පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

*********************************************

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

(18.04.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අද (18) පෙරවරු 10:30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී මෙම මන්ත්‍රීවරුන් නව අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දෙනු ඇති.

ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙන මෙම අවස්ථාවට පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ ඇතැම් ප්‍රබල මැතිවරුන් එක්නොවන බව ද වාර්තා වනවා.

ඒ අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙන්ම හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ද තමන් තනතුරු ලැබුණ ද ඒවා පිළිනොගන්නා බවත් ඊයේ නිවේදනය කළා.

+++++++

නව කැබිනට්ටුව පත් කිරීම බරපතළ අර්බුදයක – අගමැති මහින්ද විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ?

(18.04.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

නව ඇමති ඇමැති මණ්ඩලය පත් කිරීම බරපතළ අර්බුදයක, අගමැති මහින්ද විපක්ෂයේ වාඩිවන බවට තර්ජනය කරයි.

ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තාවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර එම යෝජනාව මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාවට එකහෙළා විරුද්ධ වී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බවයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට (4) සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කර තිබෙන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් එම යෝජනාවට ද එක හෙළා විරුද්ධ වී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් අමාත්‍ය ධුරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බවයි.

ඒ අවස්ථාවේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බවයි.

මේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා අවසන් තීන්දු තීරණ ගැනීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව නිමා වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බවට මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රියර් අද්මිරාල් සරත් වීරසේකර ආදීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ විට අද (18) දිනය තුළදීත් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් නොදෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ නව කැබිනට් මණ්ඩලයේ කිසිදු වගකීමක් භාර නොගැනීමට තමන් ද තීරණය කර ඇති බවයි.

කිසිදු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට තනතුරු ලබා නොදෙන පදනමක් යටතේ තමන් ද එම තීරණයට එළඹි බවයි අප සමග අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි – විෂය පථයන් මුහුණු මත වෙනස් වෙයි

(18.04.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අද (18) උදෑසන 10:30 ට දිව්රුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දීයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කර තිබෙනවා.

මීට පෙර ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ දිව්රුම් දී ඇත්තේ, ඔහුගේ පෙර ධුරය වූ වැවිලි රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය සහ සංචාරක අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගටයි.

ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමුණුගමටත්, මහාමාර්ග අමාත්‍ය ලෙස කනක හේරත් දිව්රුම් දෙනු ලැබුවා.

මීට පෙර මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් මණ්ඩලයෙන් එළියට විසී වී තිබෙනවා.

මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආචාර්ය නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දුන්නා.

චන්න අමාත්‍යවරයා පෙර කටයුතු කළේ ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වන අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට ද සිය ධුරය අහිමි වී තිබෙනවා.

එම තනතුරුවල පෙර කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුමට ද සිය කැබිනට් අමත්‍ය ධුර අහිමි වුණා.

නව වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස තවමත් කටයුතු කරන ෂෙහාන් සේමසිංහට හිමිවුණා.

ඒ හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙනුවටයි.

මෙවර බන්දුල ගුණවර්ධනට ද සිය කැබිනට් අමත්‍ය ධුර අහිමි වුණා.

ජානක වක්කුඹුර මන්ත්‍රීවරයාට කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ධුර හිමි වුණා.

විදුර වික්‍රමනායකට හිමිව ඇත්තේ හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගේ ධුරයයි.

විදුර වික්‍රමනායක පෙර කටයුතු කළේ, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

තේනුක විදානගමගේ හට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇති අතර, නාමල් රාජපක්ෂගෙන් එම ධුරය ගැලවී ගොස් තිබෙනවා.

ඒ අනුව නව කැබිනට්ටුවේ නාමල් රාජපක්ෂ හට ද අමාත්‍ය ධුරයක් හිමි වුණේ නැහැ.

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක තේරී පත්ව ඇති අතර, මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නා.

කංචන විජේසේකර අමාත්‍යවරයා බලශක්ති හා විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට අද සිය නව ධුර භාර ගැනුණා.

ධීවර අමාත්‍යවරයා ලෙස පෙර සිය ධුරයේ කටයුතු කළ ඩග්ලස් දේවානන්දාට යළි එම ධුරය හිමිව තිබෙනවා.

නසීර් අහමඩ් හට පරිසර අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ මහින්ද අමරවීර අමාත්‍යවරයාට එම ධුරය අහිමි වීමෙනුයි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට වරාය හා නාවික අමාත්‍ය ධුරය හිමි වුණා.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අමරිකාවේ වොෂින්ටනය වෙත ගොස් සිටින අලි සබ්‍රි මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලබන අතර, මහාචාර්ය ජී.එල්.පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ඇති.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබල අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රාදේවී වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ ආදී අයවලුන්ගෙන් ඇමති ධුර ගැලවී තිබෙනවා.

කෙසේවෙතත්, නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් පවතින ව්‍යසනකාරී දේශපානල පසුබිම යටතේ භාර ගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ සරත් වීරසේකර විසින් ඊයේ (17) දින ට්විටර් සහ ෆේස්බුක් පණිවිඩ නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබුවා.

***************************************

ජනතාව පතන වෙනස ඉටු කරන්න දූෂණ රහිතව එක්වන්න – නව කැබිනට්ටුවට ජනපතිගෙන් ඉල්ලීමක්

(18.04.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන දැඩි මූල්‍ය අර්බුදයක ඇති නිසා දූෂණ මැඩලීමට වරප්‍රසාද අපේක්ෂා නොකර කටයුතු කරන ලෙසත්, ජනතාව ඉල්ලා සිටින වෙනස සිදු කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද (18) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති නව කැබිනට් ධුර ප්‍රදාන අවස්ථාවට එක්වෙමිනුයි, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ඒ අනුව අද (18) දිනයේ දී නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස නව අමාත්‍යවරුන් 17 දෙනෙකු දිව්රුම් දෙනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි යන අයවලුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවූ බවයි.

ඒ අනුව එම අමාත්‍යවරුන් සුපුරුදු පරිදි සිය අමාත්‍ය ධුර කටයුතු මෙහෙයවනු ඇති.

මේ අතර, නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අද (18) රාත්‍රී 07:30 ට හිරු ටී.වී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

***************************************

ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ධුරය ප්‍රසන්නට

(18.04.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හිමි ව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ, හිස් වූ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ධුරය වෙනුවෙන් රණතුංග අමාත්‍යවරයා නම්කර බවයි.

අද (18) ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හට අමාත්‍යාංශ ද්විත්වයක (2) රාජකාරි පැවරුණා.

ඒ අනුව හෙතෙම මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍යාංශවල වැඩකටයුතු සිදු කෙරෙනු ඇති.

මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූයේ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි ෴

***************************************

රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දීම ඇරඹෙයි

(18.04.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ආරම්භ වුණා.

ඒ ජනාධිපති මන්දිරයේදීයි.

ඒ අනුව අද (18) පත්වුණු කැබිනට් නව අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය පාලන කටයුතු සඳහා සම්බන්ධ වන විවිධ විෂය පථයන්ට අයත් වන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පත්වීම් ලැබුවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් පත් කර තිබෙනවා.

වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ, අරුන්දික ප්‍රනාන්දුයි.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය රෝහන දිසානායක හට හිමි වුණා.

ලොහාන් රත්වත්තේට හිමිවූයේ, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

තාරක බාලසුරිය හට විදේශ කටයුතුත්, සනත් නිශාන්ත හට ජල සම්පාදනත්, ඉන්දික අනුරුද්ධ හට නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයත් හිමි වුණා.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ප්‍රසන්න රණවීර ද මහවැලි රාජ්‍ය ඇමති ලෙස සිරිපාල ගම්ලත් ද, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ලෙස අනුරාධ ජයරත්න ද තේරී පත් වුණා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස සිසිර ජයකොඩිත්, සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය ලෙස ඩී.වී. චානකත්, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ග්‍රාමීය ආර්ථික බෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් තේරී පත් වුණා.

අශෝක ප්‍රියන්ත හට හිමිවූයේ වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය ධුරය වන අතර, වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් තනතුරු ලැබුවා.

සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ, ගීතා කුමාරසිංහටයි.

ගුණපාල රත්නසේකර හට සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබුවා.

කපිල නුවන් අතුකෝරලට හිමිවූයේ සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

වෛද්‍ය ගයාෂාන් නවනන්ද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයායි.

සුරේන්ද්‍ර රාඝවන් අධ්‍යාපන සේවා හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව කැබිනට් රාජ්‍ය අමාත්‍ය නාමාවලියේ සටහන් වූවා.

***************************************

තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වෙයි

(18.04.2022 – 18:16 +0530 – hirunews.lk/sinhala)

මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් විසි එක් දෙනා (21) අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැඳවන ලද සුරේන් රාඝවන් ද සිටිනවා.

ඔහු අද (18) දිවුරුම් දෙනු ලැබුවේ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයේයි.

මේ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) පවතින රජයේ රාජ්‍ය අමාත්‍යධුර බාරගෙන අවසන්.

මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුව තුළ සතුව ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් දොලොස් දෙනකු (12) පමණයි ෴

***************************************

දිවුරුම් දුන් සැණින් වැඩ ඇරඹූ කෘෂි ඇමති

(18.04.2022 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අද (18) පෙරවරුවේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ජානක වක්කුඹුර මීට ටික වේලාවකට පෙර බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී වැඩ සිය තනතුරේ වැඩ කටයුතු ආරම්භ කළා.

බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මෙම චාම් උත්සවය සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද එක්ව සිටීම විශේෂ සිදුවීමක්.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ හැකි ඉක්මනින් ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙරට නැවතත් සහලින් ස්වංපොෂිත කිරීම සිය ප්‍රධාන ඉලක්කය බවත් ඔහු කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *