තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට

*********************************************

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට

(19.04.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (19) දින සිට රුපියල් 40 කින් ඉහළ දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා ගැනිමේ දි සෑම කිලෝවකටම රුපියල් 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

නව මිල වැඩි කිරිමත් සමග තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 – රු 250 දක්වා ඉහළ යන බව අලෙවි නියෝජිතයන් පවසනවා.

මේ අතර සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ, මෙම මිල ඉහළ දැමීම හේතුවෙන් සියලුම කෙටි කෑම ඇතුළු ආහාර පානවල මිල 20% කින් ඉහළ දැමීමට සිදු වී ඇති බවයි.

මේ අනුව රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල මෙලෙස සියයට 20 කින් ඉහළ යනු ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

දැනට වෙළෙඳපොළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිඟු පිටි ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බව ද බේකරි හිමියන් සඳහන් කළා.

සෙරෙන්ඩිබ් තිරිඟු පිටි සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා ෴

***************************************

පාන් මිල ඉහළට

(19.04.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රුපියල් 75 සිට ඉහළ විවිධ මිල ගණන්වලට අලෙවි වූ ග්‍රෑම් 450 ක් බරැති සාමාන්‍ය පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ යනු ඇති.

එමෙන්ම රුපියල් 100 ට වැඩි විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ කෙටි කෑම නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන පාන් රාත්තලක මිල ගණන් ප්‍රකාශයට පත් කර නැහැ.

එමෙන්ම, අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද රුපියල් 10 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරය ඉහළ යාමට සාපේක්ෂව ආපනශාලාවල ආහාර මිල ගණන් සියයට 20 කින් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල මෙලෙස සියයට 20කින් ඉහළ යනු ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද (19) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

***************************************

හෙට (20) පාසල් දරුවන් ප්‍රවාහනයෙන් ඉවත් වෙනවා – සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

(19.04.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරනය හේතුවෙන් හෙට (20) දිනයේ සිය සංගමයට අයත් සියලුම සහ සාමාජිකයන් පාසල් දරුවන් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම්වරයා සඳහන් කර සිටියේ හෙට (20) දිනයේ රට තුළ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීන්දුවක් ගන්නා බවයි ෴

***************************************

ජනතා හිතවාදී පාලනයක් පිහිටුවා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවිය යුතුයි – අකුදි

(19.04.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ජනතා හිතවාදී පාලනයක් පිහිටුවා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩුවට එරෙහිව දින තුනක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතා පා ගමන අවසන් කරමින් කොළඹ පැවති ජන රැළිය අමතමින්.

‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාව යටතේ ජාතික ජන බලවේගය දින තුනක් (3) පුරා ක්‍රියාත්මක කළ විරෝධතා පා ගමන පෙරේදා බේරුවල සිට වාද්දූව දක්වා පැමිණියා.

අනතුරුව වාද්දූව නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන ඊයේ (18) අවසන් කෙරුණේ මොරටුව නගරයෙන්.

මෙහි අවසන් දිනය වු අද (19) විරෝධතා පා ගමන මොරටුව නගරයෙන් ආරම්භ වුණා.

ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඇතුලු පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියා.

කොළඹ – පුරහල ප්‍රදේශයෙන් අවසන් වූ විරෝධතා පා ගමනෙන් අනතුරුව ජන රැළියක් ද පැවැත්වුණා.

කොළඹ – පුරහල අසල පැවැත්වෙන මෙම රැළිය හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණ තුන්වන දිනට අද (19) පෙරවරුවේ විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවේ මොරටුව – සොයිසාපුර ක්‍රීඩාංගනයෙන්.

මේ අතර, රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ගාලු මුවදොර පැවැත්වෙන ජනතා විරෝධතාව අද (19), 11 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර ගාලු මුවදොර පැවැත්වෙන විරෝධයට සහය පළකරමින් රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ද අද (19) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර අද (19) පස්වරුවේ ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනින් ගාලු මුවදොරට පැමිණියා ෴

***************************************

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට පියවර

(19.04.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ඊයේ (18) මෙරටට ළඟාවූ ගෑස් මෙටි‍්‍රක්ටොන් 1700 ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් අද (19) දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බවටයි ලිට්රෝ සමාගම සදහන් කළේ.

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පවතින ගැස් හිගය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටිනවා.

දිවයින පුරා ගෑස් අලෙවි නියෝජිතහල් අසළ අදත් (19) පෝලිම් දැකගත හැකිවුණා ෴

***************************************

ජනපති ලේකම් නිවෙස අසල ටයර් පුළුස්සා විරෝධයක්

(19.04.2022 – 19:31 +0530 – lankadeepa.lk)

හක්මන නගරයේ උද්ඝෝෂණයක නිරතවූ පිරිස ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ හක්මන කැබිලියපොල පිහිටි නිවස අසලට ගොස් විරෝධතාවයක නිරතවූහ.

හක්මන නගරයට පිවිසෙන සියළුම මාර්ග ස්ථාන කිහිපයකින් වසාදමා උද්ඝෝෂණයේ නිරතවූ පිරිස බෙලිඅත්ත මාර්ගය ඔස්සේ ගමන් කර කැබිලියපොල පිහිටි ජනාධිපති ලේකම්වරයාගේ නිවස වන අලවත්ත වලව්වට ඇතුළුවිමට උත්සාහ කළ අතර පොලිසිය එම උත්සහාය වැළැක්වීමට කටයුතු කළේය.

පසුව නිවස පිහිටි භූමියට ඇතුළු වන මාර්ගයේ ටයර් පුළුස්සමින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට විරෝධය පලකරමින් සටන් පාඨ කියමින් විරෝධය පලකළහ.

***************************************

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා ගැන ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් කියයි

(19.04.2022 – 18:17 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ‘කුමන්ත්‍රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා කළ ප්‍රකාශය හේතුවෙන් හිටපු නිතිපතිවරයා මහජන කැළඹීමක් ඇතිකිරීමට ප්‍රධාන වගකිවයුත්තා බවත්, පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් අද (19) ප්‍රකාශ කළේය.

හිටපු නිතිපතිවරයා විශ්‍රාම යෑමට මාස දෙකකට (2) පෙර මෙම ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුව ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.

සිය සේවා දිගුව දීර්ඝ නොකිරීම හේතුවෙන් හිටපු නිතිපතිවරයා උරණවී එවැනි ප්‍රකාශයක් සිදුකිරීම නිතිපතිවරයකුට නොගැලපෙන ක්‍රියාවක් බවත්, සිය තනතුරේ වසර දෙකක් (2) පමණ ගත කර විශ්‍රාම ගනිද්දි එවැන්නක් ප්‍රකාශ කිරීම නින්දිත ක්‍රියාවක් බවත් ජනාධිපති නිතීඥවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති නිතීඥවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව සදහා ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් සමඟ ජනාධිපති නිතීඥ යූ.ආර්. ද සිල්වා ද සහභාගී වී සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද එරෙහිව හිටපු නිතිපති දප්පුල ලිවේරා විසින් අධිචෝදනා ගොනු නොකළේ මන්දැයි යන්න ගැටලුවක් බව ජනාධිපති නිතීඥ යූ.ආර්. සිල්වා මෙහිදී පැවසීය.

නොසැලකිලිමත්කම යනු සිවිල් වගකීමෙන් එහා ගිය එකක් බවට සාක්ෂි ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රටේ නිතිපතිවරයා බැඳී සිටින බවද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මෙසේද ප්‍රකාශ කළේය :

“පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු වාර්තාවේදී නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් කියා සිටියා ඔහුට අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුර තොරතුරක් මිස එය බුද්ධි තොරතුරක් නොවෙයි කියලා. ඔහු කියනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට සහ පොලිස්පතිවරයාට අප්‍රේල් 07 වැනිදා මේ සම්බන්ධයෙන් ලියුම් යොමු කළා කියලා. ඔහු කියනවා මේක බුද්ධි තොරතුරක් බවට පත්වුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 04:22 ට ලු. ඔහු බැරිවෙලාවේවත් මේක කියලා ගැහැව්වේ නැත්නම් ඔහුට ගෙදර යන්න වෙනවා කියලා ඔහු කිව්වා. එක රාජ්‍ය නිලධාරියෙක්ගේ වරදක් නිසා අපේ රටේ ජීවිත 200 ගානක් නැති වුණා. 500 කට වැඩිය මිනිස්සු තුවාල කාරයෝ වුණා. මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන. ඔහු තමන්ගේ රැකියාව බේරගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.”

***************************************

ඩයස්පෝරාවේ ලනු කාලා ව්‍යවස්ථා සංශෝධන ගේන්න ලෑස්ති වෙන්න එපා! – අපට මරාගෙන මැරෙන්න සිදුවෙනවා – ජාතික සංවිධාන අගමැතිට තර්ජනය කරයි

(19.04.2022 – 10:25 +0530 – lankaleadnews.com)

ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනය පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතයයි :

“අපි දන්නවා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමඟ එකඟ වෙලා තියෙනවා ව්‍යයවස්ථා සංශෝධන කප්පමක් දෙන්න. ඔවුන් හදන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය නැවත වතාවක් සංශෝධනය කරන මුවාවෙන් 13 වන ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කරන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුලත් කරන්න.

එදා 19 වන ව්‍යයවස්ථාව ගෙන එන අවස්ථාවේදී කාරක සභාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40 ක් පමණ ඇතුල් කළා පැය දෙකක් (2) ඇතුලත. ඒ වැඩේ කළ අයියල ටික සහ ඒ දෙස අසරණව බලා සිටි මල්ලිලා ටික තාම පාර්ලිමේන්තුවේ ඉන්නව. අපි ආණ්ඩුවට දැඩි ලෙස අණතුරු අඟවනවා ඒ බලු පාවා දීම කරන්න ලෑස්ති වෙන්න එපා කියලා.

අග්‍රාමාත්‍යය කාර්යාලය කියන්නේ අගමැතිමද දන්නේ නැහැ. සමහරවිට එතන ඉන්න ඒජන්තවරු අගමැතිගේ නමින් ප්‍රකාශ නිකුත් කරනවද දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මේ පාපයට කර ගැහුවොත් ඔහු ඉතිහාසයට එකතු වන්නේ ද්‍රෝහියෙකු ලෙස මිස වීරයෙක් ලෙස නොවෙයි. ආණ්ඩුවට ජනවරම තියෙන්නේ නව ව්‍යයවස්ථාවකට මිස කූඨ ව්‍යයවස්ථා සංශෝධනයකට නොවෙයි.”

***************************************

කොළඹ ඉතාලි වීසා කාර්යාලයේ වැඩ මන්දගාමී බවට චෝදනා

(19.04.2022 – 15:43 +0530 – sinhala.adaderana.lk)

කොළඹ කොල්ලුපිටියේ පිහිටා ඇති ඉතාලිය සඳහා වීසා නිකුත් කරන කාර්යාලයේ අද (19) දිගු පෝලිමක් දක්නට ලැබුණි.

එම ස්ථානයට පැමිණි ශ්‍රී ලාංකිකයින් පවසන්නේ, ඉතාලි වීසා නිකුත් කිරීම සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇති බවය.

දින ගණනාවක් තිස්සේ කොල්ලුපිටියේ ඉතාලි වීසා නිකුත් කරන කාර්යාලය අසල එලෙස දිගු පෝලිම් දක්නට ලැබුණි.

එම ස්ථානයට පැමිණි පිරිස් පවසන්නේ, කාර්යාලයේ කටයුතු ඉතා මන්දගාමීවීමෙන් වීසා නිකුත් කිරීම ප්‍රමාදවී ඇති බවය.

එහිදි අදහස් දැක්වු අයදුම්කරුවෙකු පැවසුවේ ඉතාලි වීසා කාර්යාලය විසින් ඔහුට ලබාදුන් අංකය අනුව මාස 4 කට අධික කාලයක් බලා සිටිය ද සිය අවශ්‍යතාව ඉටු කරදීමට ඉතාලි වීසා කාර්යාලය අපොහොසත් වු බවය.

එමෙන්ම, ඉතාලියේ පිහිටි තානාපති කාර්යාලයෙන් සිදුකරන දැනුම්දීම් සඳහා ද ප්‍රතිචාර දැක්වීමට ඉතාලි වීසා කාර්යාලය විසින් මඟහැර ඇති බවටද පැමිණ සිටි අයදුම්කරුවන් චෝදනා කළේය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු වීසා අයදුම්කරුවන් කිහිපදෙනෙක්,

“මම ඉතාලි වීසා ගන්න ඇවිල්ලා දැනට මාස 3 ක් විතර, දැන් 4 වන මාසයත් පහුවෙලා. නොම්බර පිළිවෙලට මාස 3 ක් විතර හිටියා. හැමදාම නම්බර් එක කපනවා.”

“මම 2021 ජූලි දැම්මේ එතකොට මගේ පුතාගේ අවුරුදු 18 ඉවර වෙනවා එතකොට ආය ඉල්ලන්න බෑ. මේකට සාධාරණයක් නෑ. ඉතාලියේ ඉඳලා එම්බසියෙන් එගොල්ලන්ට ඊ මේල් ගහනවා කිසිම උත්තරයක් නෑ. මම ආවාම මට උත්තර දෙන්න බෑ කියලා එළියට දානවා.”

“මම ඉතාලියේ දැන් අවුරුදු 20 ක් වැඩ කරනවා. මගේ පුතාට තමයි මම මෙක දැම්මේ. මම කියන්නේ මෙතන සිස්ටම් එකක් හදන්න ඕනේ. සමහර අය මෙතන නිදා ගන්නවා. සමහර අය මෙතන කාමර අරගෙන තියෙනවා. සමහර අය මාස ගණන් මෙතන ඉන්නවා. කරුණාකරලා බලධාරින්ගෙන් ඉල්ලනවා මෙතන වෙන දේ ඇවිල්ලා බලන්න ඔය ගොල්ලෝ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *