ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

*********************************************

ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

(18.04.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමුව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළා.

පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන උපරිම කාලසීමාවක් පවතින මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීම සහ සංස්ථාවේ පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා අයි.ඕ.සී. සමාගම ඔවුන් අලෙවි කරන සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහල නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගම අලෙවි කරන ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338 ක් වන අතර ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 367 ක්.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 289 ක් ලෙසයි.

ලංකා අයි.ඕ.සී. සමාගම යලිත් වරක් ඉන්ධන මිල ඉහල නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව පළ කරන්නේ දැඩි අප්‍රසාදයක්.

මේ අතර අද (18) දිනයේ පැය 3 යි මිනිත්තු 20 ක කාල සීමාවක් විදුලිය කප්පාදු කරන අතර ලිට්රෝ සමාගම අද (18) සිට සිය ගෑස් බෙදාහැරීම් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ගෑස් නොමැති වීමෙන් දිවයින පුරා ජනතාව අදත් (18) පෝලිම්වල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වුණා.

***************************************

ගෙවුණු පැය 24 තුළ අනතුරුවලින් සිව්දෙනෙකු (4) මරුට – අයෙක් අතුරුදන්

(18.04.2022 – 07:05 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත් ව අයෙක් අතුරුදන්ව තිබෙනවා.

මෙම අනතුරු සිදු ව ඇත්තේ දියේ ගිලීම් සහ රිය අනතුරු ලෙසින් බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඊයේ (17) පස්වරුවේ ගන්දර – තලල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ දියනෑමට ගිය පිරිසක් දියේ ගිලීමට යාමේදී බේරාගෙන තිබෙනවා.

එම පිරිස බේරාගැනීමේදී එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, තවත් අයෙකු අතුරුදන් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි තලල්ල දකුණ ප්‍රදේශයේ අයෙකු වන අතර, අතුරුදන් වූ තැනැත්තා 42 ක හැවිරිදි කැකණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, බණ්ඩාරගම – උයවත්ත වැවට දියනෑමට ගිය නරඹන්නන් පිරිසක් අතරින් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

මෙම පිරිස අතුරුගිරියේ සිට පැමිණ ඇති අතර, ජීවිතක්ෂයට පත් තැනැත්තා 19 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

ඔහු ඔරුවල – අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර දිවයිනේ සිදු වූ රිය අනතුරුවලින් ද පුද්ගලයින් දෙදෙනකුට (2) ඊයේ (17) දින සිය දිවි අහිමි වුණා.

අලදෙණිය – මහනුවර – පුත්තලම මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවුණා.

එම අනතුර සිදුව ඇත්තේ අලදෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් ගැටීමෙන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකාරිය 79 හැවිරිදි අයෙක්.

මේ අතර ඇඹිලිපිටිය – මොරකැටිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇඹිලිපිටිය දෙස සිට මොරකැටිය දෙසට ධාවනය වූ ලොරි රථයක එම දෙසටම ඉදිරියෙන් ගමන් කළ පා පැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් තැනැත්තා 52 හැවිරිදි මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+++++++

මෙම වසරේ පළමු (1) පාසල් වාරය අදින් (18) ඇරඹේ

(18.04.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

2022 වසර සදහා වන පළමු (1) පාසල් වාරය අදින් (18) ආරම්භ වනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ සියලු ශ්‍රේණි සදහා ඉගැන්වීම් කටයුතු අද (18) ආරම්භ කළ ද 2022 වසර සදහා පළමු (1) ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සදහා ඉගැන්විම් කටයුතු හෙට (19) සිට ඇරඹෙන බවයි.

එමෙන්ම, මුස්ලිම් පාසල් සදහා පළමු (1) ශ්‍රේණිය ආරම්භය මැයි මස 05 වනදා සිදු කෙරෙනවා.

අදින් (18) ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් පාසල් පන්ති කාමර පිරිසිදු කිරීම දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (17) සිදුකෙරුණා.

මේ අතර, අදින් (18) ආරම්භ වන මේ වසරේ පළමු (1) පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය සියලු ප්‍රවාහන සේවා සුදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සංගම් ප්‍රකාශ කළා.

අද (18) සිට සාමාන්‍ය පරිදි පෞද්ගලික බස්රථ ධාවනය සිදු කෙරෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න ප්‍රකාශ කළා.

ඩීසල් ලබා ගැනීමේ අර්බුදයක් පැවතිය ද අද (18) සිට පාසල් ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට සූදානම් බව පාසල් ළමයින් ප්‍රවාහන සංගම් පවසනවා.

++++++++

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11 ක් ගැටේ

(18.04.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (17) සිදුවූ රිය අනතුරුවලින් තුන්දෙනෙකු (3) තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලනිගම අතර මෙම අනතුරු සිදුව ඇති බවයි.

එහිදී වාහන 11 ක් ගැටී තිබුණා.

මේ අතර කිලිනොච්චිය – අක්කාරයන්කුලම් ප්‍රදේශයේ සුඛෝපභෝගී වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු හොරොව්පතාන ප්‍රදේශයේ දී ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථය පැහැරගෙන රැගෙන යමින් සිටි සැකකරු යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ සහ යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ද අනතුරට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අනතුරුවලින් සිව්දෙනෙකු (4) තුවාල ලැබුවා.

++++++++

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

(18.04.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) යළි සිතාසි නිකුත් කළා.

එමෙන්ම ඔහු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බවයි අධිකරණය දැනුම් දුන්නේ.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (18) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට අද (18) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළා.

මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

++++++++

***************************************

තහනම් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට

(18.04.2022 – 09:32 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මදන මෝදක, මාවා, අයිස් මත්ද්‍රව්‍ය මෙන් ම අහිතකර මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනුණා.

ඊයේ (17) පස්වරුවේ මෙම වැටලීම සිදු කෙරුණේ, කැළණිමුල්ල – අංගොඩ යන ප්‍රදේශයේ දී යි.

එහිදී ගංජා මිශ්‍රිත ‘මදන මෝදක’ කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 300 ක්, ‘මාවා’ නිෂ්පාදනයට ගන්නා අහිතකර රසායනික ද්‍රව්‍යක් වන ‘Ineerapanna’ බෝතල් 05 ක්, ‘මාවා’ කිලෝග්‍රෑමි 15 ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 625 ක් සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

අනතුරු රැසකට මුලපිරූ වෑන්රිය

(18.04.2022 – 10:00 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – අක්කරායන්කුලම ප්‍රදේශයේ සුඛෝපභෝගී වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හොරොව්පොතාන පොලිසිය විසින්.

වෑන් රථය පැහැරගෙන රැගෙන යමින් සිටිය දී සැකකරු යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ හා යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක් ස්ථාන කිහිපයක දී අනතුරට ලක්කොට පලා ගොස් තිබෙනවා.

වවුනියාව – කනගරායන්කුලම ප්‍රදේශයේ දී මෝටර් රථයක්, වවුනියාව නගරයේදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් අනතුරට ලක් කරමින් අදාළ සැකකරු පැහැරගත් වෑන් රථය නොනවත්වා ධාවනය කොට තිබෙන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වවුනියාව ප්‍රදේශයේ අනතුරු සිදුකළ වාහනය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් නිලධාරින් අවට පොලිස් ස්ථාන කඩිනමින් දැනුවත් කොට තිබු අතර,මාර්ග බාධක රාජකාරියේ නිරත ආරක්ෂක අංශ වෙත ද දැනුම්දී තිබුණා.

වවුනියාව පොලිසියේ හදිසි දැනුම්දීම මත ක්‍රියාත්මක වු හොරොව්පොතාන පොලිසිය සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු හා පැහැරගත් වාහනය පොලිස් භාරයට ගැනුණේ.

සැකකරු හා අත්අඩංගුවට ගත් වාහනය හොරොව්පොතාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

පොඩි මැණිකේ පීලි පනියි

(18.04.2022 – 11:41 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (18) පෙරවරු 08:40 ට පමණ දුම්රිය පීලි පැනීමට ලක්වූ බවයි.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට ඇල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ බදුල්ල සිට කොළඹ බලා පොඩි මැණිකේ දුම්රියෙන් පැමිණි මගීන් නැවතත් බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි ෴

***************************************

විගණනය කළ යුතු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපතිට

(18.04.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පිහිටි පාර්ලිමේන්තු වටරවුමේදී අද (18) උදෑසන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඉල්ලා සිටියේ දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විගණනයක් සිදුකර රටට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකරගන්නා ලෙසයි.

අනතුරුව ඔවුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ (20) ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මේ අතර ඊයේ (17) ත්‍රිකුණාමලය – කන්තලේ මංසන්ධියේ විරෝධතාවක නිරතවූ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වී තිබෙනවා.

එමෙන්ම ජාතික ජනබලවේගයේ විරෝධතා පා ගමන අද (18) දෙවන (2) දිනට ආරම්භ කෙරුණේ වාද්දූව නගරයෙන්.

එම පා ගමන ඊයේ (17) උදෑසන බේරුවල නගරයෙන් ආරම්භ කෙරුණු අතර, වාද්දූව නගරය වෙත පැමිණීමෙන් අනතුරුව එය අවසන් කෙරුණා.

මෙම පා ගමන අද (18) පස්වරුවේ මොරටුවට නගරයට ළඟාවීමෙන් අනතුරුව අවසන්වීමට නියමිතයි ෴

***************************************

වාණිජ බැංකු ඩොලරයේ වටිනාකම රු. 340 ට නගියි

(18.04.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී ඇතැම් වාණිජ බැංකු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහබැංකුව ඩොලරයේ විකුණුම් මිල සඳහන් කර ඇත්තේ තවදුරටත් රුපියල් 329.99 ක් ලෙසයි ෴

***************************************

එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 1400 ක් අඩංගු නෞකාවක් දිවයිනට

(18.04.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400 ක් අඩංගු නෞකාවක් අද (18) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව හෙට (19) උදෑසන සිට එම ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම එළඹෙන 23 වන දා සහ 24 වන දා ද මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකක් (2) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම විසින් යළිත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සහ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් අසල තවමත් පෝලීම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *