රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට

*********************************************

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට

(19.04.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද (19) මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉන් අනතුරුව ජිව උණ්ඩ භාවිත කරමින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි කෑගල්ල රෝහල් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිවු (4) දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් අප වාර්තාකරු සදහන් කළා.

ගැටුමෙන් පොලිස් නිලධාරින් 10 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

මේ අතර රඹුක්කන නගරයේ රැදි සිටින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මේ වන විටත් දැඩි උණුසුම් තත්ත්වයක් මතුවී ඇති බව එහි සිටින අප වාර්තාකරු සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව වෙඩි හඩ ඇසෙන බවයි.

සිදුවු ගැටුම්කාරී තත්ත්වයත් සමග පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශයට යුද හමුදාව ද කැඳවා තිබෙනවා.

මෙම විරෝධතාව හේතුවෙන් අද (19) උදැසන සිට කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර තවමත් එය යථා තත්ත්වයට පත් වී නැහැ.

විරෝධතාකරුවන් විසින් තෙල් බවුසරයකට ගිනි තැබීමට තැත් කිරීම , ත්‍රීරෝද රථයකට ගිනි තැබීම සහ පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් සිද්ධිය පාලනය සදහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසන්නේ.

+++++++

https://www.youtube.com/watch?v=rHb2tGOkEds#t=5

+++++++

+++++++

+++++++

රඹුක්කනදී ජීවිතක්ෂයට පත් තරුණයා ගැන අනාවරණයක්

(19.04.2022 – 22:38 +0530 – sinhala.adaderana.lk)

රඹුක්කන ප්‍රදේශයේදී අද (19) පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙක් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ වනවිට අදාළ ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඒ සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට සහ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වෙනුවෙනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් ද කෑගල්ල රෝහලට යවා ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි ෴

+++++++

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

(19.04.2022 – 20:35 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ මෙම පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන අයවලුන් මහජන සාමයට බාධා කරන්නන් ලෙස සලකා ක්‍රියාකරන බවයි.

එමෙන්ම ප්‍රදේශයේ නිවසියන් හට නිවෙස් තුළට ම වී සිටින ලෙසටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටිනවා.

මෙම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථවාහන සහ මහජනයා හට විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙසටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.

++++++++

වෙඩි තැබීමට සිදු වුයේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහායි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි

(19.04.2022 – 20:50 +0530 – hirunews.lk/sinhala)

අද (19) අලුයම සිට රඹුක්කන දුම්රිය හරස් මාර්ගයට බාධා කරමින් සිටි විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත හඬ පටයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම විරෝධතා කරුවන් හට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය වරින්වර අනතුරු ඇඟවීම් කළ ද ඔවුන් ඒ කිසිවක් ගණන් නොගෙන දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරුණු බවයි.

ඉන් අනතුරුව මෙම විරෝධතාකරුවන් දුම්රිය හරස් මග හරහා ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට ගත් උත්සාහය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීමට සිදු වූ බවත් ඔහු පවසනවා.

එමෙන්ම මෙම විරෝධතා කරුවන් විසින් ත්‍රීරෝද රථයකට ගිනි තැබූ බවත්, දේපල වලට හානි සිදු කළ බවත් ඔහු සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ප්‍රකෝපකාරී පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, ඉන් අනතුරුව විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් බවයි.

තත්ත්වය බරපතළ වීමත් සමග එය පාලනය කිරීම සඳහා පොලිසියට වෙඩි තැබීමට සිදු වී ඇති බවත් මෙම වෙඩි තැබීම් හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ඔහු නිකුත් කළ හඬපටයේ සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ගල් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද රෝහල් ගත කර තිබෙනවා.

අද (19) උදෑසන සිට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහා තව පවසනවා නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව අටක් (8) බවයි.

ඔවුන් ද ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන දුම්රිය හරස් මාර්ගයට බාධා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සිදු කළ විරෝධතාව පාලනය කිරීමට යෑමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මෙහිදී විරෝධතාකරුවන් දුම්රිය හරස් මග හරහා ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීම සඳහායි පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තත්ත්වය තවත් බරපතල වූ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර බරපතළ ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම ගැටුම් පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය විසින් ජීව උණ්ඩ භාවිත කරමින් වෙඩි තබා ඇති අතර මේ හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතල තුවාල ලැබූ තවත් සිව් (4) දෙනෙකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

++++++++

රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිගෙන් නිවේදනයක්

(19.04.2022 – 23:03 +0530 – sinhala.adaderana.lk)

රඹුක්කනදී විරෝධතාකරුවන් පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී පොලීසියට අවම බලය භාවිත කිරීමට සිදුවූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

රඹුක්කන විරෝධතාවය අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා පැවසුවේ පොලීසිය බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සෙවීමට අමාත්‍යාංශ මට්ටමින් පියවර ගෙන ඇති බවය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා :

“පැය 12 කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළා.”

“ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් හරහා විසුරුවා හැරීමට කටයුතු කළා.”

“තවදුරටත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ව මැඩපැවැත්වීම සඳහා පියවර ගත්තා.”

“එහිදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළා.”

“එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද එහිදි බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළා.”

“එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.”

“තවදුරටත් පොලිස් ඇඳිරීනීතිය පැනවීමටත් කටයුතු කළා.”

මෙහිදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් සිදු කිරීමට මා විසින් කටයුතු සිදුකරනවා.”

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා :

“කලහකාරී පිරිස ඉන්ධන ලීටර් 33,000 කට අධික බවුසර් රථය ගිනි තැබීමට කටයුතු කළා නම් විශාල හානියක් සිදුවෙන්න තිබ්බා.”

“පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කළා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මා විසින් මණ්ඩලයක් පත් කිරීමට පියවර අරගෙන තියෙනවා.”

++++++++

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට ජාත්‍යන්තරයේ දැඩි කනස්සල්ල

(19.04.2022 – 21:31 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති වරිය සිය දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපතිවරිය වන ජූලී චන්ග් පවසන්නේ රඹුක්කන ප්‍රදේශයේ හටගත් සිද්ධියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට සහ කනස්සල්ලට පත්ව ඇති බවයි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තමන් සහමුලින් හෙළා දකින බවත් පොලිසිය සහ විරෝධතාකරුවන් වඩාත් සංයමයෙන් හැසිරිය යුතු බවත් ඇය එම පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඇමරිකානු තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටුකර දීම සියලු පාර්ශවයන්ගේ වගකීම බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලය සඳහන් කරන්නේ මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් අවම තරමින් එක් (1) පුද්ගලයකු මියගොස් දහයකට (10) වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත් බලධාරීන් සැමවිටම අ්‍යවශ්‍යම මොහොතක දී හැර මෙවැනි ක්‍රියාවන් සඳහා යොමු නොවිය යුතු බවත් එම පණිවිඩයේ සඳහන්.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට සහන සලසන ලෙසත් එම පණිවිඩයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉල්ලා සිටිනවා ෴

++++++++

ගෝඨාභය ඔබ අද IMF එකෙන් පත්තු වුනු ටෝච් එක නිමලා දැම්මා – නාගානන්ද සංවේදී වෙයි (19.04.2022)

++++++++

19-04-2022

++++++++++

රඹුක්කන සිද්ධියේ නොදුටු දසුන්- තේරුම් ගන්න පුලුවන්නම් මෙන්න ඇත්ත (20.04.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *