අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

*********************************************

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

(18.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු දූත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ අනුව ඔවුන් වොෂින්ටන් ඩීසී හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී එම සාකච්ඡා හෙට (19) සිට අප්‍රේල් 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ලැබීමට නියමිත යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය සහතික කිරීමට හැකි වන පරිදි එය ලැබීමට නියමිත ව ඇත්තේ කොටස් පහක් (5) යටතේයි.

මේ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය ආධාර ලැබෙන්නේ නම්, මීට සමගාමීව එම අරමුදල විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ද සිදුවනු ඇති.

ඒ අනුව මෙම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කෙරෙන නිර්දේශ සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 4 ක හදිසි මූල්‍ය සහයෝගයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය අලි ශබ්‍රි මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් වන තෙක් බැඳුම්කර සහ රජයෙන් රජයට ණය ගැනීම් ඇතුළු විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය අඟහරුවාදා (12) නිවේදනය කළා.

නිදහසින් පසු ශ්‍රී ලංකාව විසින් ණය පැහැර හැරි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මේ වන විට රටේ ජනතාව බරපතළ විදුලි කප්පාදුවලට සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටිනවා.

මේ වසරේ ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 7 ක ණය වාරික ගෙවීමට ඉතිරි වී තිබෙනවා.

***************************************

විපක්ෂයේ අසුන් පනවන්නැයි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් කථානායකට ඉල්ලීමක්

(18.04.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

තමන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී විපක්ෂයේ වෙනම අනන්‍ය වූ කණ්ඩායමක් ලෙස කටයුතු කරන බැවින් පාර්ලිමේන්තු කාලවේලාවන් වෙන් කිරීමේදී ද ඒ සම්බන්ධයෙන් සළකා බලන ලෙසයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (19) ආරම්භ වන අතර, මෙම මන්ත්‍රීවරුන් 41 දෙනා සඳහා හෙට (19) දිනයේදී විපක්ෂයේ අසුන් පැනවෙනු ඇති.

මෙලෙස ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතරට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක්, හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙක් මෙන්ම නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 13 දෙනෙකුද ඇතුළත්.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් ද අද (18) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

නියෝජ්‍ය වේත්‍රධාරීවරයා හිරු ප්‍රවෘත්ති සිදුකළ විමසීමක දී සඳහන් කළේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සහ ව්‍යවස්ථාමය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද (18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධානයට ලක් කිරීමට නියමිත බවයි.

එමෙන්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා.

එහිදී ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභගය පිළිබඳව මෙන්ම ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් කියා සිටියා ෴

***************************************

අයි.ඕ.සී. ඉන්ධන මිල තුන්වන වරටත් ඉහළට

(18.04.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් යළි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ යනු ඇති.

මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338 දක්වා ඉහළ යන අතර, ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 367 ක් ලෙසයි.

යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 347 ක් ලෙස සටහන් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 289 ක් ලෙසයි.

පසුගිය මාර්තු මාසයෙන් පසුව අයි.ඕ.සී. සමාගම මෙලෙස මිල ගණන් ඉහළ නැංවූ තුන්වන (3) අවස්ථාව මෙය වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඩොලරයක සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම හේතුකොටගෙන මෙලෙස මිල වැඩි කළ බවයි.

ලංකා අයි.ඕ.සී. සමාගම පසුගිය මාර්තු මස 25 වනදා සිදුකළ මිල සංශෝධනයට අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49 කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 303 ක් ලෙසයි. එමෙන්ම පසුගිය මාර්තු මස 11 වනදා අයි.ඕ.සී. සමාගම ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පසුගිය මාර්තු 12 වනදා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගත්තා.

එහිදී ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් සහ සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ නැංවීමටයි කටයුතු කරනු ලැබුවේ.

ඒත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වූයේ රුපියල් 176 ක් ලෙසයි.

කෙසේ වෙතත් අයි.ඕ.සී සමාගම ඊයේ (17) මිල සංශෝධනය කළ ද සිපෙට්කෝ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

මේ අතර ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතා හේතුවෙන් ඊයේ (17) රාත්‍රියේත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වුණා.

හිරු වාර්තාකරුවන් සදහන් කළේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පිරවුම්හල් වෙත ලබා දී ඇති බවයි.

අද (18) වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවට ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, ටැංකි රථ රියදුරන් අලුත් අවුරුද්දට නිවාඩු යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩාල වී තිබුණා.

පිට පළාත් බොහොමයක ඉන්ධන පිරවුම්හල් මෙම තත්ත්වය හමුවේ වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර අද (18) දිනය වන විට එම ප්‍රදේශ වෙත ඉන්ධන බෙදා හැරීම් සිදුකළ හැකි බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි සඳහන් කළේ.

මොරටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් වාහන සඳහා භූමිතෙල් ලබාදුන් බවට පාරිභෝගිකයින් අනාවරණ කර ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම තත්ත්වය සමථයකට පත් කිරීමට පොලීසියද මැදිහත් වුණා.

මේ අතර අද (18) දිනයේ පැය 3 යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.

කෙසේ වෙතත් මීට පෙර ඔවුන් නිවේදනය කළේ අද (18) පැය 4 යි මිනිත්තු 20 ක කාලයක් සහ හෙට (19) සහ අනිද්දා (20) පැය 4 යි මිනිත්තු 50 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි.

එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් ලබාදෙන බවට තහවුරු කිරීමත් සමඟ එම කාලසීමාව සංශෝධනය කළ බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව නිවේදනය කළේ ෴

***************************************

10 වන දිනටත් ගාලු මුවදොර උද්ඝෝෂණ

(18.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවයට අදට (18) දින 10 ක් ගත වනවා.

පෙර දිනවලදී මෙන්ම ඊයේ (17) රාත්‍රී කාලයේදීත් ජනාධිපති කාර්යාලය අසළට විශාල පිරිසක් රැස්ව සිටියා.

ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවට සහය පළ කරමින් ඊයේ (17) දිනයේදී ප්‍රදේශ කිහිපයක විරෝධතා ද සංවිධාන කර තිබුණා.

මේ අතර, ඊයේ (17) රාත්‍රියේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට ආලෝක ප්‍රක්ෂේපණ දර්ශන එල්ල කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළා.

කෙසේ වෙතත් එම ප්‍රක්ෂේපණ දර්ශනවලට බාධා වන පරිදි පුවරුවක් සවිකිරීමත් සමඟ විරෝධතාවයේ නිරත පිරිස් ඊට විරෝධය පළ කළා ෴

***************************************

කොටස් වෙළඳපොළ අද (18) සිට දින පහකට (5) වසයි

(18.04.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

අද (18) සිට වැඩ කරන දින 5 ක කාලයක් කොළඹ කොටස් වෙළඳපොල තාවකාලිකව වසා තැබෙනවා.

ඒ කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම, කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.

රටේ වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන කොටස් වෙළඳපොල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවයි සුරැකුම්පත් සහ විනිමය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *