සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

*********************************************

සති දෙකකට ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

(20.04.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඉදිරි දින 10 කට අවශ්‍ය පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඩීසල් ඉදිරි සති දෙකකට (2) ප්‍රමාණවත් තොග ඇති බවත්, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනුයි, බලශක්ති අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, රට තුළ පවතින ඉන්ධන හිඟය මේ වනවිට ක්‍රමයෙන් මග හැරෙමින් යන බවයි.

කෙසේවෙතත්, තවමත් ඉන්ධන ප්‍රවාහන කටයුතුවල ගැටලුසහගත තත්ත්වයන් ඇති බව ඔහු පිළිගත්තා.

මේ අතර ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, අද (20) දිනයේ දී ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බවයි.

මේ වනවිට රට පුරා උද්ගත වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු සිය ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමය ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.

සිය බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් එම ලිපිය වැඩිදුරටත් සඳහන්.

***************************************

ඇති තරම් ඉන්ධන තියෙනවා – බෙදාහැරීමට බාධා කරන්න එපා – බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක්

(20.04.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala)

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග ලැබී ඇති බැවින් ඒවා බෙදා හැරීමට බාධා නොකර සහය ලබාදෙන්නැයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට තිබුණ ද ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවයි.

දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණයට අමතරව තවත් ජෙට් ඉන්ධන හා ඩීසල් තොගයක් ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

යාත්‍රා දෙකක (2) රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් (120,000) ඇමරිකානු ඩොලර් මිලියන 38 ක් ගෙවීමෙන් අනතුරුව ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගාවොට් 810 ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බවයි ඇමතිවරයා සඳහන් කළේ.

තැනින් තැන සිදු කෙරෙන උද්ඝෝෂණ හා මාර්ග අවහිර කිරීම් නිසිපරිදි රටපුරා ඉන්ධන බෙදා හැරීමට බලවත් බාධාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

බෙදාහැරීම අඩාල වූ විට රෝහල්වල විදුලි ජනක යන්ත්‍ර පවා ඇණ හිටින බැවින් ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට ඊට සහය වන ලෙසටයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට අයාචනය කරන්නේ ෴

***************************************

ගල් අඟුරු තොගයකටත් ඩොලර් ගෙවයි – ඩීසලුත් බෑම ඇරඹෙයි

(20.04.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

ගල් අගුරු මෙට්‍රික් ටොන් 120,000 ක් රැගත් නෞකා දෙක (2) මුදල් ගෙවා නිදහස් කර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඩොලර් මිලියන 38 ක මුදලක් ඒ සඳහා ගෙවූ බවයි.

පසුගිය 12 වන දා මෙම නෞකා දෙක (2) දිවයිනට ළඟා වූ අතර මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින 5 ක කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබුණා.

ඒ අනුව මේ වනවිට අදාළ නෞකා දෙකෙහි (2) ගල් අගුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, පෙට්‍රල් සහ ඩීසල් ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

ගාලු මුවදොර අරගලය අඛණ්ඩව 12 වැනි දිනටත්

(20.04.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා පසුගිය 9 වැනිදා කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවය අද (20) 12 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය ද නොතකමින් අද (20) පෙරවරුවේත් ජනතාව විරෝධතාව සඳහා එක්ව සිටියා.

මේ අතර, ඊයේ (19) පස්වරුවේ රඹුක්කන දී පැවති විරෝධතාවය අතරතුර වෙඩි වැදී මියගිය පුද්ගලයා සිහි කරමින් සැමරුමක් පැවැත්වීමට ද අරගල භූමියට එක්ව සිටි පිරිස කටයුතු කළා.

***************************************

මාතර විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 8 ක් රිමාන්ඩ්

(20.04.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මාතර නගරයේ ඊයේ (19) පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනුයි ඔවුන් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබුණේ ෴

***************************************

වැඩි වූ බස් ගාස්තුව අද (20) සිට

(20.04.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සියයට 35 කින් ඉහළ දැමුණු බස් ගාස්තුව අද (20) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව අද (20) සිට රුපියල් 27 ක් වන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

එමෙන්ම මෙම බස් ගාස්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහාද බලපාන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ත්‍රිරෝද රථ රියදුරන්ට මගීන් සමඟ සාකච්ඡා කර තමන්ට කැමති මුදලක් අය කරගැනීමට අවස්ථාව ලබා දී ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළා.

පෙරේදා (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවූ අතර, ඊට පෙර දින රාත්‍රියේ අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ද ඉහළ දමනු ලැබුවා.

මේ අතර ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේත් (19) ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා ෴

***************************************

ග්‍රාම නිලධාරීන් කාර්යාල දින සහ ක්‍ෂේත්‍ර කටයුතු සීමා කරයි

(20.04.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කාර්යාල දින සහ ක්‍ෂේත්‍ර කටයුතු සීමා කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ සඳුදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දින පමණක් කාර්යාල සහ ක්‍ෂේත්‍ර රාජකාරිවල නිරත වන බවටයි.

මීට පෙර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින තුන (3) කාර්යාල දින වශයෙන්ද සඳුදා මහජන දිනය ලෙසද ඔවුන් සේවා කටයුතු සිදුකළා.

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ හදිසි මරණ, ආපදා වැනි ක්‍ෂේත්‍රගත කාර්යන් සුපුරුදු පරිදි සිදුකරන අතර, රැස්වීම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග වෙත යොමුවන බව ද ග්‍රාම නිලධාරී සංගමය කියා සිටියා.

හැඳුනුම්පත් මුදල් ගිණුම් ගත කිරීම සඳහා දින 14 ක උපරිමයක් ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටින්නේ දින 7 ක් තුළ ගිණුම් ගත නොවූ මුදල් පිළිබඳ විගණනයන් සිදුවීම හේතුවෙන්.

අනවශ්‍ය ක්‍ෂේත්‍ර රාජකාරි අවම කරන ලෙසත්, ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

***************************************

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් ප්‍රධානීන් අද කෝප් කමිටුව හමුවට

(20.04.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා 21 ක් බද්දට ගැනීම ගැන සොයා බැලීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ද ඉදිරිපත් කරන බවයි ඔහු ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

මේ අතර ආනයනික සහල් වැනි භාණ්ඩ සඳහා වන බදු අඩුකිරීම් තුළින් මහජනතාවට අපේක්ෂිත පරිදි ප්‍රතිලාභ සැළසෙන්නේද යන්න පිළිබඳව සොයාබැලීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියාශීලීව මැදිහත් විය යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

එම කාරක සභාව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රේගු ආඥා පනත යටතේ ඇති යෝජනාව කාරක සභාව විසින් අනුමත කළා.

ඒ අනුවයි ආනයනික භාණ්ඩවල බදු අඩු කිරීම් තුළින් මහජනතාවට අපේක්ෂිත ප්‍රතිලාභ සැලසෙන්නේ ද යන්න පිළිබඳව සොයාබැලීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවට කාරක සභාව යෝජනා කර ඇත්තේ ෴

***************************************

ශ්‍රී ලංකාව කඩිනමින් ආර්ථික තිරසාර මාවතකට ගෙන ආ යුතු බව අයි.එම්.එෆ්. කියයි

(20.04.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කිරීමට සහ ගෙවුම් ශේෂ අර්බුදය මග හරවා ගැනීමට සහාය වන වැඩසටහනක් කඩිනමින් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසකි (Masahiro Nozaki) මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් ද ඉදිරිපත් කරමින්.

ඩොලර් හිඟතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් වී ඇති අතර, ඒ නිසා රටට අවශ්‍ය තෙල්, විදුලිය ආදී බලශක්ති කටයුතු නිසි අයුරින් සැපයීමට ද ලක් රජය අපොහොසත් වී තිබෙනවා.

මේ හේතුවෙන් රට තුළ මහජනතාව වීදි බැස උද්ඝෝෂණ ආරම්භ කර ඇති අයුරු දක්නට පුළුවන් ෴

***************************************

ඩොලරයට සාපේක්ෂව ජාත්‍යන්තර ගනුදෙනුත් වෙනස් වෙයි

(20.04.2022 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය උච්චාවචනය වීම හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු යම් වෙනස් වීමකට ලක්වන බව කොළඹ – අමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එළඹෙන සඳුදා (25) සිට ජාත්‍යන්තර ගනුදෙනු වන වීසා සහ ACS සේවා ගාස්තු සංශෝධනය වන බවයි වාර්තා වන්නේ ෴

***************************************

දුම්රියක ගැටී යුද හමුදා කෝප්‍රල්වරයෙකු මරුට

(20.04.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

යාපනය – චාවාකච්චේරී ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු දුම්රියක ගැටීමෙන් ඊයේ (19) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචි 37 හැවිරිදි ඩබ්ලිව්.එම්.එස්. සමන් කුමාර නමැති දෙදරු පියෙක්.

ඔහු චාවාකච්චේරී ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන ශ්‍රී ලංකා 7 වන විජයබාහු රෙජිමෙන්තුවට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ෴

***************************************

ආහාර විෂවීමකින් කොග්ගල ඇඟලුම් කර්මාන්තශාලාවක 200 කට ආසන්න පිරිසක් රෝහලට

(20.04.2022 – 09:49 +0530 – hirunews.lk/sinhala)

කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 200 කට ආසන්න පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ක්ලාන්තය සහ ආමාශගත රෝගී තත්ත්වයන් හේතුවෙන් මොවුන් රෝහල්ගත කර ඇති බවයි.

මේ අතර උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිස 350 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 325 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලටත් අනෙක් පිරිස හබරාදුව ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කෙරුණා.

මෙම පිරිස රෝහල්ගත කෙරුණේ ක්ලාන්තය සහ ආමාශගත රෝගී තත්ත්වයන් හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

***************************************

රිය අනතුරකින් කුඩා දරුවෙකු මිය ගොස් 7 කට තුවාල

(20.04.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – පුත්තලම මාර්ගයේ නොච්චිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන ලද ලොරි රථයක, ත්‍රිකුණාමලයේ සිට හොරොව්පතාන දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ වෑන් රථයේ ගමන් ගත් 5 හැවිරිදි කුඩා දරුවෙක්.

තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය සහ මහදිවුල්වැව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *