ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

*********************************************

ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

(17.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala)

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75 කින්.

මේ අතර, එම සමාගම විසින් අලෙවි කරනු ලබන සියලුම පෙට්‍රල් මිල ගණන් ද ලීටරයක් රුපියල් 35 කින් ඉහළ යනු ඇති.

ඒ අනුව සංශෝධිත මිල ගණන් මෙසේයි.

අයි.ඕ.සී ඔක්ටේන් (92) පෙට්‍රල් නව මිල රුපියල් 338 ක් ලෙස ද, ඔක්ටේන් (95) රුපියල් 367 ක් ලෙස ද සටහන් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, නව මිල වැඩිවීම රුපියල් 75 කින් වැඩිවීමත් සමගයි.

ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල ද නව සංශෝධනයකට ලක් වන්නේ, රුපියල් 295 ක් ලෙසයි.

***************************************

අරගලයට සහාය දක්වමින් ඔස්ට්‍රෙලියාවේත් විරෝධතා

(17.04.2022 – 21:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට උද්ගතව ඇති දැඩි අර්බුදකාරී දේශපාලනයට එරෙහිව දිගින් දිගටම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ද අරගල ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව අද (17) දිනයේ දීත් ඔස්ට්‍රෙලියාවේ – මෙල්බර්න් නුවර සිටින මෙරට පිරිසක් විසින් විරෝධතාවක් පැවැත්වූවා.

ඔවුන් මෙරට වත්මන් රජයට බල කරමින් කියා සිටියේ, ජනතාවගේ ගසා කෑ මුදල් යළි රජයට පවරා වහාම සිය පාලනයෙන් ඉවත්ව, ස්වාධීන ශ්‍රී ලංකාවකට ඉඩදෙන ලෙසයි.

මේ අතර, ජපානයේ නගෝයා නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ලක් රජයේ දූෂිත පාලනයට එරෙහිව විරෝධතා සිදු කළා.

***************************************

අරගලය මැඩලන්න අධිකරණයෙන් වාරණ නියෝගයක් ?

(17.04.2022 – 22:15 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව හෙට (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීමට ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ එක්රැස් වී ඇති විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිශ්ට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වනවා.

මෙම වාරණ නියෝග ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර විනිසුරු තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.

***************************************

හෙට (18) දිනයේ විදුලි කැපිල්ල අඩු වෙයි

(17.04.2022 – 22:45 +0530 – hirunews.lk/sinhala)

විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් තහවුරුව මත හෙට (18) දින විදුලි කප්පාදුවේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව හෙට (18) දිනයේ දී විදුලි කප්පාදුව පැය 03 යි මිනිත්තු 20 කට පමණක් සීමාවන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.

මීට පෙර තීරණය කර තිබුණේ, හෙට දින සිට තෙදිනක් ඉදිරියට පැය 04 කුත් මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු කිරීමටයි ෴

***************************************

උද්ඝෝෂකයන් මැදට වෙස්ගත්තවුන් යෙදවීමේ වෑයමක් තියනවා – දුමින්ද නාගමුව

(17.04.2022 – gossiplankanews.com)

ආරක්‍ෂක අංශයේ පිරිසක් උද්ඝෝෂකයන් මෙන් සටන් පාඨ කියමින් පුහුණු කරන්නේ කුමකට දැයි රජය වහාම රටට හෙළිකළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

පෙරේදා 15 දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වීඩියෝ දර්ශනයක් මාධ්‍ය වෙත පෙන්වමින් ඔහු මේ බව කීවේය.

මෙම ආරක්‍ෂක අංශ පිරිස එසේ පුහුණු වෙන්නේ ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියේ කියන සටන් පාඨ පාවිච්චි කරමින් යැයි ද ඔහු කීවේය. රජයට හිතවත් පිරිස් කොළඹ ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියට ඇතුළු කරවා තීරණාත්මක මොහොතකදී තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමට රජය සූදානම් වන බවත් මේ පිළිබඳව ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියේ සිටින පිරිස් අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු කීවේය.

මීට අමතරව දරුවන් උද්ඝෝෂණවලට යොදා නොගන්නා ලෙස සහ ‘වී වෝන්ට් ගෝඨා’ ලෙස පසුගිය දිනවල පුවරු ප්‍රදර්ශනය කළ පුද්ගලයකු දැන් වඩේ කඩයක් දමාගෙන ගෝල්ෆේස් භූමියේ සිටින බව ද නාගමුව මහතා කීවේය.

අනුරාධ හිරිපිටිය

***************************************

විනාශ වූ දේශයට නව ආරම්භයක් උදා කළ හැකියි – කාදිනල් හිමි

(17.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

74 වසරක් පුරා එකිනෙකාට එරෙහිව වෛරය පතුරුවමින් විනාශ වූ දේශයට නව ආරම්භයක් උදා කළ හැකි බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ඉරිදා දිනය සමරමින් කොළඹ – කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ අද (17) උදෑසන පැවති දේව මෙහෙයට එක්වෙමින්.

මේ එහි දී අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන්.

“ආත්මාර්තකාමීත්වය හේතුවෙන් ජන ජීවිතය දැඩි ලෙස පීඩාවට පත්වීමක් දක්නට ලැබෙනවා. ඊට නව ආරම්භයක් අව්‍යශ්‍යයි. 74 වසරක් පුරා අප එකිනෙකාට එරෙහි වෛරය පතුරුවමින් විනාශය ඇති කළා. පටු ආකල්පවලට සීමාවී සිත් සතන් කූඩුවක සිර කර තැබීමටයි අප කටයුතු කළේ. 74 වසරක් පුරා අප එලෙස එකතැන රැඳී සිටියා. වහල් චින්තනයක් නිර්මාණය වූයේ එලෙසින්. එම කාලය පුරාම අප මාතෘ භූමිය විනාශ කළ බව කිව යුතුයි. මෙම තත්ත්වය අපට වෙනස් කළ හැකියි. ඒ සඳහා සියල්ලන් එක්සත්ව කටයුතු කිරීම වැදගත්.”

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කු ඉරිදා දිනය ලොවපුරා කිතුණුවන් අද (17) සමරනු ලබනවා.

වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි පත් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අද (17) වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මෙරටට කළු පැල්ලමක් එක් කරමින් කිතුනු දේවස්ථාන 3 ක් ඇතුලු ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවුණා.

එහිදී පාස්කු දේව මෙහෙයන්ට එක්ව සිටි කිතුනු බැතිමතුන් ඇතුලු පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයේ අද (17) පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිවයුත්තන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා කඩුවෙල – ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිටින් අද (17) උදෑසන විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර, එය අවසන් කෙරුණේ කඩුවෙල මංසන්ධියෙන්.

+++++++

කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මීගමුවේ දී නිහඬ විරෝධතාවක

(17.04.2022 – 16:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් සහ සියළු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මීගමුව – බාල්දි මං සන්ධියේදී අද (17) නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධාන කළ මෙම නිහඬ විරෝධතාව සඳහා රජයේ විශ්වවිද්‍යාල 17 ම නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් වන කටුවාපිටිය දේවස්ථානයේ සිට මීගමුව – බාල්දි මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණ මෙම නිහඬ විරෝධතාවය පවත්වා තිබෙනවා.

***************************************

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විරෝධතා

(17.04.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදාවක දී මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද (17) විවිධ ප්‍රදේශවලදී උද්ඝෝෂණ ද පැවැත්වුණා.

ගම්පහ – මාකෙවිට, වැලිවිට, පූගොඩ – තරාල, කුලියාපිටිය, මාතර, මීගමුව, පල්ලන්සේන, කටුනේරිය යන ප්‍රදේශ වල අදාළ විරෝධතා පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ අගරදගුරු පදවියට අයත් සියලු‍ම තරුණ සමිතිවල තරුණ තරුණයින් අද (17) පස්වරුවේ කොටහේන ශාන්ත ලු‍සියා ආසන දෙව්මැදුරේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාගමනින් පැමිණියා.

එහිදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ඔවුන් ආශිර්වාද ගන්වනු ලැබුවා.

අනතුරුව ඔවුන් ගාලු‍ මුවදොර පිටියේ පැවැත්වෙන ජන අරගලයට එක්වුණා.

2019 වසරේ පාස්කු ඉරුදිනයේදී මෙරටට කළු පැල්ලමක් එක් කරමින් කිතුණු දේවස්ථාන 3 ක් ඇතුළු ස්ථාන 8 ක් මුල් කරගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා.

මෙහිදී පාස්කු දේව මෙහෙයන්වලට එක්ව සිටි කිතුණු බැතිමතුන් ඇතුළු පුද්ගලයින් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරවලට ලක් වූ දේවස්ථාන වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයේ අද (17) පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වුණා.

කිතුණු දේවස්ථානවල ආලේලු‍යි සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පවත්වන අතර එහි ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලු‍සියා ආසන දෙව්මැදුරේ දී ඊයේ (16) රාත්‍රියේ පැවැත්වුණා.

***************************************

ඉන්දියාව ලංකාවේ ව්‍යාපෘති තුනකින් (3) චීනය පන්නා දමයි

(17.04.2022 – 23:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයන් ලෙස දකුණු ආසියාවේ සමීපතම සහ දැඩි මිත්‍රශීලී රාජ්‍යයන් දෙකක් (2) ලෙස ඉන්දියාව සහ චීනය හඳුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ විවිධ අවස්ථාවලදී ඉන්දියාව සහ චීනය හරි හරියට එක්ව මෙරටට මූල්‍යමය ආධාර සැපයීමට පසුබට නොවූ බව ප්‍රසිද්ධ දේශපාලනික රහසක්.

මෙවන් වටපිටාවකයි, පසුගියදා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට තවත් අමරිකානු ඩොලර් බිලියන 02 ක් ලබාදීමට කැමති බව එරට රජය ප්‍රකාශ කළේ.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අවපාතයට වැඩි වශයෙන් කාටත් කලියෙන්ම උපකාර කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ අසල්වාසී ඉන්දියාවයි.

ඒ අනුව ඉන්දීය රජයට මෙරට උතුරු ප්‍රදේශයේ චීනයට පැවරී තිබූ බලශක්ති ව්‍යාපෘති ත්‍රිත්ත්වයක අයිතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය මෙන්ම එරට මාධ්‍ය ද වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අමරිකානු ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම අත් හිටුවා ඇති බව රජය නිවේදනය කිරීමත් සමග ඉන්දීය රජය තවත් මූල්‍යාධාරයක් මෙරටට ලබාදීමට තීරණය කෙරුණේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදිවෙන සූර්ය හයිබ්‍රිඩ් බලශක්ති ව්‍යාපෘති තුනක් (3) ද ඉන්දියාව විසින් පවරා ගනු ලැබුවා.

එය මුලින් ප්‍රදානය කරනු ලැබුවේ චීනයට වන නමුත් එම ව්‍යාපෘති චීනය විසින් හසුරුවන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ඉන්දියාව පැවසීමත් සමඟ ශ්‍රී ලංකාව එම ගනුදෙනුව අවලංගු කර ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළා.

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාවට එරෙහිව චීනය බලපෑම් කළ බව කියන විට එය ශ්‍රී ලංකාව අවසානයේ එම කර්තව්‍යය ද අවලංගු කරනු ලැබුවා.

මේ වන විට ශ්‍රී ලංකා රජය වොෂින්ටන් ඩීසී හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය විශේෂඥයින් කණ්ඩායමක් යවා ඇති අතර, මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළුව නියෝජිතයින් පිරිසක් ඇමරිකානු ඩොලර් බිලියන 3 සිට ඩොලර් බිලියන 4 දක්වා ඇප ලබා ගැනීම සඳහා එහි ගොස් සිටිනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන්දියාව ද ශ්‍රී ලංකාව සඳහා ඇප ලබාදීමට පැමිණ ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *