ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

*********************************************

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

(20.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තවේ දී හෙට (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

හෙට (21) දහවල් 01:00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු සියලුම පක්ෂ නායකයින් තමාට ඉවත්වන ලෙස පවසන්නේ නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ බව කතානායකවරයා පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කළා.

ඒ අනුව සියලු පක්ෂ නායකයින් හෙට (21) එවැනි එකඟතාවකට ඒම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපතවරයා ඉවත් නොවිය යුතු යැයි පවසා ඇති බව ද වාර්තා වෙනවා ෴

***************************************

මුව ආවරණ ඉවත් කිරීම හකුළාගන්න – විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලයි

(20.04.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ විශේෂයෙන් එළිමහන් රැස්වීම්වලදී මුවආවරණ පැළඳීමට පියවර ගන්නා ලෙසයි.

එසේම කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවට උපදෙස් ලබාදෙනවා.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවා සහ ගෘහස්ථ උත්සවවලදී තවදුරටත් මුව ආවරණ පැලදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා ෴

***************************************

හොර රහසේ ඉන්දියාවෙන් ආ කහ නිසා කහ ගොවීන් ගැටලු රැසක

(20.04.2022 – 13:51 +0530 – hirunews.lk/sinhala)

හොර රහසේ ඉන්දියාවෙන් ආනයනය කරන අමු කහ කැබලි හේතුවෙන් මෙරට අමු කහ මිල පහත වැටීම නිසා තමන් අසීරුතාවට පත්ව සිටින බව දඹුල්ල සහ ඒ අවට කහ වගා කරන ගොවීන් පවසනවා.

පසුගිය වසරේ දී අමු කහ කිලෝවක් රුපියල් 700 ක මිලකට අලෙවි වුව ද එය මේ වන විට රුපියල් 80 ත්, 90 ත් අතර මිලක් දක්වා පහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ ෴

***************************************

තමුන්නාන්සේ ටොම් පචයෙක් ! වාඩිවෙනවා හාල්පාරුවා ! : සජිත් – කථානායක මැතිසබයේ හැප්පෙයි

(20.04.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ නායකයින් සියලුදෙනාම එකඟ වී, ජනාධිපතිවරයාගෙන් තනතුර අත් හරින ලෙස ඉල්ලීමක් කරන්නේ නම්, එම ඉල්ලීමට තමන් කන්දීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායක රැස්වීමේ දී සඳහන් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කර,එම ඉල්ලීම ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී සිදු කරන බවයි.

කෙසේවෙතත් දිවා ආහාරයෙන් පසුව නැවත පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වීමෙන් පසු කථානායකවරයා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී කථානායකවරයා පවසා සිටියේ, තමන් සමාජ මාධ්‍ය හරහා මේ වනවිට සංසරණය වන ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වීම පිළිබඳ කථානායකවරයාට දැනුම් දී ඇති බවට සිදුවන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවයි.

පක්ෂ නායක රැස්වීමේ දී තමන් එවැන්නක් නොපැවසූ බව, කථානායකවරයා කියා සිටියා.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සමග දැඩි වාග් ප්‍රහාරයකට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස කියා සිටියේ, කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේ දී සිදු කළ ප්‍රකාශය තමන් අකුරක් නෑර නිවැරදි ව කියා සිටි බවයි.

එයට වැරදි අර්ථකථනයක් ලබා නොදුන් බවත්, ඔහු කියා සිටියා.

***************************************

මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු (3) ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත් වෙයි

(20.04.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

තමන් සහ එම්.එස්. තවුෆික් හා ඉෂාක් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය දීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම් අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මෙම අදහස් පළ කළේ.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෙම මන්ත්‍රීවරුන් තුන් දෙනා 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී රජයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා ෴

***************************************

ජපානයේ තාක්ෂණික සේවාස්ථ රැකියා සඳහා ගිය ශ්‍රමිකයින්ට දිරි දීමනාවක්

(20.04.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ අන්තර්කාලීන තාක්ෂණික සේවාස්ථ රැකියා සඳහා පිටත්ව ගොස් එය නිම කර වසර 3 ට පසු යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සදහා රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් දිරි දීමනාවක් ලෙස ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

එම කාර්යාංශය සහ අයි.එම්. ජපන් ආයතනය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.

ඒ අනුව එක් ශ්‍රමිකයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 ට වැඩි මුදලක් දිරි දීමනා ලෙස ලබාදෙන අතර ඒ සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන 16 ක්.

මෙම ශ්‍රමිකයින් ජපානයේ රැකියාවේ නිරතව සිටි කාලය තුළ මාසිකව අදාළ මුදල් සේවකයාගේ නමින් තැන්පත් කෙරුණු අතර පසුව ඔවුන් මව් රටට ගිය පසු එම මුදල් ලබාදීම සිදුකෙරෙනවා.

ඒ අනුව අදාළ මුදල් ශ්‍රමිකයින් 15 දෙනෙකු සදහා ලබාදීමට කටයුතු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ ෴

***************************************

වගකීම් පැහැර හැරි බලධාරි වරදින් පීඩා විඳින ගම්වැසියෝ

(20.04.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්ව තිබුණත්, නිලධාරීන් වගකීම් පැහැර හැරීම හේතුවෙන් ඒවා අතරමග නතර වන අවස්ථා මෙරට බොහෝ විට දැකගත හැකියි.

එවැනි වගකීම් විරහිත නිලධාරීන් හේතුවෙන් තවදුරටත් දුක් විඳීමට සිදුව ඇති ගම්මාන කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු.

බදුලු ඔයේ තල්දෙන, මාලිගාතැන්න, අහස්මංකඩ තොටුපොළ හරහා පාලමක් නොමැතිකමින් ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානයට යොමු කළා.

ඒ, බදුලු ඔය තරණය කිරීමේදී කොහාන, තල්දෙන, කුකුරුමහන්තැන්න, 11 කණුව, ගල්ගේලන්ද ආදී එම ගම්මානවල ජනතාව මුහුණ දෙන අවදානම පෙන්වා දෙමින්.

නමුත් ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවට උදාහරණ තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති තුළින් මෙම තත්ත්වය පිළිබඳව අනාවරණ කිරීමත් සමඟ එහි ස්ථිර පාලමක් ඉදිකිරීම සඳහා මූලික කටයුතු ක්‍රියාත්මක කෙරුණද එය ද අත්තිවාරම් හා බැමි කිහිපයකට සීමා වී ඇත්තේ බලධාරීන්ගේ වගකීම් පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම තත්ත්වය හමුවේ ප්‍රදේශයේ ජනතාවට බදුලු ඔය තරණය කිරීම තවදුරටත් දැඩි අවදානම්සහගත ක්‍රියාවක් වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට අර්ධ වශයෙන් ඉදිකර ඇති පාලමේ බැමි මතින් ජනතාව ගමන් කිරීමේ දී විවිධ අනතුරුවලට ද ලක්වන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ජනතා මුදලින්ම ඉදිකෙරෙන මෙවැනි ව්‍යාපෘති කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේ ද ?

***************************************

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ මිලියන 20 කේරළ ගංජා

(20.04.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමට එපිට මුහුදු තීරයේ මුර සංචාරයේ නිරතව සිටි ශ්‍රී ලංකා නාවික හමුදා මුර යාත්‍රාවක් මගින් සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 81 කට අධික ප්‍රමාණයක් රැගෙන ආ ධීවර යාත්‍රාවක් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 20 කට වැඩි බවයි නාවික හමුදාව පවසන්නේ.

අත් අඩංගුවට ගත් කේරළ ගංජා සහ සැකකරුවන් සහිත යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලීසියට භාරදීමට නියමිතයි ෴

***************************************

දයාසිරි ජයසේකර සුරේන් රාඝවන්ගේ ‘කණට ගසයි’

(20.04.2022 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අද වනවිට ජාත්‍යන්තරය පවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන වූ කණ්ඩායම රජයේ දිගින් දිගටම ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවයි.

කෙසේවෙතත් එම යෝජනාවට රජය ප්‍රතිචාර දැක්වූයේ, අටවා ගත් ඇමති මණ්ඩලයක් තුළින් එල්ලෙන ආණ්ඩුවක් පිහිටුවාගැනීම හරහා බවයි.

ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ම ඇමති කටු විසි කරමින්, තනතුරු, තාන්න මාන්න, වරප්‍රසාද දෙමින් තමන්ගේ ඉල්ලීමට පිටුපෑ බව ඔහු සඳහන් කළා.

මෙහිදී ඊයේ (19) නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් සුරේන් රාඝවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, සිය අභිලාසයන්ට පිටුපා ගිය ඔහුට තවදුරටත් දේශප්‍රේමය පිළිබඳ කතා කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, ඔහු පාර්ලිමේන්තුවේ අද (20) සිදු කළ කතාව ඔහුගේ පුතා ඉදිරියේ කළා නම්, ඔහු පවා සුරේන් රාඝවන්ගේ කණට ගසනු ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු පළමු ක්‍රියාවලිය වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කෙරුණු වැරදි නිවැරදි කරගැනීම බවයි.

මේ ආකාරයට සාධනීය පියවර ගතහොත් පමණක් මේ වනවිට වීථි බැස ඇති මේ රටේ තරුණ ජනතාව සහ සමස්ත ප්‍රජාව තුළ රජය සහ ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනගා ගත හැකි බවයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රෙලියානුවන්ට අවවාදාත්මක නිවේදනයක්

(20.04.2022 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස ඔස්ට්‍රෙලියාව විසින් එරට පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත්තේ මෙරට තුළ මේ දිනවල ක්‍රියාත්මක මහජන විරෝධතා සහ ඉන්ධන හා විදුලි විසන්ධි වීමේ ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින්.

ඒ අනුව, රථ වාහන ගමනාගමනයේදී සහ පොදු ප්‍රවාහන සේවාවලදී බාධා එල්ල විය හැකි බවයි මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ ෴

***************************************

නව රාජ්‍ය ඇමතිවරු 4 ක් දිවුරුම් දෙයි

(20.04.2022 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකු (4) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය අද (20) නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිල නිවේදනය නිකුත් කරන විටත් ඊයේ (19) දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු (2) සිය අමාත්‍යංශවල වැඩ භාරගෙන තිබීමත් විශේෂ සිදුවීමක්.

මෙලස කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විසිහත් (27) වැනි මහලේ පිහිටුවා ඇති රෙදිපිළි නිෂ්පාදන සහ දේශීය නිශ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාරගනු ලැබුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිට නැවත ආණ්ඩුවට එක්වූ අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එස්.එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයායි.

ඔහු ඊයේ (19) දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබුනා.

මීට අමතරව ඊයේ (19) දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ද අද (20) දිනයේ එම අමාත්‍යාංශයේ වැඩ භාර ගත් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඊයේ (19) දිනයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ එස්. වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබෙනවා.

ඔහු දිවුරුම් දී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අනුව මේ වන විට රාජ්‍ය අමාත්‍යවරුන් ගේ ලයිස්තුව 28 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  1. සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
  2. සදාසිවම් වියාලේන්ද්‍රන් – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
  3. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  4. මොහොමඩ් මුෂාරෆ් – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ෴

***************************************

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65% කින් ඉහළට

(20.04.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු අද (20) සිට සියයට 65 ක ප්‍රතිශතයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ මෙම තීරණයට එළඹි බවයි ෴

***************************************

හෙට (21) සහ අනිද්දා (22) පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්

(20.04.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala)

හෙට සහ අනිද්දා (21,22) දිනවල පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා සියලු කලාපවලට පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර පැය දෙකක (2) කාලයක් සහ පස්වරු 5 ත් රාත්‍රී 9 ත් අතර පැයකුත් (1) මිනිත්තු 20 ක් හෙට (21) සහ අනිද්දා (22) විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *