බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි

බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි

*********************************************

බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි

(18.04.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගලට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙස සිදුකළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළා.

අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ වසර 2006 සහ 2015 අතර කාලයේ අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුල්‍ය ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනුකළ නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයින් විසින්.

ඔවුන් ඉල්ලා සිටින ගුවන් ගමන් තහනම නිකුත් කළ හැක්කේ චුදිතයින් සම්බන්ධයෙන් පමණක් බව එහිදී අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල පැමිණිලි පාර්ශවයේ නීතිඥයින්ට දැනුම් දුන්නා.

මේ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මැයි මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යළි සිතාසි නිකුත් කළා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය හමුවේ අද (18) පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණත් ඔහු අද (18) අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අද (18) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර තිබූ සිතාසිය ලැබුණු බවයි.

මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න පැවසුවේ විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී නොසිට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කළා.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළා.

පැමිණිල්ලේ නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඉදිරියේදී මෙම නඩුවේ සාක්ෂි කරුවන් වශයෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු නම් කිරීමට නියමිත බවයි.

බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව සිටින බවටත් ඔහූට විදේශගත වීම සඳහා රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් යානාවක් රඳවා තිබෙන බවටත් තොරතුරු ප්‍රචාරය වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ ගුණරත්න මහතා හිටපු මුදල් අමාත්‍යවරයාට සහ ලේකම්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ බැසිල් රාජපක්ෂ සහ එස්.ආර්. ආටිගල යන අයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ චූදිතයින් සම්බන්ධයෙන් පමණක් බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

2006 ජුලි මස 01 වැනිදා සිට 2015 ජනවාරි මස 08 වැනිදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින්, අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමෙරිකානු එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අජිත් නිවාඩ් කබ්රාල් සාපරාධී වරදක් සිදු කර ඇති බවට මෙම නඩුවට අදාළ පැමිණිල්ලේ සදහන්.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැදූම්කර තුළින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදු කිරීම ද මෙම පැමිණිල්ලෙන් එල්ල කර ඇති තවත් චෝදනාවක්.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතුවලින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10.04 ක පාඩුවක් සිදු කර ඇති බවද පැමිණිල්ලේ සඳහන්.

මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ෴

***************************************

සීනි බදු වංචාවට විගණකාධිපතිගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිසම

(18.04.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 16 ට අධික මූල්‍ය අලාභයක් සිදු කළ සීනි බදු වංචාව පිළිබඳව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටිනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2020 ඔක්තෝබර් 13 වැනි දින එතෙක් සීනි කිලෝවකට රුපියල් 50 ක්ව පැවැති බදු මුදල කිලෝවකට ශත 25 ක් දක්වා හදිසියේ අඩු කරනු ලැබුවා.

ඒ හරහා මෙරටට අහිමි වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 16.763 ක් බව එම වාර්තාව පෙන්වා දුන්නා.

මෙම අසීමිත බදු සහනය හරහා මෙරට ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකු වන පිරමීඩ් විල්මා (Pyramid Vilma) සමාගම වාර්තාගත ලාභයක් උපයා ගැනීමට සමත් වී ඇති බවත් එම විගණන වාර්තාවේ සඳහන්.

එම වාර්ථාවේ සඳහන් වන ආකාරයට පිරමීඩ් විල්මා (Pyramid Vilma) සමාගම 1,222% ක ලාභයක් ලබාගෙන තිබෙනවා.

එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ අදාළ බදු මුදල් අඩු කිරීම හරහා උපයාගත් ලාභය සමස්ත පාරිභෝගිකයින් වෙත බෙදී ගොස් නොමැති බවට තහවුරු වන බවයි.

ඒ හේතුවෙන් මෙම බදු සහනය හරහා ලබාගත් අසීමිත ලාභය රජය විසින් සීනි ආනයනය කරනු ලබන සියලු ව්‍යාපාරිකයින්ගෙන් අය කර ගතයුතු බවට විගණකාධිපති වාර්තාව නිර්දේශ කරනවා.

අදාල බදු අඩු කිරීම හරහා සීනි ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයින් හට ලැබුණු අධික ලාභය සාමාන්‍ය පාරිභෝගික ජනතාව වෙත ගලා නොයෑම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහායි මෙම විශේෂ විගනණය සිදු කරනු ලැබුවේ.

රජය විසින් සිදුකළ මෙම හදිසි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අයත් ලංකා සතොස සමාගමට රුපියල් කෝටි සියයකට (100) අධික අලාභයක් විඳීමට සිදුවී ඇති බවත් මෙම විගණනනන වාර්තාව හරහා හෙළිදරවු කර ගෙන තිබෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ කියා සිටියේ මෙම බදු අඩු කිරීම් හරහා අසාධාරණ සහ අත්තනෝමතික ලෙස රාජ්‍ය බලය භාවිතා කිරීමෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

එබැවින් හැකි වහාම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වහ වහා පියවර ගත යුතු බවටත් ඇය අවධාරණය කරනවා.

***************************************

අභාවයට යන මතු පරපුරේ ජාතික උරුම

(18.04.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ප්‍රෞඪ ඓතිහාසික උරුමයකින් හෙබි ස්ථාන බලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් විනාශ වීම පිළිබඳව අප අවස්ථා ගණනාවකදීම රටට වාර්තා කර තිබෙනවා.

මේ තොරතුරු, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් පොළොන්නරුව යුගයට අයත් වටදාගෙයෙහි පිහිටි සුවිශේෂි සඳකඩපහණට අත්ව ඇති ඉරණම පිළිබඳවයි.

මේ ඓතිහාසික පොළොන්නරුව යුගයට අයත් වටදාගෙයයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ වන්දනාමානයට ලක්වන දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙස සැළකෙන පොළොන්නරුව යුගයට අයත් දළදා මළුව ආසන්නයේ පිහිටි වටදා ගෙයෙහි ස්ථාපිත මෙම සුවිශේෂි සඳකඩපහණේ කැටයම් මේ වනවිට මැකී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත මෙම ස්ථානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් රැසක් පැමිණෙනවා.

මේ වනවිටත් සැලකිය යුතු ප්‍රමාණයකින් කැටයම් මැකී යාමේ අවදානමට ලක්ව තිබෙන මෙම සඳකඩපහන පිළිබඳව සංචාරක මඟපෙන්වන්නන් පැහැදිලි කරන්නේ අනුරුවක් අතැතිවයි.

පෞරාණික වස්තුවක් වන මෙම සඳකඩපහණ ගෙවීයාමේ තත්ත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් විසඳුමක් නොමැති බවයි සංචාරක මඟපෙන්වන්නන් සඳහන් කරන්නේ.

මෙරට ඓතිහාසික උරුමයන් අනාගත පරපුරටත් බලා ගැනීමට හැකි පරිදි සංරක්ෂණය කිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද?

***************************************

IMF ආධාර ලබා ගැනීමට දේශපාලන ස්ථාවරත්වය බලපාන්නේ නැහැ – ආර්ථික උපදේශක ශාන්තායනන් දේවරාජා

(18.04.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය මෙරටට ලැබීමට ආසන්න වශයෙන් තවත් මාස 6 සිට 9 දක්වා කාලයක් ගත වනු ඇති බවට ආර්ථික උපදේශක ශාන්තායනන් (ශාන්ත) දේවරාජා පවසනවා.

ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ එඩ්මන්ඩ් ඒ. වෝල්ෂ් විදේශ සේවා පාසලේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මහාචාර්යවරයෙක් වන ශාන්තායනන් දේවරාජා හෙට (19) ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හිදී ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡාවන් සඳහා එක්ව සිටින උපදේශක මඩුල්ලේ සාමාජිකයෙක්.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් ඊට එක්වන අතර ආර්ථිකය යථාවත් කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා හෙට ඇරැඹෙනු ඇති.

හෙට (19) පැවැත්වෙන සාකච්ඡාවන්හි ස්වභාවය සහ මෙරට පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳවව අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ රටක දේශපාලන ස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානවලින් අරමුදල් ලබාගැනීමට කිසිදු විටෙක බාධාවක් නොවන බවයි.

ආධාර ලබා දීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන විශේෂයෙන් ම අදාළ රටවල රජයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව බදු වැඩි කිරීම්, වියදම් කපා හැරීම්, දුප්පතුන් සඳහා ඉලක්ක කරගත් වැඩසටහන් ආදිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු කියා සිටියා.

අරමුදල් මුදා හැරීමේදී ඔවුන්ට එය සුළුතර ආණ්ඩුවක් හෝ ආන්තික බහුතර ආණ්ඩුවක් ද යන කරුණු එතරම් ව වැදගත් නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.

එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකාව සිය ආපසු ගෙවීමේ වගකීම් ඉටු කළ නොහැකි බව මහ බැංකුව විසින් සියලුම ණය කරුවන්ට ප්‍රසිද්ධියේ සහ විධිමත් ලෙස දන්වා ඇති බැවින්, මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානවලින් අරමුදල් ලබා ගැනීමේ අවස්ථා වැඩි කරන බවත් ඔහු කියා සිටියා ෴

***************************************

ගාලු මුවදොර විරෝධතාව ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි

(18.04.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම විරෝධතාව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා මතුව ඇති බවත් එබැවින් යම් මහජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වූවහොත් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළකරමින් පසුගිය 09 වැනි සෙනසුරාදා ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ (17) රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.

එහිදී විරෝධතාකරුවන් ආලෝක ප්‍රක්ෂේපණ පද්ධති යොදා ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන තිබුණා.

මේ අතර රටට සෙත් ප්‍රර්ථනා කරමින් ඊයේ (17) රාත්‍රියෙත් විරෝධතා භූමියේ දී ශන්තිකර්ම පැවැත්වුණා.

විරෝධතා භූමියේදි වේදිකා නාට්‍ය ඉදිරිපත් කිරිම සඳහා නව එළිමහන් රංග පිඨයක් ද ඉදි කර තිබෙන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර පාස්කු ඉරිදාව යෙදි තිබු ඊයේ (17) රාත්‍රියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මලල ක්‍රීඩක සජිත් මධුරංග විරෝධතා භූම්යේදී සත්‍යග්‍රයක් ආරම්භ කළ අතර මීට පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා සහ රංගන ශිල්පිණී විශාඛා ජයවීර ද එම ස්ථානයේ සත්‍යග්‍රහයේ නිරත වුණා.

මේ අතර රඹුක්කනල දියසුන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි එස්.පී. වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් සහ ගාලු මුවදොර විරෝධතාවට සහය පළකිරීම සඳහා රඹුක්කන සිට ගාලු මුවදොර දක්වා පාගමනක් ආරම්භ කළා.

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ද වන එස්.පී. වික්‍රමසිංහ ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද (18) විරෝධතා භූමියේ නිරීක්ෂණයකට එක්වුණා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රට තුළ පවතින තත්ත්වය මත මහජනතාව පත්ව ඇති අතිදුෂ්කර තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිසම බලවත් සංතාපයට පත්ව ඇති බවයි.

ගාලු මුවදොර විරෝධතාවයට සහය පළ කරමින් තවත් ප්‍රදේශ කිහිපයකදී ජනතා විරෝධතා සංවිධාන කර තිබුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවකින් පසු එම පිරිස පා ගමනින් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ සංදේශයක්ද භාර දුන්නා.

***************************************

ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන මොරටුවට

(18.04.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමන මොරටුව නගරයෙන් අද (18) දිනය සදහා අවසන් කෙරුණා.

‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම විරෝධතා පා ගමන අද (18) දෙවැනි (2) දිනට ආරම්භ වූයේ වාද්දූව නගරයෙන්.

ඊට එම පක්ෂයේ නියෝජිතයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියා. කොළඹ පුරහල දක්වා ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන පැමිණීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *