ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

*********************************************

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

(20.04.2022 – 06:32 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000 ක් අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි අලාභ හානි නැවැත්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසනවා.

එමෙන්ම, ඊයේ (19) දින සිදු වූ කලහකාරී තත්ත්වය යළිත් ඇති නොවීමට වගබලා ගැනීමටත්, කිසිදු ලෙසකින් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයක් වන ඉන්ධන ප්‍රවාහන බවුසර් අවහිර කිරීමට උත්සාහ නොකරන ලෙසත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජනතාව ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

මේ අතර රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ සිය කණස්සල්ල පළ කරන අතර, ප්‍රචණ්ඩත්වය සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා පමුණුවන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යම් හෙයිකින් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු වන බවුසර යලි අවහිර වුවහොත්, දිවයින පුරා අඛණ්ඩව සේවාවල නියැලෙන අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ ආදිය ප්‍රමාදවීම්වලට ලක්විය හැකි බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

රඹුක්කනදී ඊයේ (19) ඇති වූ උණුසුම්කාරි තත්ත්වයත් සමඟ පැනවූ එම ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා සහ ඇඳිරිනීත්‍ය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මේ වනවිටත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන නගරයේ ඊයේ (19) පෙරවරුවේ ආරම්භ කළ මහජන විරෝධය පස්වරුව වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් බවට පත් වුණා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර අනතුරුව පොලිසිය එල්ල කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් 15 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ මහනුවර මහ රෝහලටයි.

ගැටුමෙන් පසු ප්‍රදේශයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් අද (20) පස්වරුවේ පොලිසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගැටුමේදී පොලිසිය බලය භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ෂණය සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සඳහන් කළා.

++++++++++

රෝස මල් පුදා ඇරඹූ අරගලය රුහිරය වැගිරීමෙන් කෙළවරට ? – නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම ජාත්‍යන්තරයේ අවධානයට

(20.04.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) දින සිදු වූ කලහකාරී සිද්ධිය සමග මේ වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇති බව දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ජාත්‍යන්තරයේ විවිධ සුප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා විසින් ද වාර්තා කරන්නේ එවන් පසුබිමක් යටතේයි.

ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී, විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලීසිය විසින් අවම බලය භාවිත කරමින්, කඳුලු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ.

නමුත්, නිරායුධ වූ සිවිල් වැසියන්ට අමානුෂික අයුරින් අවම බලය භාවිත කරන්නේ යැයි පවසා වෙඩි ප්‍රහාර එල්ල කර, ඝාතනය කිරීම කෙසේ නම්, සාධාරණීකරණය කරන්නේ ද?

මෙම සිද්ධිය පිළිබඳ අමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ද සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ ඊයේ (19) දින රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය බිහිසුණු වන අතර, ඒ පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ජූලි චන්ග් (Julie Chung) ප්‍රකාශ කරනවා.

ඇය පෙන්වා දෙන්නේ, විරෝධතාකරුවන්ට සහ පොලීසියට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින අතර, සියලුම දෙනා සංයමයෙන් කටයුතු කිරීමට ක්‍රියා කරන්නේ නම් වඩාත් යහපත් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් විසින් ද ඊයේ (19) රඹුක්කන සිදු වූ සිදුවීම පිළිබඳ දැඩි කනගාටුව පළ කර තිබෙනවා.

නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ, එක් අයෙකුට ජීවිතය අහිමි වූ වෙඩි ප්‍රහාරය ගැන අසා තමන් බලවත් කම්පනයට පත් වූ අතර, එම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, සාමකාමීව විරෝධතා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

තවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් ද රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඇය ප්‍රකාශ කළේ, පුරවැසි බලය ආරක්ෂා කරමින්, ගත හැකි අවම ප්‍රමාණයේ බලය භාවිත කිරීමට වගබලාගත යුතු බවයි.

ජාත්‍යන්තර සුප්‍රසිද්ධ මාධ්‍ය වන බී.බී.සී, අල්ජසීරා, ස්කයි, රොයිටර් වැනි පුවත් මාධ්‍ය විසින් රඹුක්කන සිදුවීම සිය ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ගෙන තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව බී.බී.සී. නාලිකාව විසින් ආසියාතික ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ඉහළින් ම සටහන් කර තිබුණේ, ‘one killed after police Fire at protest in Rambukkana’ යනුවෙන්.

රට පත් ව ඇති දැඩි ආර්ථික, දේශපාලනික අර්බුදයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මහජන නියෝජිතයින් එපා යැයි කියමින් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වුණා.

ගාලුමුවදොර 12 වැනි දිනටත් (20) අද පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය මෙරට තුළ සහ ජාත්‍යන්තරයේ ද වැඩි කතාබහකට පත් වුණා.

ඇතැම් අවස්ථාවලදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මෙන්ම, සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අරගල බිමට අවතීර්ණ වූයේ, රට පත්ව ඇති ඛේදනීය ඉරණම තවදුරටත් අවධාරණය කරමින්.

එහිදී ඇතැම් විට විරෝධතා ආරම්භ වීමට පෙර රාජ්‍ය ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් ක්‍රියා කරන පොලීසිය සියලුම ආරක්ෂක අංශ විසින් ඉහළ බලධාරින්ගේ නියෝග මත මග හරස් කරද්දී, ඇතැම් විරෝධතාකරුවන් ඔවුන් අභියසට ගොස් රෝස මල් පුදා ඉල්ලා සිටියේ, අවි බිම තබා රට බේරා ගැනීමට ඔබත් එක්විය යුතු බවට ස්නේහයෙන් යුතුව සිහිපත් කරමින්.

GOHOMEGOTA යනුවෙන් සටන් පාඨ පෙරදැරි කරගනිමින්, විරෝධතාකරුවන් ජාත්‍යන්තරයට මෙන්ම මෙරට පාලකයින්ට ඉගැන්වූයේ සාමකාමීව අරගල කරන අයුරුයි.

රෝස මල් තිළිණ කොට, නිර්මාණශීලීව තම අර්බුදයන් සහ වේදනාව ලෝකයාට ප්‍රකාශ කරමින්, සන්සුන්ව අරගල ක්‍රියාත්මක වූ මොහොතකයි, රඹුක්කන සිදුවීම වෙඩි ප්‍රහාර එල්ල කර, මනුෂ්‍ය ඝාතනයක් සිදු කරමින් අවසන් වන්නේ.

ජනාධිපතිවරයාගේ නිවස පළමු වරට අරගලකරුවන් විසින් වැටලූ අවස්ථාවේ දී ද පොලීසිය විසින් සහ කැරලි මර්දන ඒකකය විසින් ක්‍රියා කළ ආකාරය දැඩි පිළිකුළෙන් යුතුව ජාත්‍යන්තරය මෙන්ම මානව හිමිකම් ආයතන ද හෙළා දැක්කා.

මේ හේතුවෙන් මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ අද (20) පෙරවරුවේ හිරු ‘පත්තරේ විස්තරේ’ සජීවී වැඩසටහනට එක්ව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේ, ඊයේ (19) නිරායුධ සිවිල් වැසියන්ට පොලිස් අවම බලය යැයි ප්‍රකාශ කොට, වෙඩි තැබීම් ආදිය සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයෙන් පසුවන අතර, ඊයේ (19) දින වෙඩි තැබීමට උපදෙස් දුන් ඉහළ පෙළේ නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කළ යුතු බව ද ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආචාර්ය මහානාමහේවා ගෙන් සිදු කළ අදහස් විමසීමේ දී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, නිරායුධ සිවිල් වැසියන් මර්දනයට පළමු වෙඩි මුරය එල්ල කිරීමට අණ දුන්නේ කවුදැයි සොයා බැලීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවයි.

මේ අතර, අද (20) දින දිවයින පුරා හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මක කරන අතර, සිවිල් බලය උපයෝගී කරගනිමින්, අද (20) දින ජාතික විරෝධතා දිනය ලෙස ද නම්කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වැඩ්බිම් වර්ජනය කර, අද (20) උදෑසන සිට අරගල බිමට පැමිණීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම ඊයේ (19) දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට නිර්පාක්ෂික අරගල බිමට පා ගමනින් යුතුව පැමිණියා. ඒ අරගලයට සහාය දක්වමින්.

මීට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආචාර්යවරුන් ද එක් ව සිටියා.

දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින මහජන දුක නිවෙන්නේ කවදාද? මර්දනය පාලනයට යැයි අයුතු ලෙස නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබනවා වෙනුවට ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය ඇති වන්නේ කවදාද ? බිඳුණු තරුණ හීන සඵල වන්නේ කවදාද? මේ පිළිබඳ සියලු ශ්‍රී ලාංකිකයින්ට ඇත්තේ අපමණ බියක් සහ වේදනාවක් බව මෙම අරගල තුළින් විද්‍යමාන නොවන්නේ ද?

තවදුරටත් පාලක බලය උපරිමයට ගනිමින්, පීඩිත සිවිල් වැසියා මර්දනය කිරීමට බලධාරින් ඉදිරියටත් කටයුතු කරන්නේ ද ? සැවොම මේ පිළිබඳ ව අවධානයෙන්.. !

+++++++++

රඹුක්කන සිදුවීමෙන් 27 ක් රෝහලේ – තුනක් (3) අයි.සී.යූ. එකේ

(20.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඊයේ (19) රාත්‍රියේ පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර මෙම ප්‍රදේශයේ පැවති විරෝධතාව අතර සිදුවූ ගැටුමින් තුවාල ලැබූ 27 දෙනෙකු තවදුරටත් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් 13 දෙනෙකු විරෝධතාවට එක්වූ අය වන අතර, ඔවුන්ගෙන් 03 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණෙන මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම සඳහා තුන්දෙනෙකු (3) ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් කියා සිටියේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ඊයේ (19) පෙරවරුවේ සිට පැය 15 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලිසිය පස්වරුවේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

සිද්ධියෙන් එක් පුද්ගලයෙකු (1) මිය ගියා.

පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකට විරෝධතාකරුවන් ගිනි තැබූ බවත්, ඉන්ධන බවුසරයකට ඔවුන් ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවද ඔහු කියා සිටියා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව තුන්දෙනෙකු (3) ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (19) රාත්‍රියේ මානව හිමිකම් කොමිසමේ මහනුවර කාර්යාලයේ කණ්ඩායමක් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රඹුක්කන ප්‍රදේශයට ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා.

විරෝධතාකරුවන්ගේ සැබෑ දුක් ගැනවිලි සැළකිල්ලට ගනිමින් පොලිසිය සහ ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් කටයුතු කරන බවට රජය සහතික විය යුතු බව ද එහි තවදුරටත් සඳහන්.

එසේම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රඹුක්කන සිද්ධිය පිළිබඳව තමන් කම්පාවට පත්වන බව ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ජනතාවට සාමකාමී විරෝධතා සිදුකිරීමේ අයිතිය රැකිය යුතු බවත් එමඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රඹුක්කන දී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබද කණස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික කාර්යාලය පවසනවා.

සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මාතර නගරයේ මහානාම පාලම අසළ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා ද පොලීසිය ඊයේ (19) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

ඊට අමතරව ගාල්ල, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම එවැනි විරෝධතා ඊයේ (19) පැවැත්වුණා. ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ ධාවනයට ඉඩ ලබානොදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

***************************************

අදත් (20) පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබෙයි

(20.04.2022 – 10:23 +0530 – hirunews.lk/sinhala)

සභාවේ කටයුතු පවත්වාගෙන යාම ගැන ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදු කරනු ලැබුවා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාව රැස් වූ අවස්ථාවේ දී යි පක්ෂ විපක්ෂයේ විවාද මැද මෙම මතභේදාත්මක සිදුවීම් ඇති වුණේ.

පාර්ලිමේන්තුව නොසන්සුන්තාවයකට පත්වීම හේතුවෙනුයි මිනිත්තු 10 කට පාර්ලිමේන්තුව කල් තැබීම සිදු කෙරුණේ.

කෙසේවෙතත්, පසුව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *