ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා

*********************************************

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා

(19.04.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල, මාවනැල්ල, ගාල්ල, බදුල්ල – කොළඹ මාර්ගය හපුතලෙන්, සහ මාතර යන නගරවල මාර්ග ද අද (19) උදෑසන සිට අවහිර වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා හේතුවෙන්.

මීට අමතරව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

එමෙන්ම ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ සේවකයින් ද අද (19) උදෑසන ධාවනයෙන් ඉවත් වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින්.

***************************************

බස් ගාස්තුත් ඉහළට ? – සිපෙට්කෝත් ගණන් උස්සයි

(19.04.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 84 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 338 ක්.

මීට අමතරව ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටයක මිල ද රුපියල් 90 කින් ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 373 ක්.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 113 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 289 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 75 කින් ඉහළ නැංවීමත් සමග එහි නව මිල රුපියල් 329 ක් දක්වා ඉහළ ගියා.

පෙරේදා (16) සිට ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන්වල ද මිල ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් සම මට්ටමට පැමිණ තිබෙනවා.

මේ අතර, ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා සියල්ල ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීමටත් අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඩීසල්, පෙට්‍රල් මිල ඉහළ යාම සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව තවමත් පීඩාවට පත්ව සිටිනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් අලෙවිසැල් වසා දමා ඇත්තේ ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන්.

විවෘතව තබන ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ඇතුළු ප්‍රවාහන සේවාවලට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

එමෙන්ම, ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (18) ප්‍රකාශ කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම නතර කර ඇති බවයි.

කෙසේ වෙතත්, වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර ඊයේ (18) දින මෙට්‍රික් ටොන් 1700 ක් අඩංගු ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

එහි අඩංගු ගෑස් අද (19) දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බවටයි ලිට්රෝ ගෑස් සමාගම සදහන් කළේ.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයත් සමග අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

+++++++++

ප්‍රදේශ කිහිපයක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

(19.04.2022 – 09:25 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බවයි.

මේ අතර අද (19) උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ සිදු කරන විරෝධතාවක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සදහන්.

+++++++++

ඉන්ධන මිලට එරෙහිව ත්‍රිරෝද රථ හිමියන් විරෝධතාවක

(19.04.2022 – 11:35 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රධාන නගර රැසකම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඇතැම් බස් රථ සේවකයින් අනෙක් බස් රථවලට ද ධාවනය කිරීමට ඉඩ නොදී මාර්ග ද අවහිර කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, රඹුක්කන, අම්බලන්ගොඩ, හැටන්, හලාවත ආදී නගර රැසකම අද (19) උදෑසන සිටම විරෝධතා දියත් කෙරුණේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ හේතුවෙන් හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය, කොළඹ – කතරගම ඇතුළු තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වුණා.

මීට අමතරව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයෙන් සිදුකළ විරෝධතාවක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මේ අතර, ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින් ත්‍රිරෝද රථ හිමියන් ද විරෝධතාවක නිරත වුණා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම බස් සංගම්වල නියෝජිතයින් සදහා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද (19) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, අද (19) දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් පැවසුවේ, දිවයිනේ වැඩබිම්වල නියැලෙන සියලු දෙන අද (19) දින වැඩ බිම් වර්ජනය කොට, අරගලයට එක්වන බවයි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත ජාතික කළු විරෝධතාව හා උද්ඝෝෂණ මාලාව හෙට (20) පස්වරු 12:30 – 01:30 ට සියලුම දිස්ත්‍රික්කයන්හි දී ආරම්භ වනු ඇති.

එම දිස්ත්‍රික්ක ලැයිස්තුව අනුව අරගලයට එක්වන දිස්ත්‍රික්ක ලෙස දක්වා ඇත්තේ, අනුරාධපුරය – බැංකු වටරවුම,
අම්පාර – රීගල් හන්දිය, බදුල්ල – බස්නැවතුම්පොළ අසල, මඩකලපුව – ගාන්දී පාක්, ගාල්ල – බස්නැවතුම්පොළ ඉදිරිපිට, ගම්පහ – මිරිස්වත්ත හන්දිය, හම්බන්තොට – අම්බලන්තොට ඔරලෝසු කණුව අසල, කලුතර – මහජන බැංකුව අසල, මතුගම ඔරලෝසු කණුව ඉදිරිපිටදී, මහනුවර – ඔරලෝසු කණුව ඉදිරිපිට ලංකා බැංකුව ඉදිරිපිට, කෑගල්ල – කඩවීදිය, කුරුණෑගල – ඔරලෝසු කණුව අසල, මාතලේ – ඔරලෝසු කණුව අසල, මාතර – සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසල, මොණරාගල – ඔරලෝසු කණුව අසල, නුවරඑළිය – තැපැල් කාර්‍යාලය ඉදිරිපිට, හැටන් – මල්ලි අප්පු මංසන්දියේදී, යාපනය – කච්චේරිය ඉදිරිපිට, වව්නියාව – කාර්ගීල්ස් ඉදිරිපිට, ත්‍රිකුණාමලය – බස්නැවතුම්පොළ අසල, පොලොන්නරුව – කදුරුවෙල දුම්රිය පොළ ඉදිරිපිට, පුත්තලම – හලාවත නගරය සහ රත්නපුර – මහජන බැංකුව ඉදිරිපිට දී මෙම දැවැන්ත උද්ඝෝෂණ රැළිය ඇරඹෙනු ඇති.

***************************************

බස් ගාස්තු ඉහළට

(19.04.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු 35% ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ, බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව එක්ව ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී රුපියල් 20 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළ දැමීමට අවසර දී තිබෙනවා ෴

***************************************

විරෝධතාවක් නිසා ගාලු පාරේ ගමනාගමනයට බාධා – මහනුවරත් උණුසුම්

(19.04.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් නිසා ගාලු පාරේ – බෙන්තොට ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම තෙල් ඉල්ලා සිදු කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කැස්බෑව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ද වාර්තා වනවා.

මේ අතර, පාසල් අවසන් වී නිවෙස් වෙත යමින් සිටි පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රියකට කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් මග හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් මහනුවර සිට වව්නියාව දක්වා ගමන් කිරීමට සූදානම් වූ ලංගම බස් රථයක් වටකර ගනිමින්, එහි රියැදුරුට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

නමුත් එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් විසින් බස් රථයේ ගමන් ගන්නා පාසල් සිසුන්ට නිදහසේ යන දෙන ලෙස බලකරමින්, බස් රථය මුදා හැරීමට ක්‍රියා කරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

බහින්බස් වීම දුරදිග ගොස් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර, ගැටුම සමථයකට පත්කොට, බස් රථය මුදා හැරීමට පොලීසිය කටයුතු කළා.

***************************************

බෙන්තොටින් අවහිර වූ ගාලු පාරේ වාහන ගමනාගමනය යථා තත්ත්වයට

(19.04.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් බෙන්තොට ප්‍රදේශයෙන් අවහිර වී තිබූ ගාලු පාරේ රථවාහන ධාවනය මේ වනවිට යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර රථවාහන ධාවනය කළ හැකි පරිදි මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කරගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් පැය කිහිපයක් වාහන ගමනාගමනය අත්හිටුවා තිබූ නිසා ප්‍රදේශයේ රථවාහන තදබදයක් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් කැස්බෑව නගරයේ මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා ෴

***************************************

විරෝධතාවක් නිසා බත්තරමුල්ල, රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක්

(19.04.2022 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත සහ කෝට්ටේ ප්‍රදේශවල රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ජාතික ජනබලවේගයේ විරෝධතා පා ගමන හේතුවෙන් තුන්මුල්ල අවට මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ නැංවිමට විරෝධය පල කරමින් මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් වසා දැමූ පිරිස විසිරුවා හැරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දිවයිනේ ප්‍රධාන නගර රැසකම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අද (19) විරෝධතා ක්‍රියාත්මක වුණා.

රැකියා සඳහා පිටත්වුණු පිරිස් මෙන්ම පාසල් පැමිණි දරුවන්ද මේ හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූ අතර, ඇතැම් ආයතන කාර්යාල වේලාව අවසන් වීමට පෙර සිය සේවකයින්ට නිවෙස් වෙත යාමට අවස්ථාව සළසා දී තිබුණා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්වී තිබුණේ බස් රථ ප්‍රධාන මාර්ග හරහා හරස් කරමින්.

එමෙන්ම ත්‍රිරෝද රථ සහ වෙනත් වාහන මාර්ග රැසකම ධාවන කටයුතු අවහිර වන සේ හරස් කර පිරිස් විරෝධතාවල නිරතවී තිබුණා.

ගාල්ල, මාතර, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, රඹුක්කන, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම එවැනි විරෝධතා පැවැත්වුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ හේතුවෙන් හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය, කොළඹ – කතරගම මෙන්ම ගාලු පාරේ ස්ථාන කිහිපයකද ගමනාගමනයට බාධා එල්ල වුණා. පස්වරුවේ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ විරෝධතාවයේ නිරතවූ අතර, ඒ හේතුවෙන් බත්තරමුල්ල සහ රාජගිරිය අවටද රථවාහන තදබදයක් හටගත්තා.

විරෝධතාවක් හේතුවෙන් බෙන්තොට ප්‍රදේශයෙන් අවහිර වී තිබූ ගාලු පාරේ රථවාහන ධාවනය පස්වරුවේ යළි ආරම්භ කෙරුණේ පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර රථවාහන ධාවනය කළ හැකි පරිදි මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කරගැනීමත් සමඟයි.

එමෙන්ම හැටන් – දික්ඔය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් හැටන් – බගවන්තලාව මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා.

හපුතලේ නගරයෙන් දුම්රිය මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ලවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවූ අතර, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල දැමුණේ රුපියල් 84 කින්. ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 338 ක්.

මීට අමතරව ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 90 කින් ඉහළ නංවා තිබූ අතර, එහි නව මිල රුපියල් 373 ක්. ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 113 කින් ඉහළ නංවනු ලැබුවා. එහි නව මිල වන්නේ රුපියල් 289 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 75 කින් ඉහළ නැංවීමත් සමග එහි නව මිල රුපියල් 329 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන ලබාගැනීම සඳහා අදත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *