විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

*********************************************

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

(20.04.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) පස්වරුවේ රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් මාර්ගයට බැස ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් කඳුලු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කළා.

එම වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, පොලිස් නිලධාරින් ඇතුළු තවත් සිවිල් වැසියන් 27 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මේ හේතුවෙන් ඊයේ (19) රාත්‍රියේ සිට තවමත් (20) රඹුක්කන පොලිස් බල ප්‍රදේශයටම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් අද (20) ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනේ දී ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ද සිය අදහස් පළ කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේදී ම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, ඊයේ (19) පොලීසිය විසින් සිදු කළ පහරදීම අවම බලය යටතේ සිදු වූවක් බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනේ දී ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ අවම බලය භාවිත කිරීම යනු වෙඩි තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම නොවන බවයි.

මෙම අර්බුද හමුවේ මේ වනවිට ජාත්‍යන්තරය ම ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, උපරිම බලය පොලීසියට ඇත්තේ මර්දනකාරී සහ කලහකාරී අයුරින් හැසිරෙන පුද්ගලයෙකුගේ දණහිසෙන් පහළට වෙඩි තැබීම බවත් ඔහු සඳහන් කළා.

නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් බවත්, සිවිල් වැසියන් ද ප්‍රචණ්ඩකාරීව හැසිරිම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත් අද (20) උදෑසන සියලුම පුවත්පත් මාධ්‍යය තුළ ද වාර්තා කර තිබුණා.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ද සඳහන් වන්නේ, කිසියම් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම හෝ අවි ආයුධ ගෙන පොලිසියට පාලනය කරගත නොහැකි තැනකට පත් වන්නේ නම්, උපරිම කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර හෝ ඊටත් එහායින් සිදු කළ හැකි ප්‍රහාරය වන්නේ උපරිම වශයෙන් දණහිසෙන් පහළට වෙඩි තැබීම පමණක් බවයි.

නමුත්, සිවිල් වැසියන් අරගල මැද විසිරුවා හැරීමට පොලීසිය ක්‍රියා කළ අවස්ථාවක දී ඔවුන් විසිර යන්නේ ද, කිසිම විටෙක ඔවුනට බලතල ඉක්මවා ප්‍රහාර එල්ල කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කිසිසේතම අනුචිත නොවන බව ද ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් ඊයේ (19) දින සිදු වූ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ වෙඩි තැබීම කාගේ නියෝග මත සිදු වූවක් ද, එය නීත්‍යානුකූල ද යන්න විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ද ආචාර්යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ජනතාවට භාෂණයේ, අරගල කිරීමේ නිදහස ඇතත්, එය සාමකාමීව සිදු කළ යුතු බව ද ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක් වෙමින් හෙතෙම පැවසුවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 15 වැනි ව්‍යවස්‍ථාව යටතේ භාෂණයේ නිදහස සහ අරගල කිරීමේ නිදහස සම්බන්ධයෙන් සඳහන් කර ඇති නීතින් කිසිදු අයෙකුට උල්ලංඝනය කරමින්, කටයුතු කළ නොහැකි බව ද ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසුවා.

එබැවින් අරගල කිරීමේ දී සහ භාෂණයේ දී වුව ද අනිවාර්යයෙන්ම සාමකාමීව කටයුතු කළ යුතු අතර, කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩකාරීව හැසිරීම් නොකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

++++++++++++

රඹුක්කන සිද්ධිය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(20.04.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ද සදහන් කර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විරෝධතා සිදුකිරීමේ දී සිය අයිතිවාසිකම් රැකෙන පරිදි ඒවා සිදුකළ යුතු බවයි.

මේ අතර, අද (20) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී රඹුක්කන සිද්ධිය පිළිබද විවාදයක් ලබාදෙන ලෙසට විපක්ෂය ඉල්ලීමත් සමග ඇති වූ කතාබහ හේතුවෙන් මිනිත්තු 10 කට සභාව කල් තැබීමට කථානායකවරයාට සිදුවුණා.

පසුව පක්ෂ නායක රැස්වීමක් පැවැත්වූ අතර එහිදී රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට එකගතාව පළ වී තිබෙනවා.

මේ අතර ධීවරයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – බස් නැවතුම්පළ ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය මේ වන විට අවහිර වී තිබෙනවා ෴

++++++++++++

සාමකාමී ව අරගල කිරීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට පූර්ණ අයිතිය ඇති බව ජනපති කියයි

(20.04.2022 – 12:35 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සහ රට පුරා උද්ගතව පවතින දැඩි විරෝධතා පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඊයේ (19) දින සිදු වූ රඹුක්කන ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් පළමුකොට දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බවයි.

ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට අරගල කිරීමට නිදහස ඇති බව ද ජනාධිපතිවරයා පවසනවා.

නමුත් එම අරගල සිදු කිරීමේ දී සාමකාමීව කටයුතු කිරීමටත්, ප්‍රචණ්ඩකාරී පසුබිමකට විරෝධතා මෙහෙයවීමෙන් වළකින ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

එමෙන්ම, ඊයේ (19) සිදු වූ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ෴

++++++++++++

24 පැයක් ගෙවෙන්නටත් පෙර ජනපති ප්‍රකාශය පුස්සක් කළ රඹුක්කන ඝාතනය – හිටපු මැකෝ

(20.04.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ ඉන් සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධවයි.

හිටපු සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත සහ පොලිස්පතිවරයා වෙතයි.

මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ප්‍රකාශ කිරීමත්, පොලීසිය විසින් එලෙස වෙඩි තැබුවේ සාධාරණ හේතු මත යැයි කීම යන කරුණු එකිනෙකට පරස්පර විරෝධී බවයි.

මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට හේතු වන්නේ රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය මුල්කරගනිමන් බව පෙන්වාදෙන මහින්ද දේශප්‍රිය සභාපතිවරයා කියා සිටින්නේ, මෙවැනි ම අරගලයක් ඊයේ (19) දිනයේ දී රත්නපුර නගරයෙන් ද වාර්තා වුව ද, එහි කිසිදු මෙවැනි බරපතළ සිදුවීමක් වාර්තා නොවූ බවයි.

එබැවින් මෙම සිද්ධිය සහ පොලි වෙඩි පහරින් අයෙකු ජීවිතක්ෂයට පත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පවසන හිටපු සභාපතිවරයා අවධාරණය කරන්නේ, මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවන අයුරින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසියට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවට තමන් විශ්වාස කරන බවයි.

ජනතාවට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇති බව පසුගිය 18 වැනි දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර, පැය 24 ක් යෑමට පූර්වයෙන් ජනතා උද්ඝෝෂණයකට පොලීසියෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අයෙකු ජීවිතක්ෂයට පත් වීම සහ මනුෂ්‍ය ඝාතන සිදු කිරීම ඛේදවාචකයක් සහ සරදමක් බවයි මහින්ද දේශප්‍රිය කියා සිටින්නේ.

මේ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සහ විනවිදභාවයෙන් යුතුව පරීක්ෂණ සිදු කර, ඒ සඳහා අගතියට පත් පාර්ශ්ව වෙත සහාය ලබාදෙන නීතිඥවරුන් හට සහාය ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා.

එමෙන්ම මෙම පරීක්ෂණයේ දී කිසිදු ලෙසකින් සත්‍ය වසන් කිරීමට හෝ යටපත් කිරීමට අවකාශය ලබානොදීමට වගකිව යුතු නිලධාරින් සහ බලධාරින්ගෙන් තමන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින අතර, මේ වනවිටත් ගාලු මුවදොර පැවැත්වෙන සාමකාමී ජන උද්ඝෝෂණවලට ජනතාව ප්‍රකෝප කරවන ආකාරයේ මැදිහත් වීම්වලින් වැළකී සිටීමටත් අදාළ නිලධාරින්ට දැනුවත් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා ෴

++++++++++++

ආරක්ෂක ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැදවන්න – විපක්ෂ නායක සජිත්

(20.04.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ඇති වූ සිද්ධිය පිළිබදව කරුණු විමසීම සදහා ආරක්ෂක ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඔහු මේ බව කියා සිටියේ අදාළ සිදුවීම පිළිබදව අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී මේ පිළිබදව සාකච්ඡා වූ අවස්ථාවේ දී විනාඩි 10 කට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයාට සිදුවුණා.

ඒ, රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට එකගතාව පළ කළේ නැහැ.

++++++++++++

රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

(20.04.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුළු නිලධාරින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද (20) කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++

රඹුක්කන ජනතාව රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක (20.04.2022)

***************************************

විරෝධතාවක් නිසා ගාලු පාර බලපිටියෙන් අවහිර වේ

(20.04.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පැවැත්වෙන විරෝධතාවක් නිසා ගාලු පාර – බලපිටිය ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සදහන් කළේ මාර්ගය හරහා මෝටර් රථ දෙකක් (2) සහ බස් රථයක් (1) හරස් කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

එමෙන්ම, ඉන්ධන මිලට එරෙහිව බදුල්ල – පස්සර මාර්ගයේ 8 කණුව මංසන්ධියේ ද ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මං තීරුවකට සිමා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ගාලු පාර පානදුර නගරයෙන් අවහිර කරමින් ඊයේ (19) ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, ඊයේ (19) දින මාතර නගරයේ ඇති වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එහිදී විරෝධතාකරුවන් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා ෴

***************************************

ඉන්ධන මිලට එරෙහිව අදත් මාර්ග අවහිර කරමින්, නගර රැසක විරෝධතා

(20.04.2022 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල මේ වන විට විරෝධතා (20) පැවැත්වෙනවා.

මේ අතර, මාතර මහානාම පාලම අසළ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වන විට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර ප්‍රදේශයෙන් අද (20) උදෑසන සිට අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත වන අතර බලපිටිය නගරයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ද ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වුණා.

හිරු වාර්තාකරුවන් සදහන් කළේ මාර්ගය හරහා මෝටර් රථ දෙකක් (2) සහ බස් රථයක් (1) හරස් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන බවයි.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බදුල්ල – පස්සර මාර්ගයේ 8 කණුව මංසන්ධියේ ද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක් මං තීරුවකට සිමා කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, බදුල්ල – චෙන්කලඩි මාර්ගය ද අද (20) උදෑසන අවහිර වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් හේතුවෙන්.

මීට අමතරව කොළඹ – පුත්තලම මාර්ගය, පොළොන්නරුව – හබරණ මාර්ගය, තංගල්ල – කතරගම මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වුණා.

මීට අමතරව ධීවර උද්ඝෝෂණයක් නිසා ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

එමෙන්ම, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම ඊයේ (19) සහ අද (20) දින විරෝධතා පැවැත්වුණා. ඇතැම් නගරවල ටයර් පුළුස්සමින් විරෝධතා පැවති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

ඊයේ (19) මාතර – මහානාම පාලම අසළ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ අතර අනතුරුව විරෝධතාකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ඇතුළු තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

***************************************

ප්‍රසන්න රණතුංග බෙල්ලට තොණ්ඩුව දාගත්තා – SUDAA STUDIO (21.04.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *