්ධියට අදාළව කරුණු විමසීම සදහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැදවා ඇති බවයි.

ඒ අනුව පොලිස්පතිවරයාට අමතරව කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා, රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

++++++++++++++

රඹුක්කන නඩු කටයුත්තේදී පොලීසිය අධිකරණයෙන් සමාව ගනී

(21.04.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද (21) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේ යළි කැදවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණක් ටිපෙක්ස් කර මකා දැමීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් ඊයේ (20) සමාව ගනු ලැබුවා.

ඒ, මීට අදාළ නඩුව ඊයේ (20) කෑගල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැත්වූ අවස්ථාවේ අගතියට පත් නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

සිද්ධියෙන් පුද්ගලයෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ අතර තවත් පොලිස් නිලධාරීන් 19 දෙනෙකු ද රෝහල් ගත කෙරුණා.

එලෙස මිය ගිය 42 හැවිරිදි ‘කුරුවිටගේ දොන් චමින්ද ලක්ෂාන්’ගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) කෑගල්ල මහරෝහලේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) පොලීසිය වාර්තා 2 ක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කළා.

එක් (1) වාර්තාවක් මගින් දේපළ හානි කිරීමට අදාළව වයස අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කළ පොදු දේපළ පනත ඇතුළුව චෝදනා කිහිපයක් යටතේ කරුණු වාර්තා කර තිබූ අතර ඔහුට ඇප නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරිය පියවර ගනු ලැබුවේ.

අදාළ ගැටුම සිදුවූ සියළු ස්ථාන මෙන්ම ත්‍රිරෝද රථය ගිනි ගත් ස්ථානය මහේස්ත්‍රාත්වරිය විසින් පරීක්ෂාවට ලක් කළ අතර එය ඊයේ (20) රාත්‍රී 7 දක්වා පැවැත්වුණා.

එහිදී සාක්ෂිකරුවන් 3 දෙනෙකු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි ලබාදුන් අතර, එලෙස සාක්ෂි ලබාදුන් පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු තර්ජනය කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් එම ස්ථානයේදීම මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළා.

අද (21) දිනයේ ඊට අදාළ නියෝගයක් ලබාදෙන තුරු එම පොලිස් නිලධාරියා සිද්ධියට අදාළ විමර්ශනවලින් තාවකාලිකව ඉවත් කරන ලෙසයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න දැනුම් දුන්නේ.

අනතුරුව අධිකරණයේදී නඩු විභාගය යළි ආරම්භ වූ අතර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වන චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටින අවස්ථාවේ පොලීසිය විසින් ටිපෙක්ස් කර මකා දමා ඇති බවට අධිකරණයේ නිරීක්ෂණය වුණා.

එම වගන්තියේ ඇතුළත් වන්නේ නොසැලකිලිමත් ලෙස සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදයි.

මේ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ වූ අතර, මීට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

අනතුරු උසස් පොලිස් නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවටයි පොරොන්දු වුණේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය ඇතුළු නීතිඥවරුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගාස්තු අය කිරීමකින් තොරව පෙනී සිටියා.

මේ අතර, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (22) මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ රඹුක්කන ඇති වූ සිද්ධියට අදාළව කරුණු විමසීම සදහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැදවා ඇති බවයි.

ඒ අනුව පොලිස්පතිවරයාට අමතරව කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා, රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

++++++++++++++

රඹුක්කන සිද්දියේ විමර්ශන CID යට

(21.04.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේ නීතිවිරෝධී ජනරාශියක් විසුරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න වෙත දැනුම්දී ඇත්තේ එම පරීක්ෂණ තම දෙපාර්තමේන්තුවට ගෙන දින 3 ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබාදෙන ලෙසටයි.

රඹුක්කන සිද්ධියේදී මියගිය එම පුද්ගලයාගේ අවසන් කටයුතු නාරම්බැද්ද – හිරිවඩුන්න ප්‍රදේශයේදී හෙට (22) සිදුකිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දේහයේ අවසන් කටයුතු සිදුකරන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබාදෙන මෙන් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

++++++++++++++

රඹුක්කන සිද්ධියට පොලිසියේ තුන්දෙනෙකුට (3) ස්ථාන මාරු

(21.04.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරී සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශණනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගී වීම සඳහා අදාළ නිලධාරීන් එම ප්‍රදේශයෙන් පිටතට ස්ථාන මාරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර රඹුක්කන ප්‍රදේශයේ සිදුවීමට අදාළ විමර්ශණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

++++++

රඹුක්කන විරෝධතාවයේ දී සිදුවූ මරණය ගැන පුර්ණ විමර්ශනයක්

(21.04.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ කලහකාරී තත්ත්වයේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පූරණ විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පසුගිය 19 වන දින රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වී ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර තිබෙනවා.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන් මියගිය අතර, ඊට අදාළ විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03 ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසටයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

මරණයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතුහෙට (22) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ද ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව 2022.04.23 දින දක්වා දේවාලේගම, රඹුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබෙනු ඇති.

මේ අතර, රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම්කාරි සිද්ධියට අදාළ නඩු විභාගය අද (21) යළිත් වරක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බී-වාර්තාවේ කරුණක් ටිපෙක්ස් කර මකා දැමීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් ඊයේ (20) සමාව ගනු ලැබුවා.

ඒ, මීට අදාළ නඩුව ඊයේ (20) කෑගල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවූ අවස්ථාවේ අගතියට පත් නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

මෙවන් පසුබිමක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (22) මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා.

මේ අතර, රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ නිවසට අද (21) පෙරවරුවේ ෆීඩ්ල් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැමිණියා.

එමෙන්ම, එම නිවසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙන්ති ද පැමිණ සිටියා.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ දෙවන (2) දිනටත් කැඳවනු ලැබුවා.

එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 6 දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී සාක්ෂි සටහන් කර ගැණුනා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයින් 43 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා නැතැයි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝග කළා.

එමෙන්ම හෙට (22) දිනම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශන කටයුතු සිදු කරන ලෙස නියෝග කල මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල ගිනිඅවි පිළිබඳ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

සිද්ධිය පිළිබඳ විමර්ශන මීට වඩා කාර්යක්ෂමව සිදු විය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අනෙක් බී-වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වරදක් කරන ලදැයි වූ චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු අධිකරණයේ දී ඊයේ (20) නිරීක්ෂණයට ලක්වුණා.

එම වගන්තියේ ඇතුලත් වන්නේ නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ වූ අතර අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටියා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ද පොලිසිය පොරොන්දු වුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (22) දින එම කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

++++++++++++++

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

(21.04.2022 – 19:06 +0530 – hirunews.lk/sinhala)

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසිනුයි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ.

ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. ඩබ්ලිව්.බී.ජී.ආර්. කන්දෙවත්ත එම කොට්ඨාශයේ කොට්ඨාශ භාර නිලධාරීවරයා ලෙසට ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සිටි සහකාර පොලිස් අධිකාරී බී.එම්.එස්.බී. නවරත්න කෑගල්ල කොට්ඨාශය වෙත ද මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ ෴

++++++++++++++

රඹුක්කනදී බවුසරයට සහ ත්‍රීරෝද රථයට ගිනි තිබ්බේ කවුද?ප්‍රදේශවාසීන්ගෙන් අනාවරණයන් රැසක් (21.04.2022)

+++++++++++++

21.04.2022

+++++++++++++

“ජනතාවගේ පැත්තට තුවක්කුව හරවන්න එපා” – සරත් ෆොන්සේකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි (21.04.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *