ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති

*********************************************

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති

(18.04.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව IMF වැඩසටහනකට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම වරදක් බවත්, රජය නැවතත් රසායනික පොහොර ලබාදීමට පියවර ගන්නා බවයි.

තමන්ට ලද නව අමාත්‍යාංශය යටතේ කිසිදු ලෙසකින් රැකියා පත්වීම් හිතවතුන්ට ලබාදීමේ ක්‍රියා මෙවන් පසුබිමක් තුළ සිදු නොකරන ලෙසයි ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ.

රටේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ නව වෙනසක් හෙවත් ‘System Change’ තත්ත්වයක් අවශ්‍ය කර ඇති මොහොතක ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ සහාය ලබාදෙන ලෙස පැවසූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සඳහා තරුණයින්ගේ සහාය රජය බලාපොරොත්තු වන බවයි.

රට මුහුණපා ඇති ණය බර පිළිබඳ ව්‍යාකූලභාවය තේරුම්ගෙන ඇති බවත්, පසුගිය වසර දෙකහමාර තුළ විශාල අභියෝගවලට මුහුණපෑමට සිදු වූ බව ද පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ, ණය බර වැනි දෑ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී රජයට අතපසුවීම් සිදු වූ අතර, ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතු බවයි.

එමෙන්ම, 69 ලක්ෂයක ජනතාව ලබාදුන් ජන වරමට නිසි සාධාරණයක් ඉටුකිරීම සඳහා වත්මන් අර්බුදය ම ජනතාව අපේක්ෂා කළ වෙනස එතුළින් ලබාදීම සඳහා මම මෙය අවස්ථාවක් කරගන්න බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව සතු වන අතර, ව්‍යවස්ථා සංශෝධන සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවත්, සංශෝධන යෝජනා කර ඇති නියෝජිතයින් සමග එකඟතාවක් ඇති කරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ සම්පූර්ණ කතාව පහතින් :

“අද මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව නව ඇමතිවරු පත් කරලා තිබෙනවා. ඇමති තනතුර වරප්‍රසාදයක් නොවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව, කාර්යක්ෂමව පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා.

අද මම මෙම අවස්ථාවේ ඔබ අමතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර, ඒවගේම අභියෝගාත්මක ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සාමාජීය වශයෙන්, රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන අවස්ථාවකය. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්‍ය අර්බුද තත්ත්වයකය. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එය මෙතුමන්ලාට කරන්න තිබෙන ප්‍රධාන කර්යයක්. අපි දන්නවා මේ ඇමති තනතුරු ලැබුනාම තමන්ට ලැබෙන අමාත්‍යාංශයේ ආයතනවල රැකියා දෙන්න සූදානම් වෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ එය කරන්න එපා, කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම අමාත්‍යාංශ කළ යුත්තේ රැකියා නිර්මාණය කිරීමයි.

අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා එයට උපකාර කරන්න කියලා. පසුගිය වර්ෂ දෙක හමාර තුළ අපට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණය බර වැනි දේවල්, අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවරැදි කර ගන්න ඕන. ඒවා නිවරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ‍මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා.

මේ ආර්ථික අර්බුදය නිසා මතුවූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි. අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන මා අතයි. කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් මා ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මම පොරොන්දු වෙනවා.

මේ වන විට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් අපේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමයි. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බැහැ. ඒ නිසා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා. එහි මූලික සහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල් ඇමතිවරයෙක්, දීර්ඝ කාලීන අත්දැකීම් සහිත නව මහ බැංකු අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත්කිරීමට කටයුතු කළා. ඒ වගේම ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් හා ඉහළ පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු, ආර්ථික කළමනාකරණය පිළිබඳ රජයට හා මට උපදෙස් දීමට පත් කර තිබෙනවා. ඒ වගේම රජයට සහාය දීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයන් පිරිසකුත් පත් කොට තිබෙනවා.මේ කණ්ඩායම් සමග එක්ව අප විසින් රටේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා වැදගත් තීන්දු තීරණ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ ගනු ලැබුවා.

අප හැම විටම ජනතාවට සත්‍යය පවසන්න ඕන. ජනතාවගෙන් යථාර්ථය වසන් කිරීමෙන් පලක් නැහැ. ඔබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා කරුණු වටහා ගන්නා ලෙස මා ඔබෙනුත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නය තේරුම් ගත හොත් පමණයි අපට විසඳුම් සෙවිය හැක්කේ. ඒ සඳහා අපට, ඔබ සියලු දෙනාගේ සහාය හා එකඟතාව අවශ්‍යයි.අද වන විට අපේ රට බරපතළ විදේශ විනිමය හිඟයකට හා ණය අර්බුදයකට මුහුණදී තිබෙනවා. මේ අවස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමය ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගන්න ඕන. එසේම හදිසි විදේශ විනිමය අවශ්‍යතා සඳහා මුදල් සොයා ගන්න ඕන.

කෙටි කාලීනව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට අපට ඇති අපහසුතාව අපි මේ වන විටත් ණය හිමියන්ට දැනුම් දී තිබෙනවා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. මා විසින් අලුතින් පත් කොට ඇති ආර්ථික කළමනාකරණ කණ්ඩායම මේ වන විටත් අපගේ මිත්‍ර රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹෙන්නට කැමති බව දැනුම් දුන්නේ, මීට මාසයකට පමණ පෙරයි. ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා මුදල් ඇමතිවරයා හා අදාළ නිලධාරීන් මේ වන විටත් ඇමෙරිකාවට ගොස් තිබෙනවා. තෙල්, ඖෂධ, සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක්ම ආනයනය කිරීම සඳහා අපට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබී තිබෙනවා. ඊට අමතරව ගෑස්, පොහොර, කිරිපිටි හා ඖෂධ ආනයනය සඳහා සහාය ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටිනවා. ජනතාවට අවශ්‍ය තෙල් සහ ගෑස් මේ වනවිටත් රටට ලැබෙමින් පැවතුනත්, පසුගිය දිනවල ඒවා නිසියාකාරව බෙදා හැරීම සිදු වී නැහැ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා. වෙළෙඳපොලේ ඉන්ධන හිඟයට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ඉදිරියේදී හිඟයක් ඇතිවනු ඇතැයි සැකයෙන් ජනතාව විශාල වශයෙන් ඉන්ධන රැස්කිරීමයි. මේ නිසා රට තුළ ඉන්ධන ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කාරයන් පිරිසකුත් මේ වන විට බිහිවී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් රජය මැදිහත් වී කටයුතු කරනවා. මම මේ අයගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අසීරු අවස්ථාවක මේවායින් වැළකෙන්න කියලා.

ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දු සහ තීරණ අපි දැනටමත් අරගෙන තිබෙනවා. අපි ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය කාලයේ දීර්ඝ විදුලිය කැපීම්වලට හේතුව වූයේත් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟයයි.මේ දුෂ්කරතා මධ්‍යයේ වුවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටිකාලීන ගැටලුවලට විසඳුම් සොයන අතර අපි මේ තත්ත්වය යළි ඇති නොවීමට කටයුතු කරන්න ඕන. දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද කරන ලද සමහර තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් අප විසින් ගත යුතුව තිබෙනවා. දැන්වත් ආර්ථිකය නිවැරදි මගට ගෙන, අපේ අනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීමේ වගකීම අපට තිබෙනවා. අද අප මුහුණ දී තිබෙන බරපතල අභියෝගය ජය ගැනීමට, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල මෙන්ම මිතුරු රටවල සහාය ද අවශ්‍ය වෙනවා. ඒ සහාය ලබා ගන්නට පුළුවන් වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණොත් පමණයි.

මේ අවස්ථාවේ රටේ යහපත සඳහා සියලු දේශපාලන පක්ෂ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ අර්බූදය විසඳන්න අප සමග එක්වන්න කියලා මම පසුගියදා සියලු පක්ෂවලට ආරාධනය කළා. මා කළ ආරාධනය පිළිගෙන අප සමග එක්වී කටයුතු කරන්න ඒ අයට තවමත් අවස්ථාව තිබෙනවා. මේ අසීරු කාලය තුළ රාජ්‍ය පාලනය කරගෙන යාම සඳහාත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම සඳහාත් සීමිත සංඛ්‍යාවකින් සමන්විත මේ අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්න මම තීරණය කළා. නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වී, තරුණ, උගත් නව කණ්ඩායමකට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක්. රටවැසියන් සියලුදෙනාගේම ආරක්ෂාව හා නිදහස රඳා පවතින්නේ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින්. සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජන කොටස වන තරුණ පරපුර තමන්ගේ පීඩනය ඔවුන්ටම ආවේනික ක්‍රමවලින් පිට කරන විට එහි කිසිදු වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. රටේ අනාගතය බාරගන්න සිටින තරුණ පරපුරට තම අදහස් පළකරන්නට, විරෝධතා සංවිධානය කරන්නට හා උද්ඝෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඔවුන් නිර්මාණශීලී ලෙස ඔවුන්ගේ විරෝධතාවන් පවත්වාගෙන යද්දී විනයානුකූලව තම රාජකාරිය ඉටුකරන පොලිසිය ඒ වගේම ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගය කරනවා.

ඔබ දන්නවා පසුගිය වසර දෙක හමාර තුළ මම උද්ඝෝෂණවලට, පෙළපාලිවලට, විරෝධතාවලට ඉඩ දීලා තිබුණා, නිදහස දී තිබුණා. මගේ කාර්යාලය ළගට පැමිණි විරෝධතා පවා මම විසුරුවා හරින්න ක්‍රියා කළේ නැහැ. විරෝධතාකරුවන් අතර සිටින බහුතරයක් තරුණ පිරිස තම රටට සැබැවින්ම අවංකව ආදරය කරන අය‍ කියලා මම විශ්වාස කරනවා. රට වෙනුවෙන් ඔවුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුබවාදී ලකුණක් ලෙසත් මම දකිනවා. ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව, රටට ආදරය කරන වැඩිදෙනෙකුට අවශ්‍ය වන්නේ වත්මන් පාලන ක්‍රමය තුළ ඇති වැරදි නිවැරදි කොට රට ගොඩනැගීම මිස රට අරාජික කිරීම නොවේ, කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා කලහකාරී මගකට යොමු කරන්නට අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න එපා කියලයි.

ගරුතර මහා සංඝරත්නය, පූජක තුමන්ලා, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙකු රටේ පවතින තත්ත්වය ගැන සහ එයට විසඳුම්, අදහස් මට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියලු අදහස්වලට මා සංවේදීව සවන් දෙනවා. හැට නව ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිත කොට මට වගකීම බාර දුන්නේ විශාල විශ්වාසයකිනුයි. මගේ ධුර කාලය තුළ ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව වත්මන් අර්බුදයම ජනතාව අපේක්ෂා කළ වෙනස ලබාදීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා. මම මේ රටේ ජනතාවගේ මුදල් සොරකම් කරලා නැහැ. මගේ දෑත් එදත් අදත් පිරිසිදුයි. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ බොහෝ දෙනෙකු මගෙන් කළ ඉල්ලීම නිසා මිස, බලයට ඇති අවශ්‍යතාවයක් නිසා නොවෙයි. මගේ ජීවිත කාලය තුළදී මම ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් වශයෙන් අවුරුදු 20ක් මේ රටට සේවය කර තිබෙනවා.

මම සාර්ථකව සේවය කරලා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මම සාර්ථකව මේ රටට සේවය කරලා තිබෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මම කැපවීමෙන් සේවය කර තිබෙනවා. ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා ලෙස මම හැමවිටම කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි. රටේ ව්‍යවස්ථාදායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ නිසා ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෑතකාලීනව විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොට අවශ්‍ය වෙනස්කම් සම්මත කරගැනීමට අවකාශය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්.

ඒ අනුව රටේ උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින්, ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට මේ අර්බුදයෙන් රට මුදා ගැනීමට මා ඔබට පොරොන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස, මම ඔබ සියලු දෙනාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මම නැවත වරක් ඔබට සුභාශිංසනය, එමෙන්ම ජනතාව අපේක්ෂා කරන පරිදි අවංකව, කාර්යක්ෂමව, පිරිසිදුව ජනතාවට සේවය කරන මෙන් මම නැවත වරක් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !”

***************************************

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු (3) ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(18.04.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මේ අතර තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු (3) ජනපති ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

විජිත බේරුගොඩට හිමිව ඇත්තේ වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

එමෙන්ම නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකුද අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) ද වීම විශේෂත්වයක්.

මීට පෙර රාජ්‍ය අමාත්‍යධුරයන්හි කටයුතු කළ චමල් රාජපක්ෂ ශෂීන්ද්‍ර රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පත් කළ රාජ්‍ය අමාත්‍ය ධුරයන් නියෝජනය නොකිරීම ද විශේෂත්වයක්.

මීට පෙර චමල් රාජපක්ෂ විසින් දැරූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවුණේ මහාචාර්ය ජී.එල්. පීරිස්ටයි.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රෝහණ දිසානායක අතර ඔහු මෙම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුරයක් හොබවන පළමු අවස්ථාව මෙය වනවා.

අරුන්දික ප්‍රනාන්දු වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලොහාන් රත්වත්තේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, තාරක බාලසූරිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් අතර, සනත් නිශාන්තට හිමි වුණේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යධුරයයි.

මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණේ සිරිපාල ගම්ලත් මහතායි.

අනුරාධ ජයරත්න වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර සිසිර ජයකොඩිට හිමිවුණේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යධුරයයි.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරය හිමිවුණේ ප්‍රසන්න රණවීරටයි.

සංචාරක රාජ්‍ය අමාත්‍යධුරය සහ ධීවර රාජ්‍ය අමාත්‍යධුරය යන රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් ඩී.වී. චානකට හිමි වී තිබෙනවා.

ඩී.බී. හේරත් දිවුරුම් දුන්නේ පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිස පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පැවසූ කාදර් මස්තාන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අශෝක ප්‍රියන්තයි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අරවින්ද් කුමාර් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද භාවිත කළ අතර ඔහුට ලබාදී ඇත්තේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරයයි.

ගීතා කුමාරසිංහ සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් අතර සමූපාකාර සේවා අලවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යධුරය හිමිවුණ් ගුණපාල රත්නසේකරට යි.

කපිල නුවන් අතුකෝරල සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

මේ අතර වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ද්‍රවාදී වාමාංශිංක පෙරමුණේ සාමාජිකයෙකු වූ පාර්ලිමේන්තුවේ ස්වාධීනව වීම සම්බන්ධයෙන් තම මතය ඉදිරියේදී සදහන් කරන බව පැවසූ වෛද්‍ය ගයාෂාන් නවනන්දට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යධුරය ලබාදී තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සුරේන්ද්‍ර රාඝවන් අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙම රජ්‍ය අමාත්‍යවරුන් අතුරෙන් 9 දෙනෙකු ම මීට පෙර මෙම ආණ්ඩුවේ කිසිදු රාජ්‍ය අමාත්‍යධුරයක කටයුතු කර නොතිබීමද විශේෂත්වක්.

ඒ අනුව නව රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගියා.

***************************************

මානව හිමිකම අදත් (18) ‘ගෝඨාගෝගම’ට යයි

(18.04.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.

එහි විමර්ශන අධ්‍යක්ෂවරිය ඇතුලු හතරදෙනෙකු (4) ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (17) එම නිරීක්ෂණයට එක්ව ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

නීතිවිරෝධී විසුරුවා හැරීම් සිදුකළ හැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් එම නිරීක්ෂණය සිදුකර තිබෙනවා.

මෙම විරෝධතාව අද (18) දහවන (10) දිනටත් ක්‍රියාත්මක අතර, ඊට සහාය පළ කරමින් දෙමළ ජාතික සන්ධානය සහ යාපනයේ දෙමළ දේශපාලඥයන් යාපනය – ෆාම් වෙරළ තීරයේදී ඊයේ (17) රාත්‍රියේ විරෝධතාවක් ආරම්භ කළා.

එම විරෝධතාවට දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ද ඊට එක්ව සිටි අතර, ගිනිබෝල සහ පන්දම් රැගෙන එහිදී ඔවුන් උද්ඝෝෂණයේ නිරතව තිබෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද හෙට (19) අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ඊට සමගාමීව සෑම විශ්වවිද්‍යාලයකම ආචාර්ය සංගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (19) පස්වරු එකට (01:00) කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර පිටිය දක්වා විරෝධතා පා ගමනක් ද සංවිධාන කර තිබෙනවා.

***************************************

ජන මතයට ඇහුම්කන් නොදීම නුදුරේදී ව්‍යසනයක් විය හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

(18.04.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් නොදීම බරපතළ ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන එකඟතාවකට පැමිණ අදාළ අර්බුද විසඳාගත යුතු බවයි.

සියලුම දේශපාලන පක්ෂ හා සංවිධාන එකඟතාවකට පැමිණ අර්බුදයට විසඳුම් ලබාදිය යුතු බවත්, ජනතා අදහස්වලට සවන් නොදුනහොත් බරපතළ ව්‍යසනයක් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලක් නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මගහැරිය නොහැකි වගකීමක් බවයි.

එය, රටේ අනාගතයට මෙන්ම දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද තීරණාත්මක වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

රට තුළ මේ වනවිට පවතින තත්වය පිළිබඳව මැතිවරණ කොමිසම බලවත් සන්තාපයට පත්ව තිබෙනවා.

මහජන නියෝජිතයින් නැවත කැඳවීමට ජනතාවට බලය ලබාදීම හා මැතිවරණයක දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් කරනු ලබන අතිදැවැන්ත ධනස්කන්ධයක සීමා පනවන යෝජනා කොමිසම් සභාව ඉදිරිපත් කර ඇත්තේ ද ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණින් බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිවිල් වැසියන්ට සිය මහජන පරමාධිපත්‍යයට යටත්ව සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකියි.

ඒ අනුවයි, රටේ මේ වනවිට ඇති වී තිබෙන අර්බුදකාරී ආර්ථික හා දේශපාලන පසුබිමට එරෙහිව රට පුරා මහජනතාව වීදි බැස ඇත්තේ.

මේ වනවිට දැවැන්ත විරෝධතාවක් දසවැනි (10) දිනටත් අද ගාලුමුවදොර පැවැත්වෙන්නේ සිවිල් පුරවැසි අරගලයේ නිර්පාක්ෂික විරෝධතාවක් ලෙසයි.

මෙවන් පසුබිමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි, මැතිවරණ කොමිෂන් සභාව විසින් වත්මන් ආණ්ඩුවට ජනතාවට ඇහුම්කන් දී සාකච්ඡාමය මාර්ගයෙන් අර්බුද විසඳා ගැනීමට ප්‍රවිශ්ට වන ලෙසට දැනුම්දී ඇත්තේ ෴

***************************************

අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

(18.04.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට වග කියන රජයක් බිහිකිරීම සදහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමුවී තිබෙනවා.

ඒ අනුව විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අප්ක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

මේ අතර, විපක්ෂ නායක ධූරය සමගින් විපක්ෂයේ කාර්ය භාරය භාරගැනීමට පාර්ලිමේන්තුවේදි ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එම මන්ත්‍රීවරුන් අද (18) කථානායකවරයා හමුවු අවස්ථාවේදි ඉල්ලා සිටියේ තම කණ්ඩායම විපක්ෂයේ අනන්‍ය වූ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙසයි.

එමෙන්ම, ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් වු විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදි කථානායක මහින්ද යාපා අබේවර්ධණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

මීට අමතරව, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන එමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද (18) කොළඹ දී සාකච්ජාවක් පැවැත්වුයේ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහාභාගීත්වයෙන්.

මේ අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග නම් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම නම් කිරීම තමන් වෙත යොමුකර ඇති බවයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත් නව කැබිනට් සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධුරයක් නොලැබීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද පුරප්පාඩු වුණා.

මේ අතර මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීම අර්බුදයට විසඳුමක් නොවන බවත් රජයට සහය පළ කරන නීතිඥවරුන් පවසනවා.

ඔවුන් මේ බව අවධාරණය කළේ අද (18) අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී යි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *